මාකඳුරේ මධූෂ් දැන් කොටු: ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙතැනින් කොතැනට ද ?

‘‘මාකඳුරේ මධූෂ්’’ යනුවෙන් ජනමාධ්‍ය විසින් නාමකරණය කරන ලද සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID භාරයේ රඳවා ගෙන දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබුණු බව පොලීසිය පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව හෙළි කළා.

එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ විදේශගතව සිටිමින් මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සිදු කිරීම, මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වීම පිළිබඳව මෙම පරීක්ෂණ සිදුවන බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මෙම පුද්ගලයා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා ද (ඇමැති ජනමාධ්‍ය සඳහන් කළ ආකාරයට ‘‘ප‍්‍රභූ ඝාතනය) සැලසුම් කළ බවට පොලිස් ඔත්තුකරවෙකු වන නාමල් කුමාර නැමැත්තා පසුගිය කාලය පුරාම අඛණ්ඩව චෝදනා කළා. එහෙත් මෙම අපරාධකරු අද අත්අඩංගුවට පත් වූ පසු ‘‘ප‍්‍රභූ ඝාතන සැලසුම්’’ චෝදනා ඔහුට ගොනුකරන බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් නොකිරීම විශේෂත්වයක්.

මෙරට ඇතැම් ජනමාධ්‍ය සහ දේශපාලනඥයින් විසින් පසුගිය කාලය පුරාම ලංකාවේ සිදු වූ බව කියන පුද්ගල ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බොහෝ සංවිධානාත්මක අපරාධවලට ‘‘මාකඳුරේ මධූෂ්’’ නමැති මෙම සංවිධානාත්මක අපරාධකරුගේ නම භාවිත කළා. මෙරට ජනමාධ්‍ය නිරන්තරයෙන් අවධාරණය කළේ මධූෂ් නමැති මෙම අපරාධකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙම සියලූ අපරාධ මෙහෙයවන බවයි.

පසුගිය පෙබරවාරි මස 05 වැනිදා මාකඳුරේ මධූෂ් විසින් සංවිධානය කළ බව කියන සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 31 දෙනෙක් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔවුන් අතර ප‍්‍රකට අපරාධකරුවන්, වරෙන්තුකරුවන් සේම මෙරට කලාකරුවන් කිහිප දෙනෙකු සිටි බව මෙරට මාධ්‍ය වාර්තා කළා. ඒ අතර ගායකයෙකු වන අමල් පෙෙරේරා සහ ඔහුගේ පුත‍්‍රයා වන නදීමාල් පෙරේරා සහ තවත් රංගන ශිල්පියෙකු ද සිිටියා.

මෙරට දේශපාලන සහ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත් මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිදුවීමෙන් සති කිහිපයකට පසු ඩුබායි අධිකරණය විසින් අදාළ සැකකරුවන් සියලූ ම දෙනා අවස්ථා කිිහිපයකදී මෙරටට පිටිවහල් කිරීමට පියවර ගත්තා. ඒ අනුව කණ්ඩායම් වශයෙන් ඔවුන් කටුනායක ගුවන්තොටට පැමිණි වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. ඒ අතර අමල් පෙරේරා සහ ඔහුගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගැනීම ජනමාධ්‍ය හා සාමාන්‍ය ජනයා අතර දැඩි අවධානයක් දිනා ගත්තා. එහෙත් පාතාල ඝාතකයින් හෝ අපරාධකරුවන් යැයි සැක හෝ චෝදනා ලැබ සිටින කිහිප දෙනකු හැර බොහෝ දෙනෙක් දිනයකින් හෝ පැය කිහිපයකින් මුදා හැරීමට පොලීසියට සිදු වුණා. අමල් පෙරේරා සහ ඔහුගේ පුත‍්‍රයාත් ඒ අතර සිටිනවා.

මේ අතර මාර්තු 29 වැනිදා ඩුබායි රජය විසින් පිටුවහල් කළ බව කියන නමගිය අපරාධකරුවෙකු බව කියන ‘‘කංජියාන් ඉම්රාන්’’ නැමැත්තා මාලදිවයිනට යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ සිටියදී මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා.

බන්ධනාගාර රැඳවියන් පිරිසක් රැගත් බන්ධනාගාර බස් රථයට පහරදී

මාකඳුරේ මධූෂ් නැමැති මෙම පුද්ගලයාට එරෙහිව අපරාධ, පුද්ගල ඝාතන ඇතුළු චෝදනා රැසක් සඳහා රටේ විවිධ ප‍්‍රදේශවල අධිකරණ විසින් වරෙන්තු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. ඒ අතර 2017 පෙබරවාරි 27 වැනිදා කලූතර උතුර ප‍්‍රදේශයේදී කලූතර බන්ධනාගාර රැඳවියන් පිරිසක් රැගත් බන්ධනාගාර බස් රථයට පහරදී රැඳවියන් 05 දෙනකු සහ බන්ධනාගාර නියාමකයින් 02 දෙදෙනකු ඝාතනය කිරීම පිළිබඳව මධූෂ් නැමැති මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සමග 2006 /06/11 දින කඹුරුපිටිය පොලිස් වසමේදී දේශපාලනඥයෙකු වූ ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීම පිළිබඳව ද මොහුට චෝදනා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියනවා.

ව්‍යාජ නමක් සහිත විදේශ ගමන් බලපත‍්‍රය

මෙවැනි ඝාතන සහ අපරාධ රැසකට විවෘත වරෙන්තු පිට සිටි මාකඳුරේ මධූෂ් රටින් පලාගිය ආකාරය ගැන ද අද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා හෙළි කළා. ඒ අනුව 2015 ජූනි මස 02 වැනිදා ව්‍යාජ නමක් සහිත විදේශ ගමන් බලපත‍්‍රයකින් විදේශගත වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ එකී ව්‍යාජ නම ‘‘වර්ණකුලසූරිය අජිත් අරංඟ’ බවයි. මෙම විදේශ ගමන් බලපත‍්‍රයේ සඳහන් ලිපිනය පවා ව්‍යාජ එකක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පසු ඔහු මෙරටට පිටිවහල් කර ගැනීමට මෙරට බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දැඩි පරිශ‍්‍රමයක් ගත්තා. ඒ අතර ඔහුගේ ඥාතියෙකු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන මෙන් නියෝගයක් පනවන ලෙස ඉල්ලා සිටියා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කළා.

මේ අතර මධූෂ් ද ඩුබායි අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් පිටුවහල් කිරීමෙන් වළක්වන ලෙස ඉල්ලා සිටියා. එම නිසා ඔහුව පිටුවහල් කිරීම සති කිහිපයක් ප‍්‍රමාද වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියන්නේ.

මාස කිහිපයක් පුරා දිගෑරුණු සිද්ධි දාමයකින් පසු ජනමාධ්‍ය විසින් ‘‘ගෝඞ්ෆාදර්’’ කෙනෙක් කර තිබූ මේ අපරාධකරු අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළට පැමිණියා. ඒ සමග ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුට ගත්තා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අද සඳහන් කළ ආකාරයට ඔහුට එරෙහිව, විදේශගත සිටිමින් මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සිදු කිරීම, මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වීම ආදි චෝදනා යටතේ වැඩි දුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

නාමල් කුමාර නැමැත්තා

මේ අතර පසුගිය කාලය පුරා ‘‘ප‍්‍රභූ ඝාතන’’ ප‍්‍රවාදය දෙස බලාසිටි ජනතාව ඔහුගෙන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුම් ගැන ද ප‍්‍රශ්න කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මන්ද මාකඳුරේ මධූෂ් නැමැති මෙම පුද්ගලයා ද ඈඳා ගෙන පොලිස් ඔත්තුකරුවෙකු යැයි කියන නාමල් කුමාර නැමැත්තා කළ හෙළිදරව්ව නිසා ලංකාවේ දැවැන්ත දේශපාලන ආන්දෝලනයක් ඇති වුණා. ඒ වෙනුවෙන් ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා ද ඇතුළු කිහිප දෙනෙක් දැවැන්ත වන්දියක් ගෙවමින් සිටිනවා.

ඒ වගේම ලංකාවේ පාතාලයේ ගෝඞ්ෆාදර් කියන මේ පුද්ගලයා කොටු වූ පසු කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම ද නවතිනු ඇතැයි මාධ්‍ය කියන, ලියන ලද කතා අසා සිටි ජනතාව දැඩිව විශ්වාස කරනවා.

Recommended For You

About the Author: Editor