ක‍්‍රිකට් ගැන උණුසුම්ම උණුසුම් කතා හතරක්

ලෝ ප‍්‍රකට මෙල්බර්න් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ සභාපතිවරයා ද වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර සාමාන්‍යයෙන් අනාවැකි කියන්නෙක් ලෙස නම් සැලකෙන්නේ නැහැ.

ඒත් සංගා පසුගිය දා මේ මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන 12 වැනි ලෝක කුසලාන එක්දින තරගාවලිය ගැන නම් අනාවැකියක් කළා.

සංගා කියන ආකාරයට 2019 ලෝක කුසලාන තරගාවලිය වෙන වසරවල ඒවාට වඩා උණුසුම් එකක් වීමට නියමිතයි. ඒ මේ වන විට ලංකාවේ අපි ද ඇතුළුව මුළු ලෝකයම වෙලා ගෙන තිබෙන ISIS භීතිය නිසා නොවෙයි. ක‍්‍රිකට්වලටම ආවේණික දැඩි තරගකාරීත්වය නිසා බවයි සංගා කියන්නේ.

‘‘මෙවර ලෝක කුසලානය සඳහා සෑම රටක් විසින් ම ඉදිරිපත් කරලා තිබෙන කණ්ඩායම් ඉතාම සමබරයි කියලා මට හිතෙනවා. ඒ නිසා සෑම තරගයක්ම උණුසුම් එකක් විය හැකියි. ඒ නිසා පේ‍්‍රක්ෂකයින්ට හොඳ තරග දැක බලා ගන්න අවස්ථාව ලැබෙයි ’’ කියලා සංගා කියනවා.

මේ අතර ලෝක කුසලාන කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න කියන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාර හේතුවෙන් බිඳ වැටීමට ලක්ව තිබෙන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය එංගලන්තයේදී හොඳ අතට හැරෙයි කියලයි.

‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී මුළු ලෝකයම බියට පත් වුණා වාගේ අපේ කණ්ඩායමත් බියට පත් වුණා. පුහුණුවීම් කරන්න නොහැකි වුණා. ක‍්‍රීඩකයින්ගේ විශ්වාසයත් නැති වුණා. නමුත් ආරක්ෂාව තහවුරු වූ පසු අපි පසුගිය දිනවල පුහුණුවීම් කළා. ඊට පසුව තත්ත්වය යහපත් අතට හැරුණා’’ දිමුත් කියනවා.

දිමුත් කියන්නේ එංගලන්තයේදී අපේ කණ්ඩායමට පුහුණු වීම් රැසක් කළ හැකි බවයි.

‘‘අපිට එංගලන්තයේදී ගොඩන් පුහුණුවීම් කරන්න පුළුවන්. එතකොට අපේ ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වය හොඳ අතට හැරෙයි කියලා මම හිතනවා’’

දිමුත් එහෙම කියන කොට අපේ ක‍්‍රිකට් පිස්සන්ට නම් තවත් ප‍්‍රශ්නක් තිබෙනවා. ඒ වෙනදා ලෝක කුසලාන තරගාවලි වලදී දකින්නට ලැබෙන ප‍්‍රවර්ධන කටයුතු සිදු නොවීමයි. පාස්කු ඉරිදා ප‍්‍රහාර නිසා මේ තත්ත්වය සිදු වුණ බව දන්නවා වුණත් ඔවුන්ට ඒක නිල වශයෙන්ම දැන ගන්න වුවමනා වෙලා තියෙනවා.

ක‍්‍රිකට් පිස්සන්ගේ මේ ප‍්‍රශ්නෙට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා උත්තර දුන්නා.

‘‘පාස්කු ඉරිදා ඛේදවාචකය නිසා අපි ප‍්‍රවර්ධන කටයුතු කළේ නැහැ. නමුත් අපේ කණ්ඩායමට අපි ඊයේ (05) රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ලබා දුන්නා.
හෙට එළිවෙන ජාමේ අපි සියලූ දෙනා නිදි සුව විඳිමින් ඉන්න කොට අපේ කණ්ඩායම එංගලන්තයට, ඇත්තටම ස්කොට්ලන්තය බලා ගුවන් ගත වෙනවා. ඒ තරගාවලියේ ආරම්භයට පෙර තිබෙන පුහුණු තරග සඳහා සහභාගී වීමටයි. ඊට පසුව දකුණු අප‍්‍රිකාව සහ ඕස්ටේ‍්‍රලියාව සමග තවත් පුහුණු තරග දෙකක් තිබෙන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ.

මේ අතර ඉන්දියාවේ අයි.පී.එල් ගිහින් එහෙ වීරයෙක් වෙලා ඉන්න ලසිත්ට දවස් 10ක විවේකයක් දෙන බවයි වාර්තා වෙන්නේ. බොහෝ දෙනෙක් කියන්නේ ලංකාව සතු ලොකුම තුරුම්පුව ලසිත් කියලයි.

කොහොම වුණත් එංගලන්තේ ලෝඞ්ස් එකට යන්න බැරි අපි වාගේ ක‍්‍රිකට් ලෝලීන් ගෙදර තියෙන ටීවී ඒක ළඟට වෙලා බලාගෙන ඉන්නේ අන්තවාදීන් විසින් සුණුවිසුණු කළ අපේ හිත් එංගලන්තේ පැත්තෙන් එන ප‍්‍රවෘත්ති සමග ටිකක් හරි හැදෙයි කියලයි.

දිමුත්, ඔබ ඇතුළු අපේ ක‍්‍රිකට් කණ්ඩායමට සුභ ගමන්…

කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor