පාස්කු ඉරිදා පරව ගිය ඩෙන්මාර්කයේ රෝස කුසුම්

පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවේ කඳුළු කතාවලට තවමත් අවසානයක් නැහැ. ඒ කඳුළු කවදාවත් අවසානයක් දකින එකකුත් නැහැ. ඒ එම මිලේච්ඡ ප‍්‍රහාරයෙන් මියගියවුන් යළි කිසිදා නෙඑන නිසාම පමණක් නොවෙයි. ඒ සිදුවීම හරහා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය කවත් කතා බොහොමයක් කියන නිසයි.


පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ඍජු ඉලක්කයක් බවට මෙරටට පැමිණ සිටි විදේශිකයින් පත් වුණ බව නොරහසක්. ඇත්තටම අයි.එස් අන්තවාදීන් පසුගිය කාලය පුරාම ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ඉව අල්ලමින් සිටින්නේ බටහිර ජාතිකයින්ට. කතෝලිකයින්ට. එහි තවත් මිලේච්ඡ දිගුවක් තමයි ලංකාවේ ෂැන්ග‍්‍රී – ලා ඇතුළු සුපිරි හෝටල් තුනක සිදු වුණේ.

මෙම ප‍්‍රහාරවලින් මෙරට සුන්දරත්වය විඳින්න, නිස්කාන්සුවේ දින කිහිපයක් ගත කරන්න පැමිණි විදේශ සංචාරකයින් විශාල පිරිසක් මිය ගියා. තුවාල ලැබුවා. අතුරුදන් වුණා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයටත්, කම්පාවටත් පත් වෙද්දී, සිය ගණනක් පියවරුන්ගේ හදවත් සදාකාලිකව හඬවද්දී ලංකාවෙන් බොහෝ ඈත, සුන්දර සාමකාමී රටක් වන ඩෙන්මාර්කයේ ධනවත්ම පියාගේ මුළු ආත්මයම සදාකාලික කම්පාවට පත් වුණ බව මේ වන විට මුළු ලෝකයම දන්නා කතාවක්.

ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ‘‘ඇන්ඩර්ස් හෝල්වේ පෝල්සන්ගේ’’ කියන සිවු දරු පියායි. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 8ටක ආසන්න බවයි ජාත්‍යන්තර ‘‘ෆෝබස් සඟරාව’’ කියන්නේ. එපමණක් නොවෙයි මහා බි‍්‍රතාන්‍යයේ දෙවැනියට වැඩිම පුද්ගලික ඉඩම් ප‍්‍රමාණයකට හිමිකම් කියන්නෙත් ඔහු බවයි බටහිර මාධ්‍ය කියන්නේ.

මේ ඩෙන්මාර් ජාතික ධනකුවේරයාගේ දරුවන් සිවු දෙනාගෙන් තිදෙනෙක් අපේ‍්‍රල් මාසයේ ලංකාවේ සංචාරයකට එක් වුණා. ඒ ඇල්ෆ‍්‍රඞ්, ඇල්මා සහ ඇග්නස් යන දරු තිදෙනායි. ඇස්ටි‍්‍රඞ් තම පියා සමග ඩෙන්මාර්කයේම නතර වුණා.

ලංකාවේ සුව පහසු, ආරක්ෂිත පරිසරය රස විඳිමින් තම සංචාරය ගත කරන අතර ඔවුන් පසුගිය 21 වැනිදා කොළඹ සුපිරි සංචාරක හෝටලක් වන ෂැංග‍්‍රි-ලා හි උදෑසන ආහාරය ගනිමින් සිටියදී මිලෙච්ඡු ඉස්ලාම් අන්තවාදීයා මරාගෙන මැරෙණ බෝම්බයක් පුපුරවා ගත්තා. එයින් මේ දරුවන් තිදෙනාම ජීවිතක්ෂයට පත් වුණා.

ඉහත සඳහන් කළ කතාව මේ වන විට අපි කවුරුත් දන්නවා. ඒත් ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය 04 වැනිදා මේ පුවතටම අදාළ තවත් පුවතක් ප‍්‍රකාශයට පත් කළා. ඒ පෝල්සන්ගේ දරුවන් තිදෙනාගේ අවසන් කටයුතු ඩෙන්මාර්කයේ දී සිදු වූ බව කියමින්.

මුළු ඩෙන්මාර්කයේම පමණක් නොව ලෝකයේම හදවත් ඇති මනුෂ්‍යයින්ගේ දෑත් කඳුලින් ද හදවත සුසුමින් ද පුරවා ලූ මෙම අවමංග්‍ය උත්සවය ඩෙන්මාර්කයේ ‘‘අර්හුස් දෙව්මැඳුරේදී සිදු වුණා.

ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි මේරි කුමරිය, ඉසබෙලා කුමරිය සහ වින්සන්ට් කුමරා ද, අගමැතිවරයා ද ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා. මෙහිදී හදවත් කම්පාවට පත් කළ තවත් සිදුවීමක් වුණා. ඒ අද ජීවතුන් අතර සිටින එකම සොයුරිය වන ඇස්ටි‍්‍රඞ් දේවස්ථානය ඉදිරිපිට මංජුසාවක ගැස ගසා තිබූ බැලූන පොකුරක් කතා අහසට මුදා හැරියා.

මේ අවමංග්‍ය උත්සවය සඳහා ලක්ෂ සංඛ්‍යාත මල් වර්ග ඇතුළත් කරත්ත විශාල ගණනක් එක්කොට තිබුණා. දේහයන් රැුගත් අවමංගල්‍ය රථ සමග ඒ මල් කරත්ත කිසිත් නොකියා ඉදිරියට ඇදුනා.

‘‘ත‍්‍රස්තවාදියාට හිතක් පපුවක් නෑ – ජාතියක් ආගමක් නෑ’’ කියලා අපි අහලා තිබුණේ මීට දස වසරකට පර සදාකාලිකව අවසන් වූ බව සිතා සිටි බෙදුම්වාදී යුද්ධ සමයේදී. ඒ කාලේ අපේ පරම්පරාවේ සියලූම දෙනා බෝම්බ, උණ්ඩ සමග එදිනෙදා කාලය ගත කළා. ඒ නිසා ඒ යුගය පසුකළ අපි බොහෝ දෙනෙක්ට තවත් අඬන්න තරම් කඳුළු නැහැ… හෙළන්න තරම් සුසුම් නෑ කියලා තමයි අපි හිතාගෙන හිටියේ. ඒ පාස්කු ඉරිදා ප‍්‍රහාරය අපිට නැවතත් ඒ කුරිරු යුගය, ඒ බියපත් අතීතය සිහිපත් කළා.
දැන් අපි එකාවන්ව සටන් කළ යුත්තේ, අත්වැල් බැඳ ගත යුත්තේ එදා තරුණයින් වූ අපේ දරුවන්ට වඩාත් සුරක්ෂිත ලෝකයක් තනා දීම වෙනුවෙනුයි. ඒ සුරක්ෂිත ලෝකයට දේශසීමා නැහැ. ජාති – ආගම් නැහැ. තියෙන්නේ මනුස්සකම පමණයි.

Recommended For You

About the Author: Editor