ලෝක කුසලානය ලංකාවට රැගෙන ආවොත් රුපියල් මිලියන 1770ක්

මෙවර එක්දින ක‍්‍රිකට් ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් එකී ජයග‍්‍රහණය වෙනුවෙන් රුපියල් මිලියන 1770ක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් ගෙවීමට ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වෙනවා.

ලෝක කුසලානය හඹා යන 15 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම හෙට අළුයම ශ‍්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය තුළ ලබා ගන්නා ජයග‍්‍රහණවලට හිමිවන බව කියන ගෙවීම් පිළිබඳව වාර්තා පළ වෙමින් තිබෙනවා. ඒ අනුව ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනකුගෙන් යුත් සංචිතය නියෝජනය කරන ක‍්‍රීඩකයින් සහ ක‍්‍රිකට් පාලක මණ්ඩලය අතර කොන්ග‍්‍රාත් ගිවිසුම ද පසුගිය අපේ‍්‍රල් 08 වැනිදා අත්සන් කර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවර ගෙවීම් සිදුවන්නේ ක‍්‍රීඩකයින් දක්වන දක්ෂතා මත පදනම්ව වීමයි. ඒ අනුව ලෝක කුසලානට සහභාගී වන ගිවිසුම්ගත ක‍්‍රීඩකයින් 15 දෙනාට පමණක් අදාළ ගෙවීම් හිමි වනු ඇති බවයි වාර්තා කියන්නේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජයග‍්‍රහණය කළහොත් ඔවුන්ට රුපියල් කෝටි 177ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියනක ත්‍යාග මුදලක් ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය ගිවිස ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෝක කුසලානය ජයග‍්‍රහණය නොකළත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ගෙවීම් පහත ආකාරයෙන් දැක්විය හැකියි.

ලෝක කුසලානයට සහභාගී වීමේ ගාස්තුව වශයෙන් ඇ.එ.ඩොලර් 300,000ක්
මූලික වටයේ ජය ගන්නා එක් තරගයකට ඇ.එ. ඩොලර් 50,000ක්
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත හොත් ඇ.එ.ඩොලර් 200,000ක්.

ඉහත සඳහන් ගෙවීම්වලට අමතරව ලෝක කුසලානයට ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් වරප‍්‍රසාද රැුසක් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සටහන -කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor