ආගම යනු මූලධර්මවාදයේ මූලයයි

තස්ලිමා නස්රින් පළමු කොට වෘත්තියෙන් කායික වෛද්‍යවරියකි. එහෙත් ඇය ලොව පුරා ප්‍රකටව ඇත්තේ සිහිත්‍යෙවේදිනියක, ජනමාධ්‍යෙවේදිනියක, ස්ත්‍රීවාදිනයක, මානව හිමිකම් ක්‍රියාකාරිනියක,  මානව හිමිකම් ක්‍රියාධාරිනියක සහ අනාගමික මානවවාදිනියක ලෙසිනි.

ඇය ඉස්ලාම් මූලධර්මවාදයත්, ඉස්ලාම් දහමේ ඇති කානතාවන් පීඩනයට පත් කරන සහ මානව හිමිකම් උල්ලංගනය කරන නීති රීති නිරදය ලෙස විවෙචනය කිරීම සහ හෙලා දැකීම සඳහා, නොබියව සාහිත්‍යකරණයේ යෙදුනු ලේඛිකාවකි.  ඇය ඉස්ලාම් දහම සහ එයි අන්තවාදය විවේචනය කරමින්, දිනපතා පුවත්පත්වලට සැපයූ තීරු ලිපි බංගලාදේශයේ ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම මුස්ලිම් සමාජය ද කුපිත කරවන්නක් විය. එහි උත්සන්නම අවස්ථාව වූයේ, 1993 වසරේ ඇය ලියු ‘Lajja‘  නම් වාර්තාමය නව කතාව නිසා ඇය මුස්ලිම් ප්‍රජාවගේ කැකෑරෙන වෛරයට පාත්‍ර වීමය.  එහෙයින් 1994 වන විට ඇය උපන් බංගලිදේශය ඇයට තහනම් කලාපයක් විය, ඇය මරා දැමීමට ඉස්ලාම් නීතියට අනුව නියෝග පැනවිණ. එම නිසා ඇය බොහෝ කාලයක් යුරෝපයේ පිටුවහල්ව ජීවත් වූවාය. ඇය දැන්  ස්වීඩන බෙංගාලි ජාතික කාන්තාවකි. ඇයට ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචි වීමේ හිමිකම ඇත.  එහෙත් ඇය තම ජන්ම භූමියට ඉතා සමීපව ඉන්දියාවේද කාලය ගත කරයි. ඇයට අනුව ඇය උපන් භූමියේ, නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇයට අහිමි වීමේ තත්ත්වය තුළ, ඇය දැන් කිසිදු දේශයකට අයත් නැති ජගත් පුරවැසි කාන්තාවකි.

මේ, ආගමික අන්තවාදය වෙනුවෙන් සිය ජීවිතය පරදුවට තබමින්, සිය සුවපහසු ජීවිතයේ බොහෝදේ අහිමි කරගනිමින් මේ මොහොත වන විටත්, ආගමික මූලධර්මවාදය සහ අන්ධ ආගම් භක්තියෙන් ලෝකවාසී ප්‍රජාව ගලවා ගැනීමට සිය පෑන මෙහෙයවන තස්ලිමා නස්රින් සමඟ ජනමාධ්‍යෙවේදීන් කරන ලද සම්මුඛ සාකච්ඡා ඇසුරින් සකස් කරන ලද ලිපියකි.

ඔබගේ පවුල් පසුබිම ගැන යමක් පැවසුවොත්….

            මම ඉපදුනේ 1962 මධ්‍යම පාන්තික මුස්ලිම් පවුලක, බංගලාදේශයේ උතුරුදිග  ප්‍රදේශයේ මයිමෙන්සින්ග් නම් කුඩා නගරයේ. මගේ පියා වෛද්‍යවරයෙක්, අම්මා රැකියාවක් කළෙ නැහැ. මට අයියලා දෙන්නෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. අපි ඔක්කොම, පාසල් සහ උසස් විද්‍යාල හරහා ලිබරල් චින්තනයක් සහිත අධ්‍යාපනයක් ලැබූ අය. මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙලා වෛද්‍ය උපාධිදාරිනියක් ලෙස වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබූවා.

ලිවීම කොයි කාලෙද ආරම්භ කළේ?

            මම 1975 පමණ සිට කාව්‍ය නිර්මාණයේ යෙදෙනවා.  මගේ පළමු කවි පොත එළි දැක්වුනේ 1986 වසරේදී. මම 1989 වසරේ සිට දිනපතා පත්තර සහ වාර ප්‍රකාශන වලට තීරු ලිපි ලිව්වා. මම වැඩිපුරම ලිව්වේ කාන්තාවන් අසාධාරණ ලෙස පීඩනයට පත්වීම ගැනයි.  ලිබරල් සහ අනාගමික ජනතාවගේ ප්‍රසාදයටත්, මුලධර්මවාදින් සහ දැඩි මතධාරීනගෙ වෛරයටත් මම නොඅඩුව පාත්‍ර වුණා.

ඔබ නිතරම මුස්ලිම් මූලධර්මවාදයට එරෙහිව හඞ නඟන්නියක්, ඒත් ලිබරල් මුස්ලිම්වරුනුත් අනෙක් පැත්තෙන් සිය හඞ අවදි කරනවා, ආගම නාමයෙන් ඇති කරන ත්‍රස්තවාදය ඉස්ලාම් ධර්මයම නෙමෙයි කියන කාරණය සම්බන්ධව……

            මම වගේ නිදහස් චින්තකයෝ, හේතුවාදීන්, අදේවවාදීන් බොහොමයක් ඉන්නාවා, ඒ නිසා මම හුදකලා වෙලා නැහැ. අපේ පවුල්වල අය මොන ආගමද  අදහන්නේ කියන එක අපිට ඒ තරම් වැදගත් නැහැ. ඒත් අපි විශ්වාස කරන්නේ මනුෂ්‍යත්වයයි. ඒ වගේ අයට සමාජය තුළ කිසිම ආගමක් අවශ්‍ය වෙන්නේ නැහැ, විචාරශීලි චින්තනය, විද්‍යාත්මකව සිතන මනස තමයි වැදගත්. ඒ නිසා මම කියද්දී, ආගමත් මූලධර්මවාදයත් අතර කිසිම වෙනසක් නැහැ, ආගම කියන්නේම ආගමික ත්‍රස්තවාදයේ මූලයයි කියන එක,  මම ඒ කියන්නේ ඇත්ත කියලා මම මුළුමනින්ම විශ්වාස කරනවා. බලන්න ISIS හෝ බෝකෝ හරාම් වැනි ඉස්ලාමීය ත්‍රස්තවාදය, අනුප්‍රාණය ලබන්නේ ආගමෙන්. මුස්ලිම්වරුන් පූජනීයයි කියලා දක්වන කුරාන පාඨයෙන්ම තමයි ඔවුනුත් ගෙනහැර දක්වන්නෙ.

”විද්‍යාත්මකව සිතන මනස තමයි වැදගත්. ඒ නිසා මම කියද්දී, ආගමත් මූලධර්මවාදයත් අතර කිසිම වෙනසක් නැහැ, ආගම කියන්නේම ආගමික ත්‍රස්තවාදයේ මූලයයි කියන එක”

එවිට ආගමික නිදහස පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?

            සත්තකින්ම මම ආගම විශ්වාස කරන අයට කියන්නේ නැහැ, ඒ ආගම පැත්තකට පැත්තකට විසි කරලා දාන්න කියලා, ඒත් සමාජයකට ආගමික සංශෝධනයක් අවශ්‍යයි. ඒ වගේම සමාජයකට අවශ්‍යය වනනේ මානව අයිතීන්, කාන්තා අයිතීන්, සමානාත්මතාව. සාධාරණත්වය, මනුෂ්‍යත්වය පදනම් කරගත් නීති මිස, ආගමික නීති නෙමෙයි. බැතිමත් ජනතාවගේ ආගමික අයිතීන්, ඒවා ඇදහීමේ අයිතීන් මම පිළිගන්නවා.  බංගලාදේශයේ ආගමික සිද්ධස්ථාන හෝ වෙන කොයියම් ප්‍රදේශයක හෝ මුස්ලිම් පල්ලියක් විනාශ කරන විට මම විරෝධය පෑවේ, ආගමික නිදහස සමාජයකට අවශ්‍ය නිසයි, ඒත් ආගමක් විශ්වාස නොකර සිටීමේ සහ එය විවේචනය කිරීමේ අයිතියත් ඒ වගේම සමාජයක් තුළ තියෙන්නෙ ඕනෙ.

            ඒවගේම මම විශ්වාස කරන විදියට සමාජය, අධ්‍යාපනය, රජය, ආගම කියන බලමණ්ඩලනේ පරිබාහිරව පවතින්න ඕනෙ. යම් කිසිවෙකු ආගම නිසා ප්‍රචණඩකාරි නොවන්නේ නම්, ඒ අයගේ ආගම ඇදහීමේ අයිතිය වෙනුවෙන් මම සහයෝගය දක්වනවා. රජයට ආගමක නොතිබිය යුතුයි, ජනතාවට අවශ්‍ය නම් ආගම අදහන්න පුළුවන්, ඒත් කාටවත් එසේ අදහන්න යැයි බලකරන්න බැහැ. එවැනි බහුවිධතාවක් අගයන චින්තනයක් සමාජයකට බොහොම වැදගත්. පුද්ගලිකව මම අදේවවාදියෙක් සහ අනාගමිකයෙක් ලෙස ආගම විශ්වාස කරන්නේ නැහැ.

ඔබ ආගමික මූලධර්මවාදය වෙත ඉතාමත් දරුණු ප්‍රහාර එල්ල කරන කෙනෙක්?

            මම පොදුවේ ආගම වගේම ආගමික මූලධර්මවාදීනුත් විවේචනයට ලක් කරනවා.  මම ඉස්ලාම් දහම සහ ඉස්ලාම් මුලධර්මවාදය අතර වෙනසක් දකින්නේ නැහැ. මට අනුව ආගම තමයි මූලය, එම මූලයේ සිට මූලධර්මවාදය විෂ සහිත කඳක් මෙන් ඉහළට වර්ධනය වෙනවා. අපි ආගම ඉතිරි කරලා, මූලධර්මවාදය ඉවත් කළා කියමු, ඒත් කවදාහරි මූලධර්මවාදය නැවත වර්ධනය වෙනවා. මට එහෙම කියන්න සිද්ධ වෙන්නේ,  ප්‍රශ්න ඇති කරන්නෙ මූලධර්මවාදය යැයි කියමින් සමහර ලිබරල්වාදීන් නිතරම ඉස්ලාම් දහම ආරක්ෂා කරන නිසා. නමුත් මම නිතරම කියන දෙයක් තමයි, ඉස්ලාම් දහම විසින්, කාන්තාවන් ඉතාමත් බරපතල ආකාරයෙන් පීඩනයට පත් කරනවා. එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නැහැ.  නමුත් මිනිස් අයිතිවාසිකම් ගැන තැකීමක් කරන්නේ නැහැ.

            ඒ නිසා ඉස්ලාම් ධර්මය තුළිනම අසාධාරණය පැන නඟින නිසා අපගේ වගකීම තමයි ජනතාව ඒ පිළිබඳ සැළකිලිමත් වීමට මෙහෙයවන එක.  අපගේ යුතුකම තමයි ජනතාව අවදි කරලා, ආගමික ග්‍රන්ථ විශේෂ කාල සීමාවක් තුළ, විශේෂ ස්ථානයකදී ලියුවක් බව පහදා දීම.

ඔබ තේරුම්ගන්නේ මෙය පෙරදිග අපරදිග ශිෂ්ඨාචාර අතර ගැටුමක් ලෙසද?

            නැහැ. මම මෙය සරලව ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අතර ගැටුමක් ලෙස සිතන්නේ නැති අතරම එය පෙරදිග ගැටුමක් ලෙසත් මම පිළිගන්නේ නැහැ.  මට අනුව එය අවිචාරවත් අන්ධ භක්තියත්, විචාරශීලී තාර්කික දැනුමත් අතර ගැටුමක්. නැතිනම් නවීනත්වය සහ ප්‍රති-නවීනත්වය අතර ගැටුමක්.  පිරිසක් ඉදිරියට යන්න උත්සාහ කරද්දී තවත් පිරිසක් පසුපසට අදිනවා. එය අතීතයත් අනාගතයත් අතර, නවීකරණය සහ සම්ප්‍රදාය අතර ගැටුමක්.  එමෙන්ම නිදහස අගයකරන්නන්ගේ සහ එසේ නොකරන්නන්ගේ ගැටුමක්.

” නැහැ. මම මෙය සරලව ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අතර ගැටුමක් ලෙස සිතන්නේ නැති අතරම එය පෙරදිග ගැටුමක් ලෙසත් මම පිළිගන්නේ නැහැ.  මට අනුව එය අවිචාරවත් අන්ධ භක්තියත්,
, විචාරශීලී තාර්කික දැනුමත් අතර ගැටුමක්. නැතිනම් නවීනත්වය සහ ප්‍රති-නවීනත්වය අතර ගැටුමක්”

ආගම් නෛසර්ගිකවම වාද භේදවලට තුඩු දෙන්නක් යැයි ඔබ සිතනවාද?

            එය නිතරම ජනතාවට එකිනෙකාට ආදරය කිරීමට මඟ පාදන්නේ නැහැ, ඊට ප්‍රතිවිරුද්ධව එහි අනුගාමිකයින්ව යොමු කරන්නේ වෙනස් ඇදහීම් ඇති අයට වෛර කරන්නයි. අනෙක් අතින්, ආගම මිනිසුන්ව මෙහෙයවනවා මිනිසාගේ ඉරණම පිළිබඳ විශ්වාස කරන්න, මේ නිසා ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති වෙලා යනවා. ඒවගේම එය දිළිඳුභාවයත්ත පරිත්‍යාගයත් උත්කර්ෂයට නංවනවා, එවිට සිදුවන්නේ අවසානයේදී ධනවත් ටිකදෙනකුගේ ඕනෑ එපාකම් ඉෂ්ඨ වීම පමණයි. සෑම රටකම ඉන්න හෘදසාක්ෂියක් ඇති තරුණ මහළු සියළු දෙනාම ආගමේ ඇති අවිචාරවත් දේ පෙන්වා දිය යුතුයි වගේම, උගත් ගැහැණු මිනිසුන් ආගම දෙස වඩාත් හේතු යුක්ත සහ විචාරශීලී ඇසකින් බැලිය යුතුයි.

සියල්ලටම පොදු සිවිල් නීතිය ගැන ඔබ කුමක්ද සිතන්නේ?

            මම එයට සම්පූර්ණයෙන් එකඟයි වගේම මම එවැනි සිවිල් නීතිමාලාවක් උදෙසා බංගලාදේශය තුළ සටන් වැදුන කෙනෙක්.  බංගලාදේශය තුළ හින්දු කාන්තාවන් ගොඩක් පීඩාවට පෙත්වෙනවා, පැරණි හින්දු නීති නිසා.  එයාලට තම පිය පාර්ශවයෙන් දේපළවලට උරුමකම් කියන්න අයිතියක් නැහැ. ඒ වගේම  එයාලගේ සැමියන්ටත් කීපවිටක් විවාහ වීමේ අවසරය තියෙනවා. ඉස්ලාම් පුද්ගල නීතිය පදනම් වෙලා තියෙන්නේ බංගලාදේශයේ ඉස්ලාම් දහමට අනුව. එහිදී මුස්ලිම් කාන්තාවන්ට තම සහෝදරයින්ට වඩා අඩු දේපළකට තමයි උරුමකම් කියන්න පුළුවන්. එයාලගේ සැමියන්ට සිව් වතාවක් විවාහ වෙන්න අවසර තිබෙනවා. ඒ නිසා මම කියනවා ආගම තුළ සමානාත්මතාවය නැහැ. ඒ නිසා සාමානාත්මතාව මත පදනම් වුණු පොදු සිවිල් නීතිය තමයි සුදුසුම ක්‍රමය.

            මම ආගමික මූලධර්මවාදයට එරෙහිව හෝ අනාගමිකවාදය වෙනුවෙන් හෝ කතා කරන විට කාන්තාවන්ගේ අයිතීන් කියන කාරණයත් හරිම වැදගත් – සෑම ආගමක්ම පවතින්නේ කාන්තා අයිතීන්ට එදිරිව.  ඔබට ඕනෑ නම් කාන්තා අයිතීන්ට එදිරිව. ඔබට ඕනෑ නම් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින්න, ඔබට සිද්ධ වෙනවා ආගමික මූලධර්මවාදය සහ ආගම් තුළ ඇති කාන්තාවන් පිටුදැකීමට විරුද්ධවත් සටන් කරන්න. මට අනුව අගාමික මූලධර්මවාදය කාන්තා අයිතීන්ට එදිරිව තිබෙන ප්‍රධාන බාධාවක්. මම කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින්නියක්, ඒ නිසා මම ආගමික මූලධර්මවාදීන්ට එදිරිව හඬ නගනවා.

ත්‍රස්තවාදයේ නවතම මුහුණුවර තමයි ධනවත් පවුල්වල තරුණ උගත් පිරිමි එයට එක්වීම….

            ආගමික නායකයෝ, මුස්ලිම්කරණය සඳහා සොයන්නේ උගත් තරුණයින්, ඒ හැකියාවන් ඇති තරුණ පිරිසක් ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් කර ගැනීමට ඔවුනට අවශ්‍ය නිසා.  ඔවුනට තියෙන්නෙ මුළු ලෝකයම පාලනය කිරීමේ මහා පරිමාණ සිහිනයක්, ඒ සඳහා ඔවුනට දක්ෂ උගත් බුද්ධිමත් තරුණ පිරිසක් අවශ්‍ය වෙනවා.

            ඔවුනට ආගම ඇදහීම හුරුකරවන්නේ කුඩා කාලයේදීමයි.  ඔවුන් පසු කලෙක විද්‍යාව වැනි විෂයන් ඉගෙන ගත්තත්, ඒ ඔවුන්ගේ රැකියාවට හෝ වෘත්තීය සඳහා පමණයි, ඒ වනවිටත් ළමා කාලයේදී ඔවුන් තුළ වැපිරූ ශක්තිමත් ඇදහිල්ල ඔවුන් තුළ නොනැසී පවතිනවා. එම ආගමික අනන්‍යතාව ගොඩනඟන්නේ කුඩා කාලයේදීමයි, එම ඉගැන්වීම විසින් ඔවුන්ට ඉතාමත් පහසු විසඳුම් ජීවිතයට ලබා දෙනවා. විද්‍යාව ඉගෙනීම දුෂ්කරයි, එහෙත් ආගම් ඉගෙන ගැනීම සාපේක්ෂව ආකාර්ෂණීයයි. ආගම ඒත්තු ගැන්වීමට සහ ඒ හරහා මනසට බලපෑම් කිරීමට පහසුයි.

”විද්‍යාව ඉගෙනීම දුෂ්කරයි, එහෙත් ආගම් ඉගෙන ගැනීම සාපේක්ෂව ආකාර්ෂණීයයි. ආගම ඒත්තු ගැන්වීමට සහ ඒ හරහා මනසට බලපෑම් කිරීමට පහසුයි”

එයට තිබිය හැකි විසඳුම?

            දරුවන්ව ලොකු මහත් කළ යුත්තේ නිදහස් චින්තනයක් බිහිවිය හැකි පරිසරයක.  ඒවගේම කුඩා කාලයේ සිටම බලහත්කාරයෙන් ආගමික ඉගැන්වීම සිදු නොකළ යුතුයි. එවිට ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා ඔවුන් ගේ ධර්මෝපදේශකයන්ට ඔවුන් මත බලපෑමක් ඇති කළ නොහැකියි. දැන් සිද්ධ වෙන්නෙ ඔවුන් ඉතා පහසු ගොදුරු බවට පත්වීම, මන්දයත් කුඩා කාලයේදීම ඕනෑම දෙයක් උකහා ගන්නා ඔවුන්ගේ මනස තුළ ආගමික මූලධර්මවාදයේ බීජ තැන්පත්ව ඇති නිසා. කුරානයේ පාඨයන් ධර්මෝපදේශකයන් විසින් වැරදි ලෙස අර්ථකතනය කිරීමක් ගැන සංවාද සුලබ ලෙස ඇති වෙනවා, ඒත් කුරානය පමණක් නොවෙයි, තවත් බොහෝ ශුද්ධ වූ ආගමික ග්‍රන්ථ මූලධර්මවාදීන් විසින් දෝෂ සහිතව තමයි අර්ථකතනය කොට තිබෙන්නේ. නමුත් ඒ කිසිම අවස්ථාවකදී කිතුනු භක්තිකයන් හෝ යුදෙව්වන් මිනිසුන් මරාගෙන මරාගෙන ගියේ නැහැ.  එක ආගමක් තමයි ලෝකය පුරාම අහිංසක මිනිසුන් මරණ ත්‍රස්තවාදීන් බිහිකලේ.

අකෙත් පැත්තෙන් සමාජයක් විදියට අපි කොහොමද මේ යළි යළිත් මතු වෙන මූලධර්මවාදයට හසු වීමෙන් බේරී සිටින්නේ?

            මේ මූලධර්මවාදයෙන් බේරී සිටීමට නම්, අපි ජනතාවට අධ්‍යාපනය ලබා දිය යුතුයි, විශේෂයෙන් එය අනාගමික අධ්‍යාපනයක් විය යුතුයි.  ඒ වගේම අනාගමික මානවවාදීන් එකට ඒක රාශී වී, කිසිදු අතරමැද සන්ධානයකින් තොරව මූලධර්මවාදයට එරෙහිව සටන් කළ යුතුයි.

ඉතින් ඔබට ඇති ජීවිත අවදානම, ඉස්ලාම් නීතියට අනුව දී ඇති නියෝග, පිටුවහල් කිරීම් මධ්‍යයේ ඔබ දිගින් දිගටම ඒ වෙනුවෙන් සටන් කරනවා?

            ඔව්. මට සහතින වෙන්න පුළුවනි ආගමික මූලධර්මවාදයට එරෙහි මගේ මතවාදීමය සටන මම නොනවත්වා කරගෙන යනවා කියන එක.  මම අදේවවාදියෙක්. මම යාච්ඤා ගැන විශ්වාස කරන්නේ නැහැ.  මම විශ්වාස කරන්නේ වැඩ කිරීම. ඉතින් මගේ කාර්යය තමයි ලේඛකයෙකුගේ කාර්යය. මගෙ පෑන තමයි මගේ ආයුධය.

ලේඛිකාවක් ලෙස, පිටුවහලේ ගත කරන නිර්මාණකාරියක් ලෙස ඔබට උපන් බිමට නැවත යාමට නොහැකි වීම පිළිබඳ සිත් තැවුලක් නැද්ද?

            නැහැ. මට සිත් තැවුලක් නැහැ, ඒත් බංගලිදේශේ ඉන්න මගේ නෑදෑයෝ බලන්න යන්න මට ආසයි. ඒත් ඒක කරන්න බැහැනෙ. ආණ්ඩුව මගේ විදේශගමන් බලපත්‍රය අලුත් කරන්නේවත්, මට පිවිසුම් අවසර පත්‍රයක් දෙන්නේවත් නැහැ. මට වලංගු කිසිම ලේඛනයක් නැතිව බංගලාදේශයේ ගමන් කිරීම ආරක්ෂිත නැහැ. මට දැන් දැනෙන්නේ මම ලෝක වැසියෙක් කියලා, මම දැන් දේශසීමා විශ්වාස කරන්නේ නැහැ, මුළු ලෝකෙම දැන් මගේ ගමයි.

ඇසුරුකරගත් මූලාශ්‍ර – economictimes. Indiatimes.com www.Taslimanasrin.com/

උපුටා ගැනීම – සුභාෂිණී චතුරිකා – අනිද්දා පුවත්පත, 2019.05.05 පිටුව 17

Recommended For You

About the Author: Editor