තොරතුරු තාක්‍ෂණීකරණය වීම තුළ පරිධියේ රටවල ගොඩනැගෙන මානව දෘෂ්ටිවාදය සහ එහි ස්වරූප

ආචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රන්ජන්
පවිත‍්‍රා උමයංගනී

මිනිසාගේ සහ සමාජයෙහි දෘෂ්ටිය සැකසෙන්නේ නිරන්තරව මිනිසාට පරිබාහිරව පවතින ද්‍රව්‍යාත්මක සාධකය සමග ගොඩනගන අන්තර් සබදතාව පදනම් කොට ගනිමිනි.

අද්‍යතන විද්‍යාත්මක ලෝකයේ තාක්ෂණික ක‍්‍රම දියුණුවත් සමග සන්නිවේදන ක‍්‍රියාදාමයන්ගේ ද සංකීර්ණත්වයක් ගොඩනැගී තිබේ. ලෝකයේ කිසිවක් සන්නිවේදනයෙන් තොරව නොපවතී. ඒ අනුව මානව විඥානයෙහි ද ප‍්‍රබලතම සහ ප‍්‍රධානතම ක‍්‍රියාව ගොඩනැගෙන්නේ සන්නිවේදනය පාදකවය. මේ තුළින් පුද්ගල විඥානය හැඩගස්සනවා පමණක් නොව එය නිර්මාණ සහ ප‍්‍රතිනිර්මාණය ද සිදු කරයි. අද්‍යතන සංකීර්ණ මාධ්‍ය, සන්නිවේදන ආකෘති සහ මිනිසාගේ ක‍්‍රියා පිළිබද අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ජන විඥානයෙහි ප‍්‍රබලතම වාහකයා සන්නිවේදනය බවයි. ඒ අනුව සන්නිවේදනය යනු සරල සංකල්පීය ප‍්‍රවේශයකට අනුගත වන ක්ෂේත‍්‍රයක් නොවන බැව් පැහැදිලිය.

මානව සංස්කෘතික කාරණාවෙහි ප‍්‍රබලතම ව්‍යුහාත්මක සාධකය වන්නේ ද සන්නිවේදනයයි. මේ තුළ පැහැදිලි වන ප‍්‍රබලතම කරුණ වන්නේ සන්නිවේදනයෙහි විෂය බද්ධ කාරණා නොමැති බවත් ඇත්තේ අර්ථ පද්ධතියක් පමණක්ම බවයි. එය යථාර්ථයට සම්බන්ධ වේ. එය යථාර්ථය පිළිබද ගතික අර්ථ නිර්මාණයක් බවට ද පත් වේ. සන්නිවේදනය මූලිකව යථාර්ථය සමග විෂය බද්ධතාවක් ගොඩනංවයි. මේ අනුව සන්නිවේදනය යථාර්ථයෙන් බැහැරට ද නොයයි. යථාර්ථය සහ එහි අර්ථ පද්ධතීන් සමාජ විඥාන ගත කරන්නේ ද සංඥා සහ සංකේත පදනම් කොට ගනිමිනි. භාවිත සංඥාර්ථ එක් එක් සංස්කෘතීන් තුළ ද වෙනස් වන අතර ඒවා සන්නිවේදන වියමන තුළ මානව ලේඛනයන් බවට ද පත් වේ.

මෙම සන්නිවේදන ක‍්‍රියාවලිය පුද්ගල සහ සමාජ දෘෂ්ටිවාද නිර්මාණය කරනවා පමණක් නොව පවතින දෘෂ්ටිවාද හෙළිදරව් කිරීම ද සිදු කරයි. ඒ අනුව සන්නිවේදනයේ සංස්කෘතික ව්‍යාපෘතිය ද ආත්මීය සහ අන්තර් ආත්මීය වශයෙන් පුද්ගලයා සහ සමාජ ලෝකය සම්බන්ධ කරමින් මිනිස් විෂයෙහි ස්වභාවය සහ එහි ගතික නිර්මාණය කිරීමට සමත් වේ. මේ තුළින් සම්භාෂණ අවකාශ ද පුලූල් කරමින් සමාජ අනුකලනාත්මක (Social integration) සහයෝගිතාවකට අවශ්‍ය ක‍්‍රියාවලිය ද ගොඩ නංවයි. සන්නිවේදනය මගින් වෙනස්වන ලෝකයේ යම් පුද්ගලයෙකුට හිමි ස්ථානය අවබෝධ කර ගත හැකි වන්නේ ද සන්නිවේදනය මත පදනම් වූ දෘෂ්ටිය තුළින් පමණකි. දෘෂ්ටිය යනු විඥානයේ හරය ද වේ. විඥානය තුළ ඇත්තේ ද නිෂ්පාදිත ගුණයන්ය. විඥානය බිහිවන්නේ ද සමස්තයක් වශයෙන් සමාජ ජීවිතයේ අවශ්‍යතා පදනම තුළිනි. සමාජයෙන් සහ සමාජ අන්තර් සබදතාවලින් පරිබාහිරව කිසිදු දිනක විඥානයට පැවතීමට ද නොහැකි වන්නේය. මිනිස් විඥානයෙහි පූර්ව කොන්දේසිය වන්නේ ද සමාජ ජීවිතයට සම්බන්ධ වීම සහ එහි අන්තර් ක‍්‍රියාවලියයි. මානව විඥානයෙහි මූලික ලක්ෂණය වන්නේ යමක් පිළිබද සංජානනය හෙවත් දැන ගැනීමයි. ලොව ඕනෑම ප‍්‍රපංචයකට ස්වකීය පැවැත්මේ මාදිලි සහ ස්වරූප තිබේ. එම ස්වරූපයන්ට පරිබාහිරව එම ප‍්‍රපංචයන්ට පැවැත්මක් ද නැත. සන්නිවේදනය විඥානයෙහි හැඩහුුරුව නිර්මාණය කරනවා පමණක් නොව එහි පැවැත්ම ද ස්ථාවර කරනු ලබයි.

මිනිසාට අනෙකුත් මිනිසුන්ගේ සිතට ප‍්‍රවේශ විය හැක්කේ ද භාෂාව සහ සන්නිවේදනය පාදකවය. ඒ අනුව භාෂාව, සන්නිවේදනය සහ විඥානය යනු එකිනෙකට හුදෙකලා වස්තූන් ද නොවේ. අනෙක් අතට විඥානය ගොඩනැංවීමේ දී ප‍්‍රබල කාර්ය සිදු කරන්නේ ද භාෂාව සහ සන්නිවේදනය මගිනි. සන්නිවේදනයට එක් එක් සමාජ සංස්කෘතික ස්වරූප අනුව නිශ්චිත ව්‍යුහයන් ද ඇත. ඒවා වාස්තවික නියමයන් මගින් පාලනය වනු ලබයි.

අනෙක් අතට සන්නිවේදනය සංස්කෘතියෙහි නිර්මාපකයා මෙන්ම සන්නිවේදනය සහ එහි වෙනස්කම් ද සංස්කෘතියෙහි ප‍්‍රතිඵල බවට පත් වේ. ලොව වඩාත් ප‍්‍රබලතම කාරණය වන්නේ ක‍්‍රියාවයි Action එය මානව හෝ සත්ව ක‍්‍රියාවලියට පමණක් නොව භෞතික ක‍්‍රියාවලියට ද හේතු වන්නකි. ඒ අනුව සන්නිවේදනය මගින් මෙම ක‍්‍රියාව හැඩ ගැස්වීම, ව්‍යුහගත කිරීම, ප‍්‍රතිව්‍යුහගත කරනයන් පමණක් නොව මානව අවශ්‍යතාවන්ගේ ස්වරූප ද වෙනස් කරයි. අද්‍යතන සමාජයේ ගොඩනැගෙන සන්නිවේදනය සංකීර්ණ තාක්ෂණය පදනම්ව සිදුවන බැව් පැහැදිලිය. බටහිර රටවල සමාජවල දෘෂ්ඨීගතික ස්වරූපයන්ට අනුව ගොඩනැගුණු පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ නව මාධ්‍ය ක‍්‍රම සහ රටා ලෝකයේ පරිධියේ රටවල (Periphery countries) පමණක් නොව කේන්ද්‍රීය රටවල ද (Central countries) සමාජ සහ පුද්ගල මනෝභාවයන් ද ප‍්‍රබල වෙනසකට ලක් කොට තිබේ. ඒ අනුව වර්තමාන මිනිසා මානව ගුණය ද පරාධීන කරනු ලබන්නේ මාධ්‍ය සංස්කෘතික අවියෝජනීය සබඳතා පාදකවය. මිනිසාගේ ක‍්‍රියාකලාපයෙහි චර්යාත්මක සහ චින්තන රටාවන්ගේ වෙනස්කම් මාධ්‍ය අභිරුචීනට අනුව වෙනස් කොට ගෙන තිබේ. මිනිසාගේ මෙම දෘෂ්ටිමය සහ චර්යාත්මක අරගලය ඔහුගේ පැවැත්මේ තීරණාත්මක සාධකය බවට පත්ව තිබේ. මේ තුළ මිනිසාගේ ස්වායත්ත පැවැත්ම පමණක් නොව සංස්කෘතික පැවැත්ම ද ගැටලූකාරී ස්වරූපයකට පත්ව තිබේ.

අද්‍යතන ජනමාධ්‍ය ධනවාදය තුළ කේන්ද්‍රීය වූ සමාජ ආර්ථික ක‍්‍රියාවලිය හා බද්ධ වූවකි. අර්බුදයක් නොමැතිවම පරිධියේ රටවල මාධ්‍ය තුළින් බටහිර සංස්කෘතියේ ස්වරූප නිර්මාණාත්මකව මතුවීමට වාණිජ වෙළෙදපොළ ක‍්‍රමවේදය මගින් ඉඩහැර තිබේ. මේ තුළ පරිධියේ සමාජ සංස්කෘතික කාරණා තුළ අනුසන්ධානය (පිළිවෙළ) ද බිද වැටී තිබේ. නිදසුන් ලෙස සදාචාර මිණුම් දඩුවලට සහ සංස්කෘතික නිශ්චයන්ට ප‍්‍රතිවිරෝධී වීම දක්නට ලැබේ. වෙළෙදපොළ පවතින්නේ සමාජ ව්‍යුහය සහ සංස්කෘතිය හමුවන තැන නිසා ගොඩනගන සංස්කෘතික වෙනස වෙළෙද පොළ සාධක පෙළඹවීමට ද හේතු වේ. මේ අනුව අද්‍යතන මාධ්‍ය සමාජ චර්යා රටානුගත (Routinized) කරන අතර සංස්කෘතික වස්තු බෙදා හරින අංශ බවට ද පත් වී තිබේ. ධනවාදි ස්වරූපයේ මූලික ලක්ෂණ අතර ක‍්‍රියාශීලිවීමත් (Dynamic) සීමා රහිත වීමත් දක්නට ලැබෙන අතර එය මාධ්‍යයෙහි ප‍්‍රබල යථාර්ථවාදී ගුණය බවට පත් කොට ගෙන ඇත.

අද්‍යතන ජනමාධ්‍ය බහුරූපත්වය සහ සංකීර්ණත්වය පාදකව අධියථාර්ථයක් නිර්මාණය කොට ඇති අතර ඒ තුළ මූල වස්තූන්ට වඩා අනුකෘති වැදගත් කොට සලකයි. අනුකෘති සහ අධියථාර්ථයන්ට මූලික ස්ථානයක් හිමිවන්නේ ද පශ්චාද් නූතනත්වය ආරම්භ වීමත් සමගිනි. ඒ අනුව පරිධියේ රටවල ද සමාජය අනුකෘති තුළින් බිහිවන අනුකෘති ඔවුන්ගේ යථාර්ථය බවට පත් කොට ගෙන තිබේ.

මෙම අනුකෘති තුළ නිශේධනය කළ නොහැකි වන අයුරින් සමාජීය බවක් මෙන්ම ප‍්‍රායෝගිකත්වයක් ද එක් කොට තිබේ. නූතනවාදී මාධ්‍ය ආකෘති තුළ ආකෘතික ස්වාධීනත්වය, ඒකාබද්ධතාව, සම්පූර්ණත්වය වැනි කරුණු දක්නට හැකි වුවත් පශ්චාත් නුතනවාදී ආකෘති තුළ ප‍්‍රබන්ධ කතා හා බැදුණු පුරුෂාර්ථ, කාලය දික්කිරීම, විවෘත අවසානයක් ඇති බව සහ මනස පිළිබද දර්ශනයෙන් හුදෙක් ඉවත් වී භෞතික දේ පිළිබද අවධාරණය පුලූල් කරමින් අවස්ථානුරූපී දෘෂ්ටිකරණයකට (Moment of vision) සමාජ විඥානය කේන්ද්‍රගත කරනු දක්නට ලැබේ. සෞන්දර්යාත්මක නිදහස දෙසට පහසුවෙන් ගමන් කිරීමට නොහැකි අයුරින් කාලය සහ අවකාශය ගොඩ නංවන අතර භාෂාව ද කොටස් කර හෙවත් ඛණ්ඩ කොට දක්වයි.
මෙම මාධ්‍ය 21 වන සියවසෙහි තාක්ෂණය හා අභිසරණය (Convergence) වෙමින් සාම්ප‍්‍රදායික සහ නූතන මාධ්‍යයෙහි නව ස්වරූප නිර්මාණය කොට තිබේ. පශ්චාද් නූතනවාදී හැඩහුරු ගොඩනංවන පරිධියේ රටවල මාධ්‍ය ස්වරූප තාක්ෂණික පමණක් නොව සංකල්පයන්ගේ සහ අන්තර්ගතයන්ගේ අභිසරණය ද නිර්මාණය කරනු දැකිය හැකිය.

අද්‍යතන මාධ්‍යයෙහි අභිසරණය සදහා,
1මාධ්‍ය ඩිජිටෙල් වීම -Digitalization of media
2 තොරතුරු තාක්ෂණීකරණය වීම – Information technology
3තොරතුරෙහි පරිවර්තනයන් නිර්මාණය වීම – Transformation of information ප‍්‍රබල ලෙස බලපා ඇති බැව් පැහැදිලිය (Gershon, 2000; Fidler, 1977)

මෙම තාක්ෂණික අභිසරණය සහ ඩිජිටෙල් විප්ලවය Digital revolution / Digital centrism) අන්තර්ගතය සහ එහි තොරතුර වේගයෙන් විසරණය සදහා හේතු වනු ඇත (Negroponte,1995). මෙතෙක් සම්ප‍්‍රදායික මාධ්‍ය ගොඩනගා ගෙන තිබූ භෞතික සහ සංස්කෘතික සීමා අතික‍්‍රමණය කරමින් අතිශය වේගයෙන් උත්තරාරෝපිත ලෙසින් සමාජ විඥානය හැඩ ගැස්වීම සිදු කොට තිබේ (Erdal, 2007).   මෙම සංයුක්ත ස්වරූපය ඉහත විමසන ලද ඇතැම් සම්බන්ධයන් සහ ගුණාංගයන් අනිවාර්යෙන්ම ගොඩනැංවීම සිදු කරනු ඇත,

තවද මාධ්‍ය අභිසාරීතාව සහ අද්‍යතන මාධ්‍ය විමර්ශීකරණය පිළිබද සාකච්ඡුාවේදී තවද අංශ කිහිපයක් පිිළිබදව අවධානය යොමු කළ හැකිය, එනම්

1 සම්ප‍්‍රදායික සහ නූතන මාධ්‍ය (ගුවන්විදුලිය, රූපවාහිනිය පුවත්පත ආදිය) එහි අන්තර්ගතයන් ව්‍යාප්ත කරලීම අරමුණු කර ගනිමින් පරිගණකය සහ අන්තර්ජාලය පදනම් වූ නව මාධ්‍ය සමග අන්තර්ගත වීම.

2 එය තොරතුර තාක්ෂණීකරණය වීමේ ක‍්‍රමවේදයක් පමණක් නොව විවිධ තලවල සිට තාක්ෂණය (Multiple level) ආර්ථික සමාජ ගෝලීය සහ සංස්කෘතික වශයෙන් අභිසරණය වීම.

3 මුද්‍රිත ශ‍්‍රව්‍ය, දෘශ්‍ය, ඩිජිටෙල් තොරතුරු සේවාවන් සංවිධානයන් සහ නිශ්පාදනයන් උපක‍්‍රමශීලි ලෙස සංස්කෘතික ඒකාබද්ධතාවක් ගොඩනැගීම යනාදී වශයෙනි.

මේ අනුව අභිසරණය වීමේ ප‍්‍රබලතම කරුණ වන්නේ තාක්ෂණික ශක්‍යතා සමග සම්මිශ‍්‍රනය වෙමින් විවිධ තලයන් දක්වා අන්තර්ගතයන් සම්මිශ‍්‍රනය කිරීමයි. මෙහිදී ප‍්‍රබලතම මෙවලම වන්නේ පරිගනකය සහ අන්තර්ජාලයයි. මෙම පදනම තුළ විද්‍යුත් ලෙස නිෂ්පාදනය වන අන්තර්ගතය සහ පෙළ අතිමාධ්‍යකරණය වීම මගින් ගොඩනැගෙන අන්තර් ක‍්‍රියාව වඩාත් සංකීර්ණ අත්දැකිම් භාවිතා කිරීම සදහා ගමන් කරයි. Fredin & David, 1998 මෙම අද්‍යතන මාධ්‍ය තාක්ෂණික අභිසාරිතාව (Technological convergence) පදනම්ව මාධ්‍ය අභිසාරිතාව (Media convergence), අන්තර්ගතයේ ස්වරූප ආදිය මුළුමනින්ම වෙනස් කොට තිබේ. එපමණක් නොව මාධ්‍ය අන්තර්ගතයන් සංවිධානය කිරීම සහ ප‍්‍රායෝගිකත්වයන් පමණක් නොව විෂය ප‍්‍රභේදයන් ද වෙනස් කොට ඇති බැව් දැකිය හැකිය.

මෙතෙක් ගුවන්විදුලිය සහ පුවත්පත වෙන් වෙන් වශයෙන් ක‍්‍රියාත්මක වීමට ස්වරූප සකස්කොට ගෙන තිබුණ ද අද්‍යතන තාක්ෂණික ප‍්‍රවේශය තුළ ගොඩනගාගෙන තිබූ මාධ්‍ය සීමා අතික‍්‍රමණය කරමින් එක්ව සහයෝගීතා පදනමින් ගොඩනැගීමට පසුබිම සකසා ගෙන තිබේ. ඒ අනුව මෙම ප‍්‍රභේදයන්ගේ දෙමුහුන්කරණයක් ද (Genre hybrids) දක්නට ලැබේ. මෙම ඩිජිටෙල්කරණය අද්‍යතනය වන විට මධ්‍යගත ස්වරූපයන්ගේ සිට පරිධිය දක්වාම ගමන් කොට තිබේ. මෙම ඩිජිටෙල්කරණය සහ මාධ්‍ය අභිසරණය තාක්ෂණික, සමාජ සහ සංස්කෘතික යන සියලූ මානව චර්යාත්මක සාධක ආවරණය කොට තිබේ. මාධ්‍ය අභිසරණය යනු ක‍්‍රියාවලියක් වන අතර අවසානයක් නොවේ (Not an end point) මාධ්‍ය අභිසරණය මාධ්‍ය පරිභෝජනය සදහා ප‍්‍රබල බලපෑමක් ද සිදු කොට තිබේ. එය සිතිවිල්ලෙහි සංස්කෘතිකකරණ ස්වරූපය සදහා ද හේතු වී තිබේ.

අද්‍යතන මාධ්‍යයෙහි ගුණාත්මක බවට වඩා ප‍්‍රමාණාත්මක කාරණා එක් එක් විෂය මූලික කාරණා ඔස්සේ වර්ධනය වී ඇති බැව් පැහැදිලිය. ලෝකයේ මානව සමාජය සහසම්බන්ධිත ලෙසින් ගොඩනැගෙන මාධ්‍ය සහ සන්නිවේදනය මානව සීමා ද අතික‍්‍රමණය කරමින් තත්‍යාසන්න යථාර්ථයකට අදාළව මිනිසාව නිෂ්පාදය කරමින් සිටියි. පණිවුඩයෙන්, තාක්ෂණයෙන් සහ මාධ්‍ය අභිසාරිතාවෙන් ලැබෙන ප‍්‍රතිඵල වලින් නිදහස් වීමට හෝ බේරීමට අද්‍යතන ගෝලීය සන්දර්භය තුළ කිසිදු මිනිසෙකුට නොහැකි වී ඇති බැව් පැහැදිලිය. එහි ප‍්‍රතිඵල ලෙස මිනිසාගේ් ගුණය ද අතික‍්‍රමණය කරමින් පශ්චාද් මිනිසෙකු (Post human) නිර්මාණය වී ඇති බැව් පෙනේ. ඒ අනුව මිනිසුන් අතර මිනිසෙකු සෙවීමට නොහැකි වන අයුරින් මාධ්‍ය සහ එහි තාක්ෂණික ප‍්‍රවේශ මිනිසා සහ සමාජ සාරධර්ම අතික‍්‍රමණය කොට තිබේ. මෙය මානව සහ සමාජ සංවර්ධනයට අදාළ ප‍්‍රගමණ ක‍්‍රියාවලියක් ද යන ගැටලූව අප අතර පවතී. මෙහි ප‍්‍රථිඵල ලෙස හෝමෝ සේපියන් (Homo sapiens) අතික‍්‍රමණය කරමින් තාක්ෂණය සහ පරාරෝපනය අභ්‍යන්තරීකරණය වූු අනාගත මිනිසෙකු වේගයෙන් නිර්මාණය වෙමින් පවතී. ඔහු තුළ ස්වයං සංකල්ප හෝ ස්වයං නිර්මාණ නොමැති වනු ඇත. සෞන්දර්යයේ යථාර්ථය හෝ යථාර්ථය තුළ සෞන්දර්යාත්මක දෘෂ්ටීන් බිහි නොවන නිසා අතථ්‍ය යථාර්ථය තුළ ඔහුට ජීවත් වීමට සිදු වනු ඇත. මෙහි ප‍්‍රතිඵල ලෙස සවිඥානික ලෙසින් හෝ අවිඥානික ලෙසින් මාධ්‍යට යටත් වී ඔහුට පාලනය වීමට සිදුව තිබේ.

ගෝලීය මාධ්‍ය ලෙසින් නිෂ්පාදනය වන බටහිර මාධ්‍ය එම සමාජ සංස්කෘතික ප‍්‍රතිරූප පරිධියේ රටවලට වේගයෙන් ප‍්‍රචලිත කරමින් ප‍්‍රබල සමාජ සංස්කෘතික වෙනසක් නිෂ්පාදනය කරමින් සිටියි. මෙම සමාජ සංස්කෘතික වෙනස අනෙකුත් භෞතික හෝ සමාජය විසින් නිර්මිත බලයන්ට වඩා ප‍්‍රබල වනු ඇත. එය දිගු කාලීන ද වේ. මෙම සංසිද්ධික ක‍්‍රියාවලියෙහි ශක්‍යතා සමාජ ප‍්‍රායෝගිකත්වයෙන් ගිලිහෙමින් ඒවා සාම්ප‍්‍රදායික කොන්දේසි බවට පමණක් පත්වෙමින් තිබේ. ඒ අනුව ජනමාධ්‍ය පිළිබදව ගවේෂණ සහ පර්යේෂණ අද්‍යතන යුගයෙහි කාලීන අවශ්‍යතාවක් බව පැහැදිලිය.

පරිශීලිත ග‍්‍රන්ථ

Gershon, R. A., 2000, The transnational media corporation: Environmental scanning and strategy formulation. The Journal of Media Economics, vol. 13, (2), pp. 81-101.

Fidler, R., 1997, Mediamorphosis.  Pine Forge Press, Thousand Oaks, California.

Fredin, E. S. & David, P., 1998, Browsing and the hypermedia interaction cycle: A model of self-efficacy and goal dynamics, Journalism & Mass Communication Quarterly, Vol. 75, (1), pp. 35-54.

Negroponte, N., 1995, Being Digital. Vintage Books, New York.

Erdal, I. J., 2007, Researching Media Convergence and Cross media News Production Mapping the Field. Nordicom Review 28 (2), pp. 51-61.

Recommended For You

About the Author: Editor