පැවිදි මිණිපහන : මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි

”කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙහි පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයෙහි උඩුගහ කෝරළයෙහි පිහිටි සුන්දර ගම්මානයක ටී. බී. පලිහවඩන (ටිකිරි බණ්ඩා පලිහවඩන) නමින් මේ දරුවා හැදී වැඩුණේ ය. වර්තමානයේ ලක් දේශයේ දිදුලන සඟරුවනක ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හොබවමින් සිය යුතුකම සහ මෙහෙවර දැය වෙනුවෙන් ඉටු කරන්නෝ ය”

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නමින් පැවිදි බිමට පිවිසි උන්වහන්සේ වයස අවුරුදු 16දී යක්කඩුවේ ප‍්‍රඥාරාම සංඝනායක හිමි සෙවනෙහි දහම් කරුණු උගෙන සඟබිමට පිවිසුණු සේක.

කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය මෙන් ම පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේණාධිපති වශයෙන් ද කටයුතු කරන නාහිමිපාණෝ බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා මා හැඟි සේවාවක් ඉටු කරන්නා වූ නා හිමිපාණන් වහන්සේ නමකි. මේ උන්වහන්සේගේ දිවිමග කියවීමකි…

‘‘මයෙ පුතා ඔය මල්ලත් අරන් ඉස්සර වුණා නං’’

අම්මා ගෙයින් එළියට එන තෙක් ගෙපිළට වී සිටි ටිකිරි බණ්ඩා පුංචි පන් මල්ල ද රැුගෙන මිදුලට බැස්සේ රමුක්ගොමුව කන්දට එපිටින් පෙනෙන අරුණළු දෙස බලමිනි.

ටිකිරි බණ්ඩලාගේ නිවස පිහිටා තිබුණේ වෙල් යායේ ඉස්මත්තටවන්නට ය. ඔවුනගේ ඉඩම අවසන් වන්නේ වෙල් යායෙනි. පෙනෙන තෙක් මානයේ වූ වෙල් යාය කඳු තුනකට මායිම් ව පිහිටියේ ය. එක් පසෙක වූ රුවන්ගිරි කන්ද භාවනා මධ්‍යස්ථානයක් ලෙස කලක සිට ප‍්‍රසිද්ධ වූව කි. අනෙක් පසෙක වූ රමුක්ගොමුව කන්දේ සිට එන දිය පහර වෙල් යාය අයිනේ ඇළ හරහා ගලා යයි.

ගමේ පන්සල පිහිටා තිබුණේ වෙල් යායේ අනෙක් පස වූ කන්දෙහි මැදට වන්නට ය. වළගම්බා රජ දවසට අයත් මේ පුරාණ විහාරයෙහි හතර පෝයට ම සිල් සමාදන් වීම ටිකිරි බණ්ඩාගේ මවගේ සිරිත ය.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ, පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයේ, උඩුගහ කෝරළයේ පිහිටි මේ සුන්දර ගම්මානය ටිකිිරි බණ්ඩා හැදී වැටුණු ‘‘වැලමිටියාව’’ ගම්මානය යි.

හත් දෙනකුගෙන් යුත් පවුලේ මද්දුමයා වන ටිකිරි බණ්ඩා යාන්තම් හය හතර තේරුණු අවධියේ සිට මව සමග සිල් සමාදන් වන්නට ගියේ මහත් ආසාවෙනි.

‘‘ඔන්න පුතේ අපි පන්සලට ආවා. දැන් ඉතින් දුවන්නේ, පනින්නේ නැතිව කෑ නොගහ සංවරව හැසිරෙන්න ඕනෑ’’ පඩිපෙළ නැග පන්සල් මළුවට ගොඩවෙද්දී සෑම දිනකම පාහේ මෙය අම්මාගේ මුවින් පිටවන්නක් බව ටිකිරි බණ්ඩා දනියි.

‘‘පුතේ, ඔය බෝ කොළ එහෙම පාගනවා නෙවෙයි. පව් සිද්ධ වෙනවා’’
බෝ මළුවට ඇතුල් වෙද්දී අම්මා කියයි.
‘‘කොහොම අම්මේ බෝ කොළ පාගන්නේ නැතිව යන්නේ ?’’
‘‘ඇයි පුතා, ඔය බෝ කොළ අහුලලා බෝධි බැම්මෙන් එහා පැත්තට දාන්න කෝ ’’

බෝ මළුව මැදින් විහාර ගෙය යන අම්මා පත්කඩය එළා දණ ගසාගෙන බුදුන් වැඳීම අරඹන්නී ය. ටිකිරි බණ්ඩා ද එහි කොණක දණ ගසා ගෙන අම්මා කියන ගාථා සියල්ල ම එලෙසින් ම කියයි.

එදා මවගෙන් ගාථා මෙන්ම සංවරකම ඉගෙන ගත් කුඩා ටිකිරි බණ්ඩා දරුවා ටික කලෙකින් පැවිදි දිවියට පිවිසුණේ පළිහවඩන පරපුරේ සතර වරිගයට ම නිවන් මග පාදා දෙමිනි. එදා ටී.බී. පළිහවඩන දරුවා අ සිරිලක සඟ සසුන දිදුලවන සඟරුවනක් වී හමාර ය.

කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් පැවිදි බවිට පිවිසුණු ආකාරය ද ඉතා රසවත් එකකි.

‘‘පන්සලට ගියාම හාමුදුරු නමක් දැක්ම මට හරි ආසයි. පාරේ හාමුදුරුනමක් වඩිනවා දැක්කාම මම මිදුලට දුවගෙන ගිහින් අත් දෙක උස්සලා ‘‘සාදු’’ කියලා වඳිනවා. ටික කාලයක් යද්දී මට හිතුණා මහණ වෙන්න ඕනෑ කියලා. ඒ වුණාට අපේ අප්පච්චිගේ ඒකට කැමැත්තක් තිබුණේ නැහැ. ඈපා පංචාංග ලිතේ සුභ දවසක් පෙන්නලා මම අප්පච්චිට කීවා මාව මහණ කරන්න කියලා. අප්පච්චි මං දිහා බලා ඉඳලා මුකුත් නොකියා මිදුලට බැස්සා. ඊට පස්සේ හුඟක් වෙලා යනකල් රුවන්ගිරිය කන්ද දිහා බලාගෙන හිටියා’’

එදා ටිකිරි බණ්ඩා ඇතුළු වැලමිටියාව ගම් පළාතේ කිසිදු දරුවෙකුට අකුරු කරන්න පාසලක් තිබුණේ නැත. ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ව සිටි කුරුක්ගමුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් පන්සලේ බණ මඩුවේ ගමෙ දරුවන්ට අකුරු කරවීම ආරම්භ කළේ එහෙයිනි. එහි ඩෙස්, පුටු, බංකු කිසිවක් නොවූ අතර බණ මඩුවේ බිම හිඳගත් දරුවන් අකුරු ඉගෙන ගත්තේ අකුරුවල හැඩයට ඔලිඳ ඇට තබමිනි.

ටික කලකින් ඉගන්වීම සඳහා ගුරුවරුන් දෙදෙනකු පත් කර ගන්නා ලද්දේ ද නායක ස්වාමීන් වහන්සේගේ වියදමිනි. වැඩි කල් නොගොස් පන්සලේ ප‍්‍රධාන දායකයෙකු වූ කිරි මුදියන්සේ මහතා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමෙහි ගොඩනැගිල්ලක් ඉදිකර එහි පාසල ආරම්භ කිරීමට හැකි විය. පසු කාලයක රජයට පවරා දුන් මෙම පාසල අද වැලමිටියාවේ රජයේ ආදර්ශ විදුහල යි. මෙය ආදර්ශ විද්‍යාලයක් ලෙස නම් කරවීමට කටයුතු සම්පාදනය කරන ලද්දේ වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් විසිනි.

‘‘අපි ඉස්කොලේ යන්ඩ ලෑස්ති වෙලා අම්මටයි, අප්පච්චිටයි විඳිනවා. එතකොට කියනවා, මගේ රත්තරං පුතාට තුරුණුවන් සරණයි, දෙවියන්ගේ පිහිටයි කියලා. අදටත් මගේ හදවතේ ඒ හඬ තියෙනවා. දැනෙනවා. අපි ?ට නිදාගන්න යද්දීත් දෙමාපියන්ට වඳිනවා. මම පුංචි කාලේ හරිම ආසයි ඉස්කෝලේ යන්න. අසනීපයක් නොවෙයි නම් වෙන කිසිම හේතුවක් හින්දාවත් නවතින්නේ නැහැ. අපේ ඉස්කෝලේ හිටිය ලොකු මහත්තයා ජයසේන කියලා විදුහල්පතිවරයෙක්. ඉස්කෝලෙන් පස්සේ අපිට නවත්වගෙන කන්ඩ දීලා අපට ගණන් උගන්වනවා. අපි ගුරුවරුන්ට පුදුම බයක්, ගෞරවයක් තිබුණේ.අපි බයිසිකලයක් පැදගෙන යද්දී මගදී ගුරුතුමෙක් මුණ ගැහුණොත් බයිසිකලෙන් බිමට බහිනවා. එක් දවසක් මම කලබලෙන් බහින්න ගිමින් කම්බි වැටක හැප්පිලා පෙරළුණා’’

එක් සෙනසුරාදාවක යම් කටයුත්තක් සඳහා ටිකිරි බණ්ඩා දරුවාගේ නිවස අසලින් වඩිමින් සිටි පන්සලේ නායක හාමුදුරුවන් දුටුවේ ගෙමිදුලෙහි සිටින ටිකිරි බණ්ඩායි. හාමුදුරුවන් දුටු සැණින් දිව අවුත් දණ ගසා වැඳ නැගිටින දරුවාගේ හිස අතගා උන්වහන්සේ පැවසුවේ,

‘‘යමු මාත් එක්ක පන්සලට’’
ටිකිරි බණ්ඩා ඈත – මෑත බැලූවේ දෙගිඩියාවෙනි.
‘‘අම්මාගෙන් අහලා එන්නං’’

එදායින් පසු සෑම සෙනසුරාදා දිනක ම පන්සලේ ගත කිරීම ටිකිරි බණ්ඩාගේ පුරුද්දක් විය. ටික කලක් වෙද්දී පාසල් යාම ද නැවතුණු ටිකිරි බණ්ඩා පන්සලේ ම නතර විය.

එකල විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ ධූරය දැරූ යක්කඩුවේ ප‍්‍රඥාරාම නා හිමිපාණන් වහන්සේ මෙරට භික්ෂු අධ්‍යාපනය සහ විද්‍යාලංකාර පිරිවනේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය දැව සපයා ගන්නා ලද්දේ උන්වහන්සේ විසින් දිවයින පුරා විහාරස්ථානවලින් සපයා ගත් ගස්වලිනි.

මේ සඳහා තමා දන්නා හඳුනන විහාරස්ථාන වෙත වැඩම කිරීම උන්වහන්සේගේ පුරුද්දක් විය. එසේ උන්වහන්සේ වැලමිටියාවේ විහාරස්ථානය වෙත වැඩම කළ එක් අවස්ථාවක ටිකිරි බණ්ඩා දරුවා දුටු සැණින් පැවසුවේ,

‘‘මේ ළමයා නම් මහණ කරන්න හොඳයි’’ යනුවෙනි.
වයස අවුරුදු 16 දී වැලමිටියාවේ කුසලධම්ම නමින් පැවිදි බිමට පිවිස ඒ දරුවා ආගම දහමින් ඔප මට්ටම් වූ සඟරුවනක් වූයේ යක්කඩුවේ ප‍්‍රඥාරාම සංඝ නායක සෙවණේ ය.

‘‘මට පුංචි කාලේ ගෙදරට කිවුවේ දොස්තර පුතා කියලා. ගමේ හැමෝ ම කතා කළේ එහෙමයි. ඒ මොන හේතුවක් හින්ද ද මම දන්නේ නැහැ. අපි කවදාවත් අපේ දෙමාපියෝ කාගෙවත් නුගුණයක් කතා කරනවා අහලා නැහැ. හැම කෙනෙකුගේම හොඳක් තමයි කතා කළේ. දරුවන්ට කතා කළේ පුදුම ආදරේකින්. පුතාලාට, බෑණලට කතා කළේ ‘රත්තරං පුතාලා’’ කියලා. දුවලට කතා කළේ රත්තරං දුවලා කියලා. මම මහණ වුණාට පස්සේ කිව්වේ රත්තරං හාමුදුරුවෝ කියලා. දෙමාපියන්ගෙන් ලැබෙන මේ දයාවේ, කරුණාවේ, ආභාෂය යහපත් ජීවිතයකට හොඳ අඩිතාලමක් ’’
මහණදම පෙර පින් බලයෙන් මේ ආත්මයට ද රැුගෙන ආ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේ ඒ පින් බලයේ මහිමයෙන් ලද හික්මීම, කරුණා ගුණය, ඉවසීම, කෘතගුණය ආදි සියලූ ගුණ දහම් දායාද කර ගත්හ. දහස් සංඛ්‍යාත ශිෂ්‍ය පරම්පරාවකගේ සිත් සතන් නිවා සනහාලන උන්වහන්සේ දෙන ඔවදන් පිළිපැඳීම දරුවන්ට යහපතක් ම සලසයි.

‘‘රටට ඕන කරන යහපත් පුරවැසියෝ හදන්නේ ගුරුවරු. ඒ නිසා ගුරුවරුනට ආදරය, භක්තිය, ගෞරවය, සැලකිල්ල අපි තුළ ඇතිකර ගත යුතුයි. එය අපේ ජීවිතවලට ආදර්ශයක්. දෙමාපියන්, ගුරුවරුන් අපේ ජීවිතවලට මිත‍්‍රයින් බව අපේ දරුවන් සිහියේ තබා ගත යුතු දෙයක්’’

Recommended For You

About the Author: Editor