බුද්ධි අංශ ශක්තිමත් කරන හැටි ගෝඨාගෙන් ඉගෙන ගන්න – ශ‍්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක්

අන්තර් ආයතන සන්නිවේදන හා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් පියවර ගැනීම හේතුවෙන් අල්කයිඩාවට යළි ඇමෙරිකාවට ප‍්‍රහාර එල්ල කිරීමට නොහැකි වූ බවත් ඇමෙරිකාවේ පැවැති ආකාරයේ යාන්ත‍්‍රණයක් ගෝඨාභය රාජපක්ෂ යුගයේ දී ලංකාවේ ද පැවැති බවත් ශ‍්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා පවසයි.

පසුගිය 07 වැනිදා පැවැති සම්මන්ත‍්‍රණයකදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේය. පාත්ෆයින්ඩර් පදනම සහ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය මගින් මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කර තිබුණේය.

මෙහිදී ශ‍්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකානු අත්දැකීම් ද පදනම් කර ගනිමින් බ්ලෙක් මහතා මෙසේ ද සඳහන් කළේය. ජාතියක් වශයෙන් අප අතින් සිදු වූ බරපතළම අත්වැරැුද්ද තමයි සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට ලක්වීම. අපි ඒ තත්ත්වයට ගොදුරු වුණේ බුද්ධි අංශ සහ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන අතර අන්තර් සන්නිවේදනයක් සහ සම්බන්ධීකරණයක් නොවීම නිසයි. විශේෂයෙන් FBI සහ CIA සහ නීති ක‍්‍රියාත්මක කරන වෙනත් ආයතන අතර නිසි සන්නිවේදනයක් සිදු නොවුණ නිසයි. ඔවුන් නිසි පරිදි තම සතු තොරතුරු සන්නිවේදනය කිරීමට අසමත්ව තිබුණා.

මේ බව වටහා ගත් එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් කඩිනමින් වැදගත් පියවරක් ගත්තා. ඒ අනුව අන්තර් ආයතන සන්නිවේදනය සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා නව කමිටුවක් ස්ථාපිත කරන ලෙස නියෝග කළා. එහිදී ජනපතිවරයා තවත් වැදගත් තීන්දුවක් ගත්තා. ඒ අනුව සියලූම බුද්ධි අංශ සංවිධාන සහ නීති ක‍්‍රියාත්මක කරවන ආයතනවල සේවය කරන ජ්‍යේෂ්ඨ පුද්ගලයින් ඊට අනුබද්ධ කළා.

මෙම නව කමිටුව පිහිට වූ පසු ඔවුන් සති පති රැස්වී සියලූම බුද්ධි තොරතුරු හුවමාරු කර ගනිමින් ඒවායේ විශ්වාසනීයත්වය තහවුරු කර ගත්තා. මෙහිදී ඉතාම වැදගත් ක‍්‍රියාමාර්ගයක් ද සිදු වුණා. ඒ ඔවුන් තමන් විසින් තහවුරු කරගත් විශ්වාසනීය තොරතුරු මත ක‍්‍රියාත්මක වුණා. මෙහිදී තවත් වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. ඔවුන් කමිටුවක් ලෙස සංවිධානය වුවත් එක් එක් පුද්ගලයාට තනි තනිව වගකීම් ද පවරා තිබුණා. මෙම ක‍්‍රියාවලිය මගින් සිදු වුණ අති සාර්ථකත්වය තමයි සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසුව මේ දක්වා කිසිදු ත‍්‍රස්ත සංවිධානයකට ඇමෙරිකාවට සාර්ථක ප‍්‍රහාරයක් එල්ල කිරීමට නොහැකි වීම.

ඇමෙරිකාවට දෙශීය වශයෙන් ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් යම් ගැටලූ තිබුණත් අල්ඛයිඩාව, ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ආදි කිසිදු සංවිධානයකට, පැරීසියට සහ වෙනත් ස්ථානවලට මෙන් ඇමෙරිකාවට ප‍්‍රහාර එල්ල කිරීමට නොහැකි වුණා’’ යැයි රොබට් ඕ බ්ලේක් මහතා බුද්ධි අංශ සම්බන්ධීකරණය සම්බන්ධයෙන් වන ඇමෙරිකානු අත්දැකීම් පැහැදිලි කළේය.

ඊට පසුව ශ‍්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය ගැන තම අදහස් පැහැදිලි කළ බ්ලෙක් මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ යුද්ධය පැවැති යුගයේදීත් ශ‍්‍රී ලංකාව තුළත් ඇමෙරිකානු ක‍්‍රමවේදය අනුගමනය කළ බුද්ධි අංශ යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වුණා. ඔහු පෞද්ගලිකව එය මෙහෙයවනු ලැබුවා. රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගත් තොරතුරු ඉහළ බලධාරීන් දක්වා ගමන් කළා. ඔවුන් එහිදී එකී තොරතුරු විශ්ලේෂණය කළා. ඒ අනුව ප‍්‍රතිචාර දක්වනු ලැබුවා.

මගේ විශ්වාසය වන්නේ වත්මන් ආණ්ඩුවත් ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපිත කිරීම ගැන සිතා බැලිය යුතුයි’’ මෙහිදී රොබට් ඕ බ්ලේක් මහතා විශේෂ අවධාරණයක් ද කරනු ලැබුවා. ඒ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ට හෝ වෙනත් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලට ශ‍්‍රී ලංකාව තුළ වර්ධනය වීමට අවස්ථාවට නොදීමට ශ‍්‍රී ලංකාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

Recommended For You

About the Author: Editor