මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය හා ප‍්‍රතිකාර

වෛද්‍ය සංජය හෙයියන්තුඩුව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ලොව පුරා විසිරුණු, පැතිරුණු වකුගඩු රෝග රැසක් ඇත. ඒවා අතර ප‍්‍රධාන තැනක් ගන්නේ,
1 දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝග.
2 අධික රුධිර පීඩනය නිසා ඇතිවන වකුගඩු රෝග.
3 මුත‍්‍රා සමග ඇල්බියුමින් පිටනක වකුගඩු රෝගී තත්ත්වයන්.
4 පාරම්පරික ජාන මගින් උරුම වන වකුගඩු රෝගී තත්ත්වයන්.
5 වකුගඩුවල ඇති ගල් නිසා ඇතිවන වකුගඩු රෝගී තත්ත්වයන්.
6 විවිධ රෝගාබාධ නිසා ද්විතිකව ඇතිවන වකුගඩු රෝගී තත්ත්වයන්
7 උප්පත්තියෙන්ම කුඩා ළමුන්ගේ මුත‍්‍රාවාහිනී පද්ධතියේ ඇති අසමානතා නිසාවෙන් සහ නිතර ඇතිවන මුත‍්‍රා ආසාදන හේතුවෙන් ඇතිවන වකුගඩු අකර්මන්‍ය වීම.
8 වෛද්‍ය උපදෙස්වලින් තොරව දීර්ඝකාලීනව ඖෂධ (වේදනා නාශක) භාවිතයෙන් ඇතිවන වකුගඩු අකරනිය.
9 විවිධ බාහිර සාධක නිසා ඇතිවන වකුගඩු රෝග (උදාහරණ: සර්ප දෂ්ඨනය, මී උණ, මැල්රියාව, එච්.අයි.වී වැනි ආසාදන නිසා ඇතිවන වකුගඩු රෝග, හඳුනා නොගත් වකුගඩු රෝගය/ රජරට වකුගඩු රෝගය.

බොහෝ වකුගඩු රෝග මාරාන්තික වන්නේ ඒවායින් සම්පූර්ණයෙන්ම වකුගඩු අක‍්‍රිය විය හැකි බැවිනි. වකුගඩු අක‍්‍රිය වූ විට (Acute Renal Failure & Chronic Renal Failure) ඇති ප‍්‍රතිකාර (රක්ත කාන්දුපෙරණය, පරිතාන කාන්දුපෙරණය, වකුගඩු බද්ධ කිරීම) සීමිතය, දුෂ්කරය, විදයම් අධිකය. එම ප‍්‍රතිකාර තුනෙන් (3) එකක් ක‍්‍රියාත්මක නොකළහොත් වකුගඩු අකර්මන්‍ය වූ රෝගියාගේ මරණය නියතය.

වකුගඩු රෝගවල පොදු ලක්ෂණ වන්නේ

1 මුහුණ අතපය ඉදිමීම.
2 මුත‍්‍රා සමග පෙණ යාම.
3 මුත‍්‍රා සමග ලේ යාම.
4 මුත‍්‍රා දැවිල්ල.
5 මුත‍්‍රා යාම අඩුවීම.
6 පිට කොන්දේ කැක්කුම.
7 හතිය.
8 කෑම අරුචිය, ඔක්කාරය ගතිය හා සිහි මද බව.
9 අධික නිදිමත ගතිය.
10 ඇඟ කැසීම

වකුගඩු රෝගය කල් ඇතිව හඳුනා ගැනීමට ඉහත සඳහන් රෝග ලක්ෂණ මෙන්ම පහත සඳහන් වෛද්‍ය පරීක්ෂණ ද පොදුවේ උපකාරී වේ.

  1. UFR
  2. Urine ACR
  3. Serum Creatinine
  4. USS – KUB

1990 දශකයේ මැද භාගයේ සිට උතුරු මැද, වයඹ හා ඌව පළාත්වල පැතිර යන ‘‘මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය’’ වසංගත තත්ත්වයෙන් පැතිර යමින් පවතින අතර මෙම රෝගී තත්ත්වය පැතිරී ඇත්තේ ජලයේ කිවුල අධික, පරිසරය උෂ්ණාධික කෘෂිකාර්මික ප‍්‍රදේශවල බව පැහැදිලිව ම පෙනී යයි.

දැන් දැන් මෙම රෝගය Chronic interstitial nephritis in agricultural communities – ලෙස විද්වතුන් සහ වෛද්‍ය පාඨ ග‍්‍රන්ථ නම් කිරීමට පෙළඹී ඇත්තේ මෙම රෝගය කෘෂිකාර්මික ජන ප‍්‍රජාව අතර දක්නට ලැබෙන නිසා විය හැකිය.

මේ මොහොත වන විට මෙම රෝගය ගැන ශ‍්‍රී ලාංකික විද්වතුන් අතර උණුසම් කතිකාවතක් නිර්මාණය වී ඇති අතර, එහි මූලය නිශ්චිතවම විද්‍යානුකූලව ඔප්පු කිරීමට තවත් කාලයක් ගත වනු ඇත. අපගේ ප‍්‍රශ්නය වනුයේ මෙම රෝගය නිසා මිය යන්නේ රටට ම බත සපයන ගොවි ජනතාව වන බැවිණි. මෙවැනි තත්ත්වයකදී මෙම රෝගයේ මූලයන් විද්‍යාත්මකව ඔප්පු කරන තුරු සහ ගොවි ජනතාව පවුල් පිටින් මියයන තුරු බලා සිටිය යුතුද ?

අප කළ යුත්තේ මෙම රෝගයට දැනට සොයා ගෙන ඇති අනුමාන පරිසර සාධක (රසායනික පොහොර, පළිබෝධනාශක, කිවුල් ජලය, අධික උෂ්ණත්වය, සර්ප දෂ්ඨනය) අවම කර ගැනීමට ක‍්‍රියාකිරීමයි. එය මේ සඳහා කෙරෙන ඉතා හොඳ පරීක්ෂණයක් ද වනු ඇත.

මෙම රෝගය වළක්වා ගැනීමට අදාළ අනුමාන සාධක අවම කර ගැනීමට කළ හැකි දේ අතර සාම්ප‍්‍රදායික හෙළ ගොවිතැන වෙත යොමුවීම සහ පිරිසිදු පානීය ජලය භාවිතය ඉතා හොඳ ප‍්‍රවේශයකි. මහ පැරකුම් රජ දවස රට සහල් ස්වයංපෝෂිත වූයේ හෙළ ගොවිතැනේ ඇති කාර්යක්ෂමභාවයේ අනුහසිනි. මෙම ප‍්‍රශ්නයට විසඳුම අප රටේ කෘෂි ඉතිහාසය මෙන්ම මෙම රෝගයේ ඉතිහාසය හා විකාශය අධ්‍යනයෙන් ලබාගත හැක.

එකල භාවිතා කළ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වගා කළ හැකි දේශීය සහල් (පච්චපෙරුමාල්, හීනටි, කුරුළුතුඩ, සුවදැල්) භාවිතයෙන් වස විස නැති ආහාර වේලක් පිළියෙළ කරගන්නවා මෙන්ම, උසස් පෝෂණ ගුණයක් (යකඩ, ප්‍රෝටීන) සහ ප‍්‍රතිඔක්සිකාරක ගුණයක් ඒ සමග අපේ රටේ ජනතාවට ලබා දෙන අතරම රජයට පොහොර සහනාධාරයට යන මුදල ද ඉතිරිවේ. ගොවි ජනතාව පවුල් පිටින් මියයන මෙවන් අවස්ථාවක මෙම ප‍්‍රශ්නයට කඩිනමින් ප‍්‍රවේශ නොවීමෙන් සිදුවනුයේ මා ඉහත සඳහන් කළ පරිදි මුළු රටට ම බත සපයන ගොවීන් රටින් තුරන්වීමය. එබැවින් රජයක් වශයෙන් මෙම ප‍්‍රශ්නයට තීව‍්‍ර ප‍්‍රවේශයකින් අවතීර්ණ වී මෙම විෂම චක‍්‍රයට තිත තැබීමේ කාලීන අවශ්‍යතාවය පෙන්වා දීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි.

Recommended For You

About the Author: Editor