විවාහයෙදීත් සම්ප‍්‍රදාය නොතැකූ හැරීගෙන් තවත් සම්ප‍්‍රදාය විරෝධී තීන්දුවක්

‘‘හැරී කියන්නේ ඩයනාගේ පුතා’’

ඩයනා කුමරිය ළදරු හැරී කුමරු සමග

මුළු ලොවක් බලා සිටි නම් තැබීමේ මංගල්‍යය නොසිතූ විරූ ලෙස තවත් විප්ලවීය තීන්දුවකින් අවසන් වුණා. ඒ සමග මේ දෙස ඇස් කන් අයා සිටි සූදු අන්තුවන් නන්නත්තාර වූ බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

බි‍්‍රතාන්‍ය රජ පවුල මහත් ඉහළින් සලකන රාජකීය සම්ප‍්‍රදාය, රාජකීයත්වය ආදි බොහෝ දේ ගැන ජනතාව හිතා සිටියත් මේගන් මර්කර් විවාහ කර ගැනීමට හැරීත් , හැරී හා විවාහ වීමට මේගනුත් ගත් ඒ විප්ලවීය තීන්දුව සේ රාජකීය බිළිඳාට නම් තැබීමත් විප්ලවීය තීන්දුවක් වුණා. ඒ හැරී – මේගන් යුවල වසර සිය ගණනක් පැරණි රජ පවුලේ සම්ප‍්‍රදාය මුළු මනින්ම බැහැර කළ නිසයි.

හැරී – මේගන් යුවල සිය බිලිඳු පුතුට ආර්චී හැරිසන් මවුන්ට්බැට්න්-වින්ඩ්සර් (Archie Harrison Mountbatten-Windsor) යනුවෙන් නම් තබා තිබෙනවා. එය කිසිවෙකු බලාපොරොත්තු නොවූ නමක් බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය කියන්නේ.

“මේ වගේ නමක් ගැන කිසිම කෙනෙකුගේ අවධානයක් යොමු කරලා තිබුණේ නැහැ,” මැජෙස්ටි රාජකීය සඟරාවේ කළමනාකරණ සංස්කාරක ජෝ ලිට්ල් කිසියම් කණස්සල්ලකින් යුතුව පවසනවා.

”ආර්චී” යන නම බ්‍රිතාන්‍ය රාජකීය පවුලට සම්බන්ධ නමක් නොවුණත් එය පසුගිය වසර කිහිපය තුළ බි‍්‍රතාන්‍යයේ ජනප‍්‍රියම නමක් වූ බව කියවෙනවා. 2017 වසරේදී එම නම එංගලන්තයේ සහ වේල්සයේ වඩාත් ජනප්‍රිය නම් අතර 18 වන ස්ථානය හිමි කර ගෙන තිබුණා. එම වසරේදී උපත ලැබූ බිලිඳුන් 2803 දෙනෙකු සඳහා එම නම යොදා තිබුණා. ඊට අමතරව 2003 වසරේ සිට එම නම ජනප්‍රිය ම නම් 50 අතර පසු වුණා. .

ආර්චී යන්නෙහි අර්ථය “නියම” හෝ “නිර්භීත” වන අතර, එය බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය නමකි. එය ආර්චිබෝල්ට් (Archibald) යන වචනයේ කෙටි යෙදුමකි.

”හැරිසන්” යන නාමය ද රාජකීය පවුලට අලුතින් එක් වන නමක් බවයි කියන්නේ. ඇමෙරිකාවේ ආර්චී යන නමට වඩා හැරිසන් යන නම මඳක් ජනප්‍රිය බව කියනවා. කෙසේ වෙතත් හැරිසන් යන නම එක්සත් රාජධානියේ අතිශයින් ජනප්‍රිය එකක් වන අතර 2017 වසරේදී එය 34 වන ස්ථානය හිමි කර ගෙන තිබුණා. එහි මූලික අර්ථය ලෙස සඳහන් වී ඇත්තේ, ‘හැරීගේ පුත්‍රයා’ (son of Harry) යන්නයි.

සිය අලුත උපන් බිලිඳාට රාජකීය තනතුරු නාමයක් භාවිත නොකිරීමට ද හැරී සහ මේගන් තීරණය කර තිබෙනවා.

ආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී බිලිඳා ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතුය. එහෙත්, හැරී සහ මේගන්ගේ තීරණය අනුව ඔහු ආර්චී දරුවා (Master Archie) ලෙස හැඳින්වෙනවා.

මේ රැඩිකල් වෙනස ගැන රාජකීය ප්‍රකාශක රිචර්ඩ් ෆිට්ස්විලියම්ස් පැවසුවේ, හැරී සහ මේගන් සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් රාජකීය නම් තෝරා නොගැනීම “පුදුමසහගත” බව යි . ඒ මගින් “රජ පවුලේ නව්‍යත්වයක්” සිදු වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

“එය අනන්‍ය ආකාරයකට ක්‍රියා කරන අනන්‍ය යුවළකගේ අනන්‍ය තෝරා ගැනීමක්. අපි කතා කරන්නේ ”සසෙක්ස්” සන්නාමය ගැන. එයා ජාත්‍යන්තර සන්නාමයක්.”

“ඔවුන්ට වුවමනා වෙලා තිබුණා පොඩි වෙනසක් කරන්න. ඔවුන් ඒක කරලා තියෙනවා,” රාජකීය සඟරාවේ සංස්කාරක ජෝ ලිට්ල් පවසනවා.

සම්ප්‍රදාය අනුව බිලිඳාගේ මුත්තණුවන්ගේ නමක් (ෆිලිප් හෝ චාර්ල්ස්) මැද නම ලෙස භාවිත නොකර තිබීම පිළිබඳව ද ඇතැම් අදහස් පළ වී තිබෙනවා.

“ඒක දෙමාපියන්ගේ කැමැත්ත,” ජෝ ලිට්ල් පවසනවා.

තම විවාහයේදීත් රාජකීය සම්ප‍්‍රදායන් බැහැර කර සරල ලෙස සිතූ හැරී – මේගන් තම කුළුදුල් දරුවාට නම් තැබීමේදීත් ඒ සම්ප‍්‍රදාය ගැන කිසිම තැකීමක් කළේ නැහැ. හැරී මෙතරම් විප්ලවකාරී තීන්දු ගන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවන බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය කියන්නේ.

‘‘හැරී කියන්නේ ඩයනාගේ පුතා’’

Recommended For You

About the Author: Editor