Voice of දියවන්න: සතියේ දේශපාලනය: බන්දුල රස රහසක් හෙළි කරයි

හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව මහින්ද වෙත භාර දුන්නේ පසුගිය සිකුරාදාය. ඒ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ගෝඨාභය ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් කණ්ඩායමක් එම අවස්ථාවට එක්ව සිටියහ.

බුද්ධි අංශ ශක්තිමත් කිරීමත් අන්තවාදයට නැඹුරුව සිටින පිරිස් පුනරුත්ථාපනය කිරීමත් ප්‍රමුඛත්වයෙහිලා සැලකිය යුතු බව එම වාර්තාව මගින් නිර්දේශ කර තිබුණි. විශ්‍රාම ලැබ සිටියදී වුවත් රට හදිසි ආපාදාවක මුහුණ පා සිටින අවස්ථාවක වහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මහින්ද මෙම විශ්‍රාමික නිලධාරීන් පිරිසට ස්තුති කළේය.

මහින්ද වෙත භාර දුන් වාර්තාව එදින රාත්‍රියේම මහින්ද මෛත්‍රිට පිළිගැන්වීය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර විපක්ෂය නියෝජනය කරමින් වුවත් ජාතික වැදගත්කමකින් යුත් කරුණුවල දී රට වෙනුවෙන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මහින්ද මෛත්‍රිගේ ඇගයීමට ලක්විය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු පිරිස අගරදගුරු නිල නිවසේ

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු පිරිස එදිනම අගරදගුරු නිල නිවසේ දී කාඩිනල්වරයා හමුවූයේ ද මහින්දගේ ප්‍රධානත්වයෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්යෙන් පක්ෂ නායකයෝ මෙහිදී කාදිනල්වරයා වෙත සොව පළ කළහ. එසේම විනාශ වූ දේවස්ථාන යළි ගොඩනැගීම යනාදියට තමන්ගේ දායකත්වය ලබාදීමටත් ඔවුහූ ප්‍රතිඥා දුන්හ.

ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ මෙරට සංචාරක ව්‍යාපාරය දැවැන්ත ගැටලුවකට මුහුණ පාට සිටියි. සංචාරක හෝටල් ඇතුළුව එම ක්ෂේත්‍රයේ නියැලි සියලුදෙනාගේ ආදායම් මාර්ග ඇහිරී ගොස් තිබේ. ආණ්ඩුවටත් වඩා මහින්ද ඒ කෙරෙහි සංවේදීව සිටිනුයේ යුද්ධයෙන් පසුව ක්‍රමානුකූලව සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම මැදිහත් වූ අයකු වශයෙන්.

ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ නියුතු පිරිස් සමඟ විශේෂ සාකච්ඡාවක් මහින්දගේ ප්‍රධානත්වයෙන් ‍විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණේ සඳුදාය. සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් මහින්දට කීවේ සංචාරක ව්‍යාපාරය දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින බවය. “සර් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ” එක් ව්‍යාපාරිකයකු පැවසීය.

“සර් වගේ කෙනෙකුට තමයි ආයෙත් මේ රට ගොඩනගන්න පුළුවන්. යුද්ධයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය හැදීගෙන ආවා විතරයි. දැන් ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙලා”

“සර් වගේ කෙනෙකුට තමයි ආයෙත් මේ රට ගොඩනගන්න පුළුවන්. යුද්ධයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය හැදීගෙන ආවා විතරයි. දැන් ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙලා. ආණ්ඩුවට කිසිම ගාණක් නැහැ. සංචාරක ඇමතිවරයෙක් ඉන්නවද නැද්ද නැහැ” තවත් ව්‍යාපාරිකයකු පැවසීය.

“මොකද නැත්තේ? ඇමැති කෙනෙක් ඉන්නවා. හැබැයි ඉතින් එතුමට වෙන වැඩ තියෙනවනේ. අපේ දිස්ත්‍රික්කයේ මනුස්සයා නිසයි අපිත් දන්නේ” ලන්සා කීවේ සිනාසෙමිනි. සංචාරක කටයුතු ඇමැති ජෝන් අමරතුංග බව කාටත් සිහිපත් වූයේ එවිටය.

අගමැතිවරයාට පුළුවන් මත්තල වී ගබඩා කළා වගේ ඕනේ නම් සංචාරක හෝටල්වලත් වී ගබඩා කරන්න” ඩී. වී චානක

“දැන් සංචාරකයෝ එන්නේ නැති නිසා සංචාරක හෝටල්වල කාමර සේරම හිස්වෙලා. අගමැතිවරයාට පුළුවන් මත්තල වී ගබඩා කළා වගේ ඕනේ නම් සංචාරක හෝටල්වලත් වී ගබඩා කරන්න” ඩී. වී චානක පැවසීය.

“ගබඩා කරන්නත් වී තියෙන්න එපැයි. 2015 දී ගබඩා කළේ අපේ ආණ්ඩුව තියෙන කාලේ නෙලපු අස්වැන්න. මේ අය ඇවිත් පොහොර සහනාධාරත් කපලා කෘෂිකර්මාන්තය විනාශම කරලා දැම්මනේ” මහින්ද පැවසීය.

“කෘෂිකර්මාන්තය විනාශ වුණත් හැදෙන අය හැදුණා. දැක්කනේ ඉතින් අමාත්‍යාංශයට බිල්ඩින් ‍කුලියට දීලා කෝටි ගණන් හොයා ගත්තු හැටි” එස්. එම් කීවේය.

“කටුනායක ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා. ගුවන්තොටුපොළ ආශ්‍රිතව සංචාරක කවුළුවල සේවය කරපු මාර්ගෝපදේශකයන්ට වෙලා තියෙන්නේ වහ බොන්න. ඒ අයට දැන් එයපෝර්ට් එකට ඇතුළු වෙන්නවත් දෙන්නේ නැහැ” ලන්සා පෙන්වා දුන්නේය.

”ලක්ෂ ගාණකට පහර වැදුණත් ආණ්ඩුවට වගේ වගක් නෑ” කාංචන විජේසේකර

“කොහොම හරි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේකෙන් පහර වැදුනා. හැබැයි ආණ්ඩුව වගේ වගක් නැහැ” කාංචන පැවසීය.

අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ ද මහින්දගේ ප්‍රධානත්වයෙනි. එම සාකච්ඡාවට බන්දුල එන විට සැමදෙනාගේම මුවඟට සිනහවක් නැගුණේ බන්දුල සම්බන්ධ සිදුවීමක් සමාජ ජාලා මඟින් දිගට හරහට ප්‍රචාරය වෙමින් තිබීම නිසාය. එහෙත් කිසිවකුත් බන්දුලට කිසිවක් කීවේ නැත.

මහින්දගේ ඉල්ලීම පරිදි රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට දින දෙකක කාලයක් ලබා දී තිබුණි. ඒ ගැන සාකච්ඡා කිරීමෙන් පසුව අවධානය යොමු වූයේ පාසල් සිසුන්ගේ අර්බුදය ගැනය. පාසල් විවෘත කළ ද මවුපියන් සිය දරුවන් පාසල් නොඑවීම ගැන අවධානය යොමු කළේ ඩලස්ය.

ආණ්ඩුව මාධ්‍ය හරහා මොනවා කිව්වත් මිනිස්සු තාම ඉන්නේ බයෙන්” ඩලස් අලහප්පෙරුම

“ආණ්ඩුව ඉස්කෝල ඇරියත් අම්මලා තාත්තලා දරුවන් පාසල් එවන්නේ නැහැ. ඒ අය බයයි. ආණ්ඩුව මාධ්‍ය හරහා මොනවා කිව්වත් මිනිස්සු තාම ඉන්නේ බයෙන්” ඩලස් පෙන්වා දුන්නේය.

“මිනිස්සුන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. වෙන එකක් තියා ආරක්ෂක විද්‍යාලයේත් සිසුන්ගේ පැමිණීම සියට තුනයි. ඒකෙන් පේනවා ආරක්ෂක අංශවල අම්මලා තාත්තලා පවා ආණ්ඩුව කියන දේ ගැන විශ්වාසයක් තියලා නැති බව” අරුන්දික පැවසීය.

“යුද්ධ කාලෙවත් ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න අපි ඉඩ තිබ්බේ නැහැ. හැම වෙලාවෙම පාසල් ආරක්ෂා කරන්න අපි කටයුතු කළා. කොළඹ කොච්චර බෝම්බ පිපිරුණත් අපි දරුවන්ගේ ආරක්ෂාව බලා ගත්තු නිසයි එක දවසක්වත් ඉස්කෝල වහන්න දුන්නේ නැත්තේ. දැන් ‍ආණ්ඩුව ඉස්කෝලෙ එන්න කියලත් ළමයි එන්නේ නැහැ” මහින්ද කීවේය.

“මහින්ද මහත්තයා හදපු රට විනාශ කළේ මේ ආණ්ඩුවයි” රෝහිත අබේගුණවර්ධන

“මහින්ද මහත්තයා හදපු රට විනාශ කළේ මේ ආණ්ඩුවයි. මම දැක්කා ෆේස්බුක් එකේ තියෙනවා යහපාලනයට කඩේ ගිය හැමෝම දැන් බත් පාර්සල්, වතුර බෝතල් අරන් ඉස්කෝල මුර කරන්න යනවා කියලා” රෝහිත පැවසීය.

“අකිල කියලා තියෙනවා බය නැතුව පාසල් එවන්න, කරදයක් වුණොත් රුපියල් ලක්ෂයක් දෙනවා කියලා. අම්මලා තාත්තලට මරු නැගලා ඉන්නේ අකිලගේ කතාවට ” ඩලස් පැවසීය.

“ආණ්ඩුවේ ඉන්න ගොන් වාහෙලා කියන්නෙම ඔය වගේ කතානේ. දැක්කනේ මංගල කියපු දේ. මේ බෝම්බෙන් වෙච්ච එකම හොඳලු ලංකාවට සල්ලි ලැබෙන එක. මේ වගේ කතා කියන ඇමැතිවරුන් ගම්වලට ආවම ගහලා පන්නන්න ඕනේ” පවිත්‍රා පැවසුවාය.

අශූගේ කතාව විශ්වාස කළ පියල් නිශාන්ත CIDට ගෙන්වයි

පියල් නිශාන්තට අඟහරුවාදා අපරාධ විමර්ශන ඒකකයට යන්නට සිදුව තිබුණේ පසුගිය සතියේ දිනක රූපවාහිනී වැඩසටහනක දී කළ ප්‍රකාශයක් ගැන කරුණු කියන්නටය. පියල් කියා තිබුණේ වැඩසටහන ආරම්භ වීමට පෙරාතුරව ආශු මාරසිංහ පියල්ට කී දෙයකි. පියල් ඒ බව පොලිස් නිලධාරීන්ට පැවසීය.

එම වැඩසටහනට පැමිණ සිටි ආශු මාරසිංහ මන්ත්‍රීවරයා පියල් පැමිණෙන විට කියා තිබුණේ “පියල් ආපු එක හොඳයි. නැගෙනහිර ප්‍රහාරයකින් ආමි එකේ කිහිපදෙනක් මිය ගිහින් තියෙනවා” කියාය. පියල් වැඩසටහනේදී කීවේ ආශු කී දෙයය. වරද වැටහීමෙන් පසුව පියල්ම එය නිවැරැදි කර තිබුණ ද කටඋත්තර බැඳීමට සිදුවිය.

පාර්ලිමේන්තුවේ දී ද මේ කරුණ ඇදී ආවේ කිරිඇල්ලගේ කතාවක් සමඟිනි. ඔහුගේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව ලිපි තැපැල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට සිටිනුයේ අත්අඩංගුවේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරුණු දක්වමින් කිරිඇල්ල මෙම චෝදනාව කළේය.

කිරිඇල්ල කීවේ පියල් නිශාන්තටත් පාර්ලිමේන්තු එන්නට අයිතියක් නැති බවය. ජාති වාදය ඇවිස්සීම ගැන චෝදනා පියල්ටත් තිබෙන බවත් ඔහු අත්අඩංගුවට නොගත් පොලීසිය තම මාධ්‍ය ඒකකයේ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව කිරිඇල්ල පැවසීය. පියල් කීවේ කැලෑ පත්තර ගහන ජාතියේ වැඩක් තමන් සිදුකර ඇති බවය.

ප්‍රසන්න රණවීරට පැටලිලා

පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ උපන් දින යෙදී තිබුණේය. එකක් ගාමිණි ලොකුගේගේය. ඒ වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී කේක් කපා චාම් උපන් දින සාදයක් පැවැත්විණි. අනෙක ප්‍රසන්න රණවීරගේය. රණවීරට සුබපතන්නට දිලුම් ඇමතුමක් ගත් විට රණවීර කීවේ ඔබටත් එසේම වේවා කියාය.

ඊට හේතු වී තිබුණේ පසුදින දිලුම්ගේ උපන් දිනය යෙදී තිබීමය .රණවීර කීවේ රට මුහුණ පා තියෙන තත්ත්වය උඩ හෙට දවසේ ජීවතුන් අතර සිටින්නට ලැබේදැයි සැක සහිත බැවින් කලින්ම සුබ පැතූ බවය.

පාර්ලිමේන්තු‍ ලොබියේ මන්ත්‍රිවරුන් පිරිසක් කතාබහ කරමින් සිටින අතරතුර බන්දුල ඒ දෙසට පැමිණියේය. ඒ දුටු එක් මන්ත්‍රීවරයකු තාලයට “බන්දුල මාමේ ඔබ මොකද කරන්නේ? යැයි ගැයුවේය.

” මිනිස්සු හිතන දෙයක් එතැන නැහැ” බන්දුල ගුණවර්ධන

“පිස්සු කතා කරන්න එපා මඩ ගහන වෙලාවේ. මිනිස්සු හිතන දෙයක් එතැන නැහැ” කියමින් බන්දුල සත්‍ය සිද්ධිය මන්ත්‍රීවරුන් හට විස්තර කළේය.

බ්‍රහස්පතින් දා විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ යහපාලන කම්බා හොරු ගැන කතා කරන්නටය. ටොප් ටෙන් ලෙසින් යහපාලන කම්බා හොරුන් හෙළිදරව් කිරීමේ වැඩසටහන තවත් ඉදිරියට ගෙනයමින් ටොප් ටුවෙන්ටි ලෙස අලුත් හොරුන් දසදෙනකු ජනතාවට එළිදරව් කිරීමට ඒකාබද්ධය කටයුතු කරමින් සිටියි.

ඒ අනුව එකොළොස් වැන්නා ලෙස මෙවර හෙළිදරව් කෙරුණේ රවී කරුණානායක ගැනය. ඒ හදිසි විදුලිය මිල දී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙනි. මහින්දානන්ද, ෂෙශාන්, ඩී. වී, තේනුක, ආනන්ද ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. මාධ්‍ය හමුව ආරම්භයට පෙරාතුරව මන්ත්‍රීවරුන් විපක්ෂ නායක කාර්යාලයේ කතාබහ කරමින් සිටියහ.

“රවි කරුණානායකගේ මේ ‍ගනුදෙනුව නිසා රුපියල් කෝටි 180ක පාඩුවක් රටට සිද්ධ වෙනවා. යෝජනා කරලා තිබුණු බලාගාර ටික නොහදා විදුලි අර්බුදයක් මැව්වේ මේ ගනුදෙනුවට පාර කපා ගන්නයි. මේක දෙවෙනි වෙන්නේ මහ බැංකු හොරකමට පමණයි” මහින්දානන්ද පැවසීය.

“රවී ගිය තැන ඉවරයි. සතොසට ගියා සතොස කෑවා. මහ බැංකු හොරාගෙන් ගෙවල් ගත්තා. දුවට ගුදම් පිටින් නිකන් දුන්නා. රේගුවෙන් වාහන පැන්නුවා. කොච්චර චෝදනා තියෙනවද? හැබැයි ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ” ෂෙහාන් පැවසීය.

“ආණ්ඩුව කොහේ පියවර ගන්නද? මහ බැංකු හොරකමට ඇමැතිකමෙන් අයින් කරලා ටික දවසක් තිබ්බා. ආයෙත් විදුලි බල ඇමැතිකම දුන්නා. මං හිතන්නේ ඒක දෙන්න ඇත්තේ අයින් වෙලා හිටපු ටිකේ හොරකම් කරන්න නොලැබුණු නිසා වෙන්න ඇති” ඩී. වී කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor