ජාතික ආරක්ෂාව සහ සෝදිසි මෙහෙයුම්වල අද දිනයේ වාර්තාව

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ගෙන ඇති පියවර සහ සෝදිසි මෙහෙයුම්වල තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පොලිස්, නාවික හා ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරුන්ගේ හමුව අද පැවැත්විණි. පහත පළ වන්නේ එම මාධ්‍ය හමුවේදදී මාධ්‍ය ප‍්‍රකාශකවරුන් දැක්වූ අදහස්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර

ඊයේ රාත්‍රි කාත්තන්කුඩි පොලිස් සාථානය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. මෙම සැකකරු මෙත්තාපල්ලි පාර, කාත්තන්කුඩි 02 හි පදිංචි මොහොමඩ් අලියාන් නැමැති පුද්ගලයෙක්.  අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරු මොහොමඩ් සහරාන් සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය බවට ත් මුදල් ගනුදෙනු පවත්වාගෙන ගිය බවට ත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මොහු හම්බන්තොට ප්‍රදේශයේ, ත්‍රස්වාදීන්ට අයත් ආරක්ෂිත නිවසක පවත්වන ලද පුහුණුවීම් කිහිපයකට සම්බන්ධ වූ  පුද්ගලයෙක් බවටත් විමර්ශනයෙදී අනාවරණය වෙලා තියෙනවා.  විමර්ශනවලට අනුව ඔහුට අයත් බැංකු ගිණුම් පිළිබඳව අනාවරණය කර ගන්නට හැකිවුනා. මේ වන විට මෙම පුද්ගලයා රඳවාගෙන විමර්ශන කිරීම් සිදු කරනවා.

ඊයේ කොම්පඤ්ඤ වීදියේ කරන ලද වැටලීම් වලදී කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් බුහාරි මොහොමඩ් රාෆික් නැමැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු පදිංචිවී සිටියේ ගල්විහාර පාර දෙහිවල ප්‍රදේශයේ. මොහුත් මෙම ත්‍රස්ථවාදී කණ්ඩායම සමඟ සම්බන්ධකම් තියෙන බවට ලැබුන තොරතුරකින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම ටී.බී. ජයාමාවත, කොළඹ 10 යන ලිපිනයෙහි මෙම සැකකරු සේවය කරන පුද්ගලික ආයතනයක සේවය කර තියෙනවා. ඔහුගේ නිල කාමරය පරීක්ෂා කිරීමේ දී සඟවා තිබූ රුපියල් ලක්ෂ 83 ට අධික මුදලක්, පවුම් 97ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් ද අත්අඩංගුවට ගනු ලැබුවා. මොහුට අයත් දෙහිවල ප්‍රදේශයේ සුපිරි නිවසක් සහ බැංකු ගිණුම් කිහිපයක් ද අනාවරණය වුනා. මේ වන විට ඔහු රඳවා තබා විමර්ශන කටයුතු සිදු කරනවා.

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්‍රස්ථවාදී ක්‍රියාවන් සිදු කළ පුද්ගලයන් විසින් සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද වෙරළ පාර, කාත්තාන්කුඩි 06 වෙරළෙහි වලදා තිබියදී බුද්ධි අංශවලට ලද තොරතුරුක් මත සොයා ගනු ලැබුවා. මෙම පුපුරණ දුව්‍ය, ආයුධ කිසිවක් ඉතිරි නොකර සියල්ල අපි සොයා ගන්නවා. ඒ සියල්ල අනාවරණය කර ගන්නවා. මේ ක්‍රියාවට සම්බන්ධකම් තිබෙන සියලු දෙනා, දේපල සහ සියලු පුද්ගලයින් පොලිසිය භාරයට ගනු ලැබුවා.

වැල්ම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 09 දෙනෙකුට ඇප ලැබීමේ සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලිසිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳව අතුරු වාර්තාවක් ලබා දීමට නියමිතයි. ඒ අතුරු වාර්තාව ලද වහාම  මේ සඳහා වගකිව යුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා බව වගකීමෙන් සඳහන් කරනවා.    

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර

ගතවූ පැය 24 ක කාලය තුළ ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවික හමුදාව විසින් දෛනිකව සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරින්ට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙ‍හෙයුම් මඟින් සැක කටයුතු පුද්ගලයින්, ආයුධ සහ උපකරණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අක්කරෙයිපත්තු පොලිසිය විසින් සිදුකළ දැනුම්දීමකට අනුව නාවික හමුදා කිමිදුම් නාවිකයින් අක්කරෙයිපත්තු, මොරවුඩි කළපුවේ කිමිදුම් මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී පොරෝ 01ක්, කඩු 03 ක්, පිහි 02 ක්, හඳුනාගත නොහැකි බෝම්බයක්, බෝර තුවක්කු බැරල් 02 ක්, ඒ සඳහා භාවිතා කරන උණ්ඩ 01 ක්, වායු තුවක්කු උණ්ඩ 94 ක්, සංයුක්ත තැටි 06 ක්, ජංගම දුරකථන 02 ක්, ටැබ් වර්ගයේ පරිගණකයක්, දිවා දුරදක්නයක් සොයාගෙන ඇත. ඒ සම්බන්ධ ඉදිරි පරීක්‍ෂණ කටයුතු අක්කරෙයිපත්තු පොලිසිය විසින් සිදු කරනු ලබයි.

තලාතුඔය, මාරස්සන පාරේ බොක්කුවක් අසල විසිකර දමා ගොස් තිබූ 7.62 x 39 මිමි උණ්ඩ 365 සමඟ මැගසින් 03 ක් සහ 7.62 x 39 මිමි හිස් පතුරොම් කොපු 72 ක් සොයා ගෙන ඇත. එය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා තලාතුඔය, පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

තවද, ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවික හමුදාව යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය සමග එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල්, පුජනීය ස්ථාන, රෝහල් සහ ප්‍රසිද්ධ ස්ථාන වල පැය 24 පුරා ආරක්‍ෂක රාජකාරින් සිදුකරනු ලැබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා.

දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මගින් කොළඹ, කටුනායක, රත්මලාන යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ පාලවිය, සීගිරිය, මොරවැව, මීරිගම සහ දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල් වල සහ දරු දරියන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහාත් භඨ පිරිස් යොදවා තිබෙනවා.

ඒ වගේම, කොළඹ ගුවන් හමුදා කඳවුර මගින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේද, දියතලාව ගුවන් හමුදා කඳවුර මගින් වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ සහ රත්මලනා ගුවන් හමුදා කඳවුර මගින් බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේද  වටලා සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියත්මක කොට තිබෙනවා.

මේ වන විට සුරක්ෂිත කර තිබෙන ජන ජීවිතය ස්ථාවර කිරීම සඳහා ගුවන් හමුදාව මගින් අඛණ්ඩව ආරක්ෂක මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.

ලංකාවේ ගුවන් ප්‍රදේශ තුළ ඩ්‍රෝන හා සියළුම නියමුවන් රහිත ගුවන් යානා පියාසර කිරීම, නැවත දැනුම්දෙන තුරු තහනම් බව අප විසින් මීට පෙර දැනුවත් කරනු ලැබුවා.

එනමුත් විවිධ ප්‍රදේශයන්වලින් මෙවන් යානා ලෙස සැක කරන යානා නිරීක්ෂණය වීම ගැන වාර්තා වී තිබෙනවා.

මෙවන් වාර්තා බොහොමයක් කුඩා සෙල්ලම් ඩ්‍රෝන යානා සහ සරුංගල් බවට අප පරීක්ෂණ වලදී අපට පෙනී ගියා. එම නිසා මේ බයක් ඇති කර ගැනීමට හේතු නැති බව මුලින්ම කීමට අවශ්‍යයි.

එසේ නමුත් මෙවන් අවස්ථාවකදී නීති විරෝධි ලෙස මෙවන් යානා පියාසර කරන්නන් රටේ ආරක්ෂාවට හානි කීරීමට එසේ කරන බවට අපට උපකල්පනය කරන්නට සිදුවෙනවා.  එම නිසා සියලුම ආරක්ෂක අංශ වලට සහ පොලිසියට උපදෙස් දී තිබෙන්නේ මෙවන් යානා දුටුවිට ඇති උපරිම ක්‍රියාමාර්ග ගෙන එම යානා පහතට දමන්න කටයුතු කරන්න කියලයි.

රටේ සාමාන්‍ය ජීවිතය නැවත ස්ථාපිත කිරීමට රටේ ආරක්ෂක අංශ සම්පූර්ණයෙන්ම කැපවී සිටින මෙවන් අවස්ථාවකදී, අපට ඒ සඳහා ඔබගේ සහයෝගය අත්‍යාවශ්‍ය බව මෙහිදී මතක් කිරීමට කැමතිය. ඒ අනුව රට තුළ භය හා සැක ඇති කරන කටයුතු වලින් වැලකී සිටීමත්, එවන් කටයුතු වල යෙදන අය පිළිබඳව අදාල බලධාරින්ට දැනුවත් කිරීමටත්  මගින් ඔබට එම කාර්යට දායක වන්න පුළුවන්.

Recommended For You

About the Author: Editor