ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ඇ.ඩො 150,000ක රක්ෂණයක්

ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙරට තුළදී ඇමෙරිකානු ඩොලර් 150,000ක රක්ෂණයක් ලබාදීම සඳහා යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ගෝමස් මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී කිෂූ ගෝමස් මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණීමට කැමැත්තෙන් සිටින ඇතැම් රටවල සංචාරකයින්ට එම රටවලින් සංචාරක රක්ෂාවරණ ලබාදීමට දක්වන අකමැත්ත හේතුවෙන් සංචාරක පැමිණීම අධෛර්යමත් වී ඇති බවයි. එයට පිළියමක් වශයෙන් ශ‍්‍රී ලංකාව තුළ දී ඇමෙරිකානු ඩොලර් 150,000ක රක්ෂණයක් විදේශ සංචාරකයින්ට ලබාදීමට තම කාර්යංශය විසින් රජයට යෝජනා කර ඇති බවත් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡුාවට යොමු කරන බවත් ගෝමස් මහතා කීවේය.

මෙහිදී ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ කිෂූ ගෝමස් මහතා මේ වන විට දිනකට සංචාරකයින් 2000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණෙන බව සඳහන් කළේය. ගෝමස් මහතා කියා සිටියේ මීට පෙර දිනකට සංචාරකයින් 4000ක් පමණ මෙරටට පැමිණි බවයි.

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය යළි ප‍්‍රවර්ධනය සඳහා සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් හා ප‍්‍රචාරක වැඩසටහන් රැුසක් සංවිධානය කරමින් සිටින බව ද කිෂූ ගෝමස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor