ගොවිතැනේ නව මාවත පරිසර සබැඳි කෘෂිකර්මාන්තයයි

පරිසර සබැඳි ගොවිතැනක් නැති තැන සකසුරුවම් කෘෂිකර්මයක්ද නෑ

ජෛව විවිධත්වය සුරැකීම, කෘෂි නිපැයුම් ධාරිතාව ඉහළයෑම, ජීවන මට්ටමේ වර්ධනය එකට පැටලී ඉදිරියට යා යුතුයි

පරිසර සබැඳි කෘෂිකර්මය (Eco friendly agriculture) නමැති නව මාවතක් ගැන වැඩි අවධානයකින් කතා කරන්නට ලෝකවාසීන් මෑතක සිට පෙළ ගැසෙමින් සිටී. ජනගහන වැඩිවීමක් ගැන පමණක් සිතමින්, ඔවුන්ගේ කුස පිරවීම පමණක් අරමුණු කරගනිමින්, වගා සංග්‍රාමයක් දියත්කර, දසත කීපයක් ගතවෙත්දී තැන තැන මතුවන්නේ විප්ලවයේ අතුරුපල වූ කළු සෙවනැලිය. ඒවා කල් ඇතිව හඳුනා ගැනීමට සමත්වීම එක අතකට වාසනාවකි. ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා දියත්කෙරෙන කෘෂිකාර්මික මෙහෙයුම්, පරිසරයේ ජෛව විවිධත්වය රැකගැනීම හා සුසංයෝගීව ඉදිරිපත් කිරීම පරිසර සබැඳි කෘෂිකර්මාන්තයේ සරල අර්ථයයි.

මෙය සම්බන්ධයෙන් අද අපට අලුතින් සිතන්නට කරුණු කාරනා යෙදී තිබුනද, පරිසර කෘෂිකර්මය (Eco Agriculture) තුල ඇත්තේ වසර දහස් ගණනකට එපිටදී පවා මිනිසා ඇසුරේ තිබුණු සිරිත් විරිත්ය. මහපොළොව හා කෙරුණු මේ සුහද ගනුදෙනුව පසුගිය ශතවර්ෂයක පමණ කාලයක සිට විවිධ අරමුණු පාදක කරගනිමින් කැබලි වලට කඩා විසංවිධානය කරන ලදී. ජෛව විවිධත්වය ගැන කිසිදු තැකීමක් නොකොට භූමි කොටසක වනාන්තර එළිපෙහෙළි කරමින් කඩිනම් කෘෂිකර්මාන්තය ගොඩනැගුනු අතර, තවත් බිම් කඩක් හරහා වැටකඩොලු බැඳ සංරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කෙරුවේ, ජල සංචායකයන් ලෙස ඒවායින් වැඩක් ගන්නටය. පරිසරය පැත්තෙන් බලනකල මෙය ප්‍රතිවිරුද්ධ දිශා දෙකකට විහිදුනු මාවත් දෙකකි. මේ ඔස්සේ ටික දුරක් නොව සෑහෙන දුරක් අප ගමන් කර තිබේ. පරිසර සබැඳි කෘෂිකර්මාන්තය යනුවෙන් හැඳින්වෙන යමක් බිහිවූයේ මෙම ගමනේ ප්‍රතිපල ලෙස ඉතිරිවූ එකම දෙය, ගමන් වෙහෙස පමණක් නිසාය. ජෛව විවිධත්වය සුරකින අතරතුර කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි ප්‍රගතියක් අත්පත් කරගැනීමට විද්වතුන් දැන් සූදානම් වෙමින් සිටී.

විද්වත් ප්‍රජාවගේ සිතිවිලි මෙවන් මානයක් කරා මෙහෙයවීමට පුරෝගාමී වුයේ චාර්ල්ස් වෝල්ටර්ස් නම් ආර්ථික විද්‍යාඥයෙක්ය. වෘත්තීය නිපුනතාවය අනුව ඔහු කතුවරයෙකි. මාධ්‍යවේදියෙකි. පරිසරයත්, ආර්ථිකයත් එක පියැස්සක සෙවනට රැගෙන එන්නට ඔහු ඉටුකළ මෙහෙවර සුවිශාලය. පරිසර කෘෂිකර්මයක් (ecological agriculture) නොපවත්නා තැන  සකසුරුවම් කෘෂිකර්මයක්ද (economical agriculture) නොමැති බව ඔහු කල අවධාරණයයි. ඔහු පවසන ආකාරයට ජෛව විවිධත්වය සුරැකීමත්, කෘෂි නිෂ්පාදන ධාරිතාව ඉහළයාමත්, ජනතාවගේ ජීවන මට්ටමේ අභිවෘද්ධියත් යන සියල්ල පාරිසරික කෘෂිකර්මයක් හරහා සිදුවිය යුතුවේ.

එක ගොවියෙකු සතු හුදකලා බිම්කඩක් උපයෝගී කරගනිමින් සහ එයට පෞද්ගලිකවන යම් යම් වෙනස්කම් සිදුකරමින් මේ තත්වය සාක්ෂාත් කරගත හැකිවන්නේ නැත. එය බැලූ බැල්මට පෙනෙන සමස්ත භූමිය පුරාම ක්‍රියාත්මක විය යුතුය. මෙම භූමිය යනු සංරචක ගණනාවක එකතුවකි. එහි තැන තැන භූ විෂමතාය. තවත් තැනක එකිනෙකට වෙනස් තුරු ලතාය. ඇතැම් තැන්හි මිනිසා වාසය කිරීම නිසා ස්වභාවික භූමියට සිදුකරන ලද වෙනස් කිරීමය. මේ නිසා පරිසර සබැඳි කෘෂිකර්මයක් උදෙසා මේ සියලු සංරචකයන් එක මිටට ගෙන එකාබද්ධ කර කටයුතු කල යුතුවේ. ඉහත කී අංග තුනෙහිම ප්‍රගමනයක් දක්නට හැකිවන්නේ ඒ තුලිනි. අප එසේ කියන්නේ මහපොළොවට වැඩිම බලපෑමක් ඇතිකරන මිනිස් ක්‍රියාකාරකම කෘෂිකර්මය බැවින්ය. ගොඩබිම් මිහිතලයෙන් තුනෙන් පංගුවක්ම මිනිසා වෙන්කරගෙන ඇත්තේ ගොවිතැනටයි. ඒ අනුව බෝග හෝ තෘණ වගා ස්ථාපනය කර තිබේ. ඊට අමතරව තවත් තුනෙන් එකක සත්ව ගොවිපොලවල්ය. ජෛව විවිධත්වය ගැන කතාකරන්නටවත් දැන් ඉතිරිව ඇත්තේ අන්තිම තුනෙන් පංගුවය. එයද අවදානමේය. ඉන් අඩකටත් වැඩි ප්‍රමාණයක් අසලටම මිනිසා පැමිණ කෘෂිකර්මය, වනවගා හෝ ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටී. කුමන මොහොතක හෝ මෙම අවසාන තුනෙන් පංගුවත් කලින් කී තුනෙන් දෙක මගින්ම ගිලගැනීමට පෙර එම සොච්චමවත් රැකගැනීම උදෙසා එකම විසඳුම වන්නේ ‘පරිසර සබැඳි කෘෂිකර්මය’ බවට දැන් විවාදයක් නැත.

තවත් සරල උදාහරණයක් ලෙස ජල පරිභෝජනය ගැන විමසා බැලිය හැකිය. මිනිසා විසින් මිහිතලයෙන් ඉවතට ඇදගන්නා ජලයෙන් 70% ක් පමණ භාවිතා වන්නේ බෝගයන්ගේ ජල සම්පාදනයටයි. මෙය ස්වාභාවික ජලචක්‍රය ක්‍රියාත්මක වීමට තර්ජනයකි. මීට අමතරව පොහොර, කෘෂි රසායන ද්‍රව්‍යය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය ආදිය සීමාවකින් තොරව පරිසරයට මුදාහැරීමද, වෙරල හා මිරිදිය ජලාශයන් අසල සිදුවෙන අවිධිමත් මත්ස්‍යය කර්මාන්තයද, දියුණුවේ නාම පුවරුව යටතේ පරිසරය තවත් අගාධයට රැගෙන යයි. එපමණක්ද නොව, කඩිනම් කෘෂිකර්මයේ මූලික සිද්ධාන්ත වලට යටත්වන විශාල වගා බිම් වල එකම මාදිලියේ බෝග වැවීම හරහාද සිදුවන්නේ ජෛව විවිධත්වයේ පසුබෑමකි. මේ හරහා දැනටමත් ශාක වර්ග රාශියක් වඳවී ගොසින්ය. තවත් පිරිසක් වඳවී යන්නට ඔන්න මෙන්නය. පරිසරවේදීන් හා කෘෂි විද්වතුන් අතර ඇති මත ගැටුම අපට රහසක් නොවේ. පරිසරවේදීන් සෑම විටම උත්සාහ ගන්නේ වනගත ජෛව විවිධත්වය සුරැකීම උදෙසා භූමියට අත නොතබා පැත්තකින් තබන්නටය. එහෙත් කෘෂි විද්වතුන්ට අවශ්‍ය වන්නේ භූමිය නිෂ්පාදනය උදෙසා යොදවන්නටයි. දෙපාර්ශවයටම සාධාරණ සහනයක් දෙමින් මෙම කඹ ඇදිල්ලට යම් තරමකින් හෝ විසඳුමක් දිය හැක්කේ ‘පරිසර සබැඳි කෘෂිකර්මය’ තුලිනි.

බොහොමයක් ආදිවාසී ජනතාව අනාදිමත් කාලයක සිට විවිධාකාරයේ ‘පරිසර මිතුරු කෘෂි රටා’ බිහිකර, පරිහරණයකර හා නඩත්තු කරමින් පත්වාගෙන විත් තිබේ. ඔවුන්ගේ දැනුම, සම්ප්‍රදාය, බිම් පරිහරණ පුරුදු හා සම්පත් කළමනාකරණ රටා ආදිය, පරිසර කෘෂිකර්මයේ යාවත්කාලීන සංස්කරණයන් සඳහා අත්‍යවශ්‍ය බව  සිහි තබා ගත යුතුවේ.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor