බස්නාහිර ඡන්දය නොපැවැත්වීමට එරෙහිව මැකොට එන්තරවාසියක්

බස්නාහිර පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීමට මැතිවරණ කොමිසම කිසිදු ආකාරයක විරුද්ධත්වයක් නොදක්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප‍්‍රකාශ කළේ බස්නාහිර පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම මගින් තම සේවාදායකයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරයෙකු විසින් මැතිවරණ කොමිසමට එන්තරවාසියක් ලබාදීම පිළිබඳ ප‍්‍රකාශයක් කරමිනි.

අද රත්නපුරයේ පැවැති වැඩමුළුවක් අවසානයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,

‘‘බස්නාහිර පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව අද දින ලිපියක්, එහෙම නැතිනම්, එන්තරවාසියක් නීතිඥ මහත්මයෙකු විසින් මැතිවරණ කොමිසමට පැමිණ භාර දුන්නා. අපි ඒකට පිළිතුරු යවනවා. අපි කියන්න යන්නේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වලංගු නීතිය කුමක්ද කියලා. ඒ වගේම ගරු අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීමට අපේ කිසිදු විරෝධයක් නැති බවයි. ඒ වගේම මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම ඕනෑම වේලාවක අපි සූදානමින් සිටින බවයි’’

මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අද දින සිට වුවත් මැතිවරණයක් පැවැත්වීම සඳහා මාස දෙකක කාලයක් ගත වන බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ රටේ වර්තමාන ආරක්ෂක ගැටලූ හමුවේ වුව ද මැතිවරණ කල්දැමීමට කිසිදු අවශ්‍යතාවක් ඇතැයි තමන් නොසිතන බවයි.

Recommended For You

About the Author: Editor