ලසන්ත ඝාතනයේ පළමු සැකකරුගේ විමර්ශන අවසන් – CID

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනයෙහි පළමු සැකකරු පිළිබඳ විමර්ශන සිදුකර අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාල් මහතා හට කරුණු දක්වමින් පැවැසීය.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය පිළිබඳ නඩුව ඊයේ කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ දෙවැනි සැකකරු වන ගල්කිස්ස අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන කොළඹ මහාධිකරණයේ නඩුවකට පෙනී සිටින බැවින් ඊයේ (10) අධිකරණයේ පෙනී නොසිටියේය.

විමර්ශන පිළිබඳ මේ වන විට උද්ධෘත සකස් කර අවසන් බැවින් නීතිපති වෙත උද්ධෘත ගොනු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දෙවැනි සහ තුන්වැනි සැකකරුවන් පිළිබඳව කෙටි විමර්ශනයක් සිදු කරමින් පවතින නමුත් එම විමර්ශන වාර්තාවන්හි ද උද්ධෘත සකස් කරමින් පවතින බව අධිකරණය හමුවේ වැඩි දුරටත් පැවැසීය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පළමු සැකකරු යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර් ප්‍රේමානන්ද උදුලාගම හා තෙවැනි සැකකරු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ඊයේ (10) අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

Recommended For You

About the Author: Editor