ෂම්මි සිල්වා මාලි සහ දිමුත් ගැන කියන කතා

”ඇත්තටම මේ නම් ගොඩක් විතරයි. මම අද මෙතැන මැරුණත් මේ පුටුවට පෝලීමේ එන්න කට්ටිය ඕනෑ තරම් බලාගෙන ඉන්නවා. ඒ වගේ තමයි ක්‍රීඩකයොත්, මාලිංග ගේ තැනට වුණත් ඇවිත් ක්‍රීඩා කරන්න ඕනෑ තරම් ඉන්නවා”

S

මෙහෙම කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවෙයි, ලංකාවේ ක‍්‍රිකට්වල නිසි බලධාරියා, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා, ෂම්මි සිල්වා. මේ කතාව සිද්ධ වුණේ (සිදු වූ) ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම ලෝක කුසාලනයට එංගලන්තයට යන්න පෙර දා සවස. කතාවට නිමිත්ත වුණේ ෂම්මිගේ හොඳම ‘‘බයිට්එක’’ ලසිත් මාලිංග.

තවත් මොහොතකින් ෂම්මිගේ හඬ බාල වෙනවා. ෂම්මි මෙහෙම කියනවා. ඒත් කතාව මාලිංග ගැන.

”ලසිත් මාලිංගව ක්‍රිකට් ලෝක කුසලානයට නම් කරලා තියෙන්නේ. එයා බෑ කිව්වොත් ඇත්තටම අපට කරන්න දෙයක් නෑ. අපි මේ ටීම් එක ක්‍රිකට් ලෝක කුසලානයට යන්නේ නැතුව, ඊළඟට ඉන්න ටීම් එක ගෙනියන්න බෑ. මාලිංග ආබාධ වු‍ණොත් අපට වෙන කෙනෙක් ගෙන යන්න වෙනවා. ඒ නිසා අපි එයාට ආයාචනා කරලා කියනවා, රට ගැන හිතලා ක්‍රීඩා කරන්න කියලා”

ෂම්මි කියන කතාව ඇත්ත තමයි. ක‍්‍රිකට් වගේ තරගකාරී, දැවැන්ත ධනයක් අතට ලැබෙන, හරියට කප්රුක වගේ ක‍්‍රීඩාවකට ඇතුළු වෙන්න දහස් ගණනක් දොර අයිනේ ඉන්නවා. ඒත නැහැ කියන්න කාටවත් බැහැ. ලසිතුත් කාලයක් එහෙම සිටියා.

අපි නැවතත් ෂම්මිට කන්දෙමු.

”නායකත්වයෙන් ඉවත් කළාට ක්‍රීඩකයෙක් විදියට තම හැකියාවන් සහ දක්ෂතාවයන් පෙන්නුම් කිරීමට මේක එයාටත් හොඳ අවස්ථාවක්. මාලිංග අපිට කිසිම ලියුමක් එවලා නෑ, අපි එයා ඉල්ලන හැම දෙයක්ම දීලා තියෙන්නේ. එයාට තියෙන්නේ රට වෙන‍ුවෙන් ක්‍රීඩා කරන්න විතරයි. මම දැඩිව විශ්වාස කරනවා එයා ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න යයි කියලා”

”මාලිංග කියන්නේ ලෝක පුජිත ක්‍රීඩකයෙක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. හොඳම පන්දු යවන්නත් අතරත් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය කාලයේ ඔහු නායකයා ලෙස කටයුතු කළ තරග පරාජය වූ නිසා හොඳ ක්‍රීඩකයකුට හොඳ නායකයකු නොවෙන්න පුළුවනි. ඒ වගේම හොඳ නායකයකු හොඳ ක්‍රීඩකයකු නොවෙන්නත් පුළුවන්. අපි මාලිංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට යැව්වෙත් කිසිම කොන්දේසියක් නැතිවයි”

දිමුත්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ගැන ෂම්මි සිල්වාට තියෙන්නේ සුබවාදී අදහසක් බව පේනවා. ඔහු මෙහෙම කියනවා.

” ඇන්ජලෝ – මාලිංග – දිනේෂ් චන්දිමාල් වගේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්න පසුබිමක තමයි දිමුත් නායකයා වෙන්නේ. ටෙස්ට් තරගාවලියේදී එයා ඒ විශ්වාසය දිනා ගත්තා. මේ ටීම් එකට ලෝක කුසලාන තරගාවලියේදී ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ තේරීම්වලට එක් වුණේ නෑ. දිමුත් දකුණු අප්‍රිකානු සංචාරයේදී කිසිම කෙනෙක් හිතපු නැති විදියට හොඳට ටෙස්ට් තරගාවලිය අවසන් කළා. අපට තේරුණා දිමුත්ට ටීම් එක එකතු කිරීමේ සම්පූර්ණ ශක්තිය තියෙනවා කියලා. ඔහු ටෙස්ට් තරගාවලියේදී ඒ බව ඔප්පු කළා”

ෂම්මි සිල්වා ලසිත් මාලිංග ගැන මොනව කිව්වත් මාලි මේ වන විට ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ වීරයෙක් වෙලා ඉවරයි. ඒත් ඒ සමග මාලි ගැන අපේ හිතේ තිබුණ ගරුත්වය ද ටිකෙන් ටික සේදිලා ගිය බවත් නොහැකියාම බැහැ. ඒ අපි අපි ගැන හිතනවාට වඩා රට ගැන, රටේ අභිමානය ගැන හිතන නිසා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor