සියලූම වාසි සුද්දට තමයි : ඒත් ලංකාවේ අපිටත් මහ මෙරක් වාගේ බලාපොරොත්තු තියෙනවා

ලෝක කුසලානය සඳහා මේ වන විට එංගලන්තය සහ ස්කොට්ලන්තය තුළ සැලකිය යුතු උද්යෝගයක් තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. (එංගලන්තයේ ජනප‍්‍රිය ක‍්‍රිඩාව ක‍්‍රිකට් නොවන බව මතක තබා ගන්න) ඊට හේතුව වන්නේ එංගලන්තය‘‘ක‍්‍රිකට් මහ ගෙදර’’ වුණත් ඔවුන්ට තාම එකම වරක් හෝ ක‍්‍රිකට් ලෝක කුසලානයේ පහස විඳින්න නොහැකි වීමයි. ඒ නිසා කාලයකට පසු මහ ගෙදරම පැවැත්වෙන මේ මඟුලෙදී හෝ ලෝක කුසලානය අතට ගන්න එංගලන්තය සිහින දැකීම පුදුමක් නොවෙයි.

ලෝක කුසලාන තරග පැවැත්වෙන්නේ එංගලන්තයේ යැයි පොදුවේ ප‍්‍රකාශ කළාට ඇත්තටම එය එංගලන්තයේ සහ ස්කොට්ලන්තයෙයි පැවැත්වෙන්නේ. මේක තේරුම් ගන්න අමාරු කරුණක් විය හැකියි.

සාමාන්‍යයෙන් සිදුවිය යුතු ආකාරයට නම් ලෝක කුසලාන තරග පැවැත්විය යුත්තේ ‘‘මහා බි‍්‍රතාන්‍යයේ ’’ විය යුතුයි නේ. එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය කියන ඒකක හතර එක් වූ විට තමයි ‘‘මහා බි‍්‍රතාන්‍ය’’ කියන පොදු නම එන්නේ. එහෙත් මේ සිවු ප‍්‍රදේශවල ඓතිහාසිකව සිට දැඩි විවිධත්වයක් සහ අභිමානයක් පැවැතීම නිසා ඔවුන් ඇතැම් විට ස්වාධීනව කටයුතු කරනවා දැකිය හැකියි.

විශේෂයෙන් ස්කොට්ලන්තය ක‍්‍රීඩාවේදී බොහෝ විට මහා බි‍්‍රතාන්‍යයෙන් වෙන් වූ ‘‘ස්කොටිස් ’’ අනන්‍යයතාවක් ප‍්‍රදර්ශනය කරනවා. එහි ප‍්‍රතිඵලයක් විදිහට තමයි අපිට ‘‘ස්කොට්ලන්ත කණ්ඩායමක්’’ ක‍්‍රිකට්වලදී, මෙවර පවා දකින්න ලැබෙන්නේ. (ස්කොට්ලන්තය මහා බි‍්‍රතාන්‍යයෙන් වෙන්ව ස්වාධීන වීමේ දීර්ඝ කාලීන උත්සාහයක ද නිරතව සිටින බව අප මෙහිදී මතක තබා ගත යුතුයි)

ඉතිං, කොහොම වුණත් එංගලන්තය නම් උපරිම උත්සාහ කරන්නේ 1979, 1987 සහ 1992දී ලෝක කුසාලනය ළඟටම ගිහින් අනුශූරයින් වී ලද නීරස අත්දැකීම වගේම 2015 දී පළමු වටයෙන්ම ඉවතට විසිවී ලද නින්දාව ද අමතක කර තම අධිරාජ්‍යවාදී ගරුත්වය සහ අභිමානය රැක ගන්නයි.

අද ලෝක කුසාලනය ගැන සුබවාදී සිහින දකින්න එංගලන්තයට හොඳ හොඳ හේතුත් තියෙනවා. ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ඔවුන් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව (එක්දින) ප‍්‍රථම ස්ථානයේ සිටීමයි. ඒ වගේම පිටියේ වාසිය වගේම ප්‍රෙක්ෂක සහායත් ඔවුන්ට නොඅඩුව තිබෙනවා.

එංගලන්තය මෙවැනි වාසිදායක පාරිසරික හා මානසික වාසි රැසක් මැද මැයි 30 වැනිදා දකුණු අප‍්‍රිකාව සමග තරගාවලියේ ප‍්‍රථම තරඟයට එක් වෙනවා. ඒ එංගලන්තයේ ක‍්‍රිකට් පුරාවෘත්තයක් වන ‘‘ඕවල් ක‍්‍රීඩාංගනයේදීයි’’

ඔය මොන මොන කාරණා තිබුණත් ක‍්‍රිකට් කියන්නේ ම අවිනිශ්චිත ක‍්‍රීඩාවක්. ඒ නිසා පසුගිය කාලය පුරාම අන්ත අඩියට වැටී සිටින, ක‍්‍රීඩා ඇමැති හරීන්ගේ වචන අනුව නම් ‘‘වැටෙන්න තවත් තැනක් නැති ’’ අපේ කණ්ඩායමට වුණත් නොසිතූ විරූ වෙනසක් කරන්න පුළුවන් බව අමතක නොකළ යුතුයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙනුයි, නිමක් නැති දේශපාලන අර්බුදවලිනුයි හෙම්බත් වෙලා ඉන්න අපිට සැනසුම් සුසුමක්, මුවඟට සිනාවක් ගේන්න පුළුවන් එදා 1996 දී වාගේම ක‍්‍රිකට්වලට විතරක් බවයි අපේ විශ්වාසය.

එවැනි ජයග‍්‍රහණයක් ලබා දුන්නොත් ඒක හරියට මහා ඉඩෝරයකට පස්සේ වහින වැස්සක්ම තමයි. ඒ නිසා අවසානයට කියන්න තියෙන්නේ, සේරම වාසි සුද්දට තමයි. ඒත් අපිටත් මහ මෙරක් වාගේ බලාපොරොත්තු තියෙනවා’’ කියලා තමයි.

කසුන් ප‍්‍රබෝධ සමරවීර

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor