‘සේනා’ ආවොත් සටනට සූදානමින් කෘමි හමුදා කඳවුරක් උඩවලවේ

සේනා වැඩෙන බිත්තර තුලට තව කෘමියෙක් බිත්තර දමනවා. දළඹු දේහය මත වැවෙන පුස් වර්ගයකුත් සොයාගෙන. ඉබි කුරුමිණි පැටවුන්ට ‘සේනා’ රජ බොජුනක්. ජෛව පලිබෝධ පාලනයේ අගය නැවතත් සනාථ වෙලා

ඉතිහාස කතා පුවතක සඳහන් වන ආකාරයට කාවන්තිස්ස රජ සමයේ විසූ ගෝඨයිම්බර නමැත්තකු අමුතු වැඩ කරන බවක් රජුට ආරංචි වී වහාම පැමිණ තමා හමුවන ලෙසට ගෝඨයාට පණිවිඩයක් යවා තිබේ. රජවාසල පණිවිඩකරුවන්ද සමග රජු හමුවන්නට යන අතරතුරදී පිරිසේ අයට වතුර පිපාසයක් හැදුනාලු. ලඟපාත තිබූ සාරවත් පොල් වත්තකට ඇතුල්වූ ගෝඨයිම්බර පොල්ගස් දෑතින් සොලවා, විටෙක ගස් වලට පයින් පහරදී කුරුම්බා බිම හෙලූ බව එම කතාවේ තව දුරටත් සඳහන් වේ. අතරමගදී ගෝඨා කල මේ වික්‍රමය ඇසූ කාවන්තිස්ස රජු වහාම ඔහුව තම යුද සේනාංකයට බඳවා ගෙන ඇත්තේ එම අසාමාන්‍ය දේහ ශක්තියෙන් රටට වැඩක් ගන්නටය.

වර්තමානයේ නම් එවැනි දෙයක් සිදුවූවානම් අනිවාර්යයෙන්ම ගෝඨයිම්බරයාට ලැබෙන්නේ ලුනුවිල පොල් පර්යේෂණායතනයේ රැකියාවකි. මිනිසකුගේ සැඟවුණු ශක්තිය විනිවිද දකින්නට අද බොහොමයක් පාලකයන්ට හැකියාවක් නැත. චරිතයක මතුපිට තැවරුණු සුවඳ පමණක් ආග්‍රහණය කරන ඔවුහු, ඉතා සරලව ඒ ඔස්සේ තීන්දු තීරණ වලට එළඹෙමින් පත්වීම් සිදුකරන  නිසා බොහොමයක් තැන්වල ලොකු පුටු හොබවන්නෝ නුසුදුස්සෝමය. පුටුවේ වාඩිවූ සැනින් ඔවුහු, එම පුටුව සාදා ඇත්තේ තමාට පමණකැයිද, තමා ඉන් කිසිදා ඉවත්ව නොයනු ඇතැයිද, සමස්ත ව්‍යුහයේම හිමිකරුවා තමා යයිද, ක්ෂණික මෝහනයකට පත්වී හැකිතාක් පිස්සු නටති. සමස්ත සමාජයම නන්නත්තාර වී යන්නේ මේ නිසාය. දිනෙන් දිනම එය අප හමුවේ ප්‍රබල ලෙස සාධනය වෙමින් තිබේ.

කෘෂිකර්මාන්තය මත වැඩි ජන කොටසක් යැපෙන මෙම දිවයිනේ, ඒ හා බැඳුනු තීන්දු තීරණද මතුපිට විවරණයකින් පමණක් ගන්නට යාමෙන් සිදුවන අකටයුතුකම් ගැන දැන උගත් ඇත්තෝ කෙතරම් පෙන්වාදුන්නද, කාවන්තිස්සලාගේ වැනි තීරණ එලියට එන්නේ ඉතා අමාරුවෙනි. කලක පටන් දැඩි කතාබහකට ලක්වී තිබෙන කෘෂිරසායන ද්‍රව්‍යයන් පාදක පලිබෝධ මර්දනය සමග තවමත් ගොවිජනතාව ගැටගැසී ඇත්තේ එහි ආදීනව පෙන්වමින් කෑගසන ශබ්දය, කොතනකින් හෝ නැගෙන මහා ඝෝෂාවක් හමුවේ යටපත්වී ඇති නිසා විය යුතුය.

උපතින් ලැබූ නම අභය වුවත් දේහයේ මිටි බව නිසා, පෙර කී මිනිසාට අහල පහල උදවිය කවුරුත් කතා කලේ ගෝඨයා ලෙසින්ය. ඔහු ගෝඨාභය ලෙසින් පසුව හඳුන්වා ඇත්තේ ඒ අනුවය. මිටි ගෝඨයාගේ සවිය රජතුමා හඳුනා ගත්තා සේ,  සතා පුංචි උනත් උගේ ඇති අසාමාන්‍ය ශක්තිය හඳුනාගෙන ඇඟට දැනෙන අනාවරණයක් කල මෙවැනිම කතා පුවතක් මට අසන්නට ලැබුනේ උඩවලව ප්‍රදේශයෙනි.

අලුත් කතාවේදී කාවන්තිස්ස භූමිකාවට පණදී හමුදාවක් සංවිධානය කර ඇත්තේ තරුණ විද්‍යාඥවරියක් වීම නිසා සිද්ධිය තවත් අලංකාරය. උඩවලවේ උක් පර්යේෂණ ආයතනයේ, බෝග ආරක්ෂණ අංශයේ, කාර්යභාර පර්යේෂණ නිලධාරිනිය වන ඇය සුනේත්‍රා වනසිංහ යි. ඇහැට පෙනෙන නොපෙනෙන තරමේ කුඩා කෘමි සතුන් එකතුකරගෙන ඇයද හමුදාවක් තනා ඇත්තේ මෙල්ල කරන්නට අමාරුයයි දසතින් අඳෝනා නැගෙන ‘සේනා දළඹුවා’ මර්දනය කරන්නටය.

සුනේත්‍රා වනසිංහ

“අවුරුද්දට දෙපාරක් උක් සිටුවනවා. බඩඉරිඟු වගේ මාස තුනෙන් නැතිවෙන බෝගයක් නෙමෙයි උක් කියන්නේ. වගාව අවුරුද්දක් පවතින නිසාත්, දෙපාරක් හිටවන නිසාත් වසර පුරාම කුමන හෝ වර්ධක මට්ටමක උක්ගස් ගොවිපොළේ තියෙනවා. ලෝකය පුරාම වගේ මෙහෙදිත් උක් වගාවට ‘සේනා’ ආව. මාස තුනේ බඩඉරිඟු වගාවේ සේනා කළමනාකරණය කරනවාට වඩා අවුරුද්දක් කල්යන උක් වගාවේ ‘සේනා’ කළමනාකරණය පහසු නෑ. ඒත් අපි දැන් තැනකට ඇවිත් ඉන්නවා. මෙය සම්පූර්ණයෙන්ම ජෛව පාලනයක්. අපේ හමුදාවේ ඉන්නේ ඉතාම පුංචි කෘමි හේවායෝ!”

ඇය පවසන්නේ දැඩි විශ්වාසයකිනි.

යල වගා කන්නය ඇරඹි තිබේ. මැයි මාසයේ පළමු දෙසතිය තුල පමණක් බඩඉරිඟු සිටුවා අවසන් කරන ලෙසත්, එසේ සිටුවන බෝගයේ වුවද ලපටි අවධිය තුලදී දිනපතා වගාව පරීක්ෂා කරමින් අවධානයෙන් සිටිනා ලෙසත් කෘෂිකර්ම බලධරයෝ කල්වේලා ඇතිව ඉතා පැහැදිලිව නිවේදනය කර තිබේ.     වැඩි දෙනෙක් ඊට එකඟ වූ බව දක්නට තිබුනත්, මහමග අයිනේ තැනින් තැන තැම්බූ ඉරිඟු කරල් විකිනෙනවාද දකින්නට ලැබුණි. ‘සේනා’ ට නවාතැනක් අහිමිකර ප්‍රශ්නයට සහනයක් ගන්නට කල උත්සාහයට ජනතා ප්‍රතිචාරය ලැබුනේ එසේය. තැම්බෙන ඉරිඟු මුට්ටිය නොදැක්කා සේ අහක බලාගෙන, ඇතැම්විට           හීන්සීරුවේ එතැනින්ම තැම්බූ කිරිකරලක් මිලදී ගෙන හපමින්, යන්නට ගිය වගකිවයුත්තන් කී දෙනෙක් නම් සිටින්නට ඇත්ද? ප්‍රශ්නය ඔඩුදුවා ගියපසු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසිදෙයක් කෙරුවේ නෑ කියන්නට දත කට මැදගෙන  සිටියද, මේ මුට්ටියට ඉරිඟු ලැබුනේ කොතැනින්ද කියා සොයාබලා අවාරයට බඩඉරිඟු වගාකරමින් මර්දන වැඩ සටහනට ගල් ගැසුවේ කවුදැයි සොයන්නට බලධරයන් සිටියේ නැත. එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කල යුත්තක් නොවන බව නම් මතක් කල යුතුවේ.

උක් වගාවට ලංකාවේ බොහොම පැරණි ඉතිහාසයක් තිබේ. අතීතයේදී උක් හකුරු මෙරට විසූ පොහොසතුන්ගේ ආහාරයක් විය. වැටුප් ගෙවා කම්කරුවන්ගෙන් වැඩ ගත් උක්මෝලක් ගැන මහාවංශයේද සඳහන්ව ඇතිබව ලියා ඇත්තේ මහාචාර්ය සෙනරත් පරනවිතානයන්ය. විදේශිකයින්ට ඉඩම් මිලදී ගැනීමේ තහනම 1810 දී ඉවත්කිරීමත්, එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසින් 1824 දී ඉඩම් බදු අහෝසි කිරීමත් හමුවේ අවදි වූ උක් වගාවට සුදුසු ඉඩම් තිබුනේ දකුණු පලාතේය. එහෙත් දකුණේ වැසියෝ සුද්දන්ට ඉඩම් විකුණන්නට කැමති වුයේ නැත. රට අභ්‍යන්තරයේ ප්‍රවාහන පහසුකමෙහි අඩුපාඩුත්, පසෙහි තෙත් බවත්, වැනි නොගැලපීම් නිසා වගාව වැඩිපුර ස්ථාපනය වුයේ නැගෙනහිර පළාත ආශ්‍රිතව බව පෙනේ.

සේනා දළඹු හානිය මෙරටට ඇතුළුවීමත්, උක්ගස උගේ රළු කෑම වේලේ හොඳ සංඝටකයක් බව විදෙස් රටවලින් වාර්තා වීමත් නිසා, උඩවලවේ උක් පර්යේෂණායතනයේ විද්වතුන්ද මෙම ආක්‍රමණිකයා ගැන විමසිලිවත් වී තිබේ. ඒ අනුව 2018 ඔක්තෝබර් 30 වෙනි දින කෘෂිකර්මයේ ඇත්තෝ අම්පාරෙන් ‘සේනා’ හඳුනාගනිත්දී, දෙසැම්බර් 21 වෙනි දින සෙවනගල හබරළුවැව කලාපයෙන් මුල්වරට උක් රස සොයා ආ ‘සේනා’ හමුවිය. ඒ අවට බඩඉරිඟු වගාවන්ද තිබුන නිසා එම ගොවීන් කීවේ තම වගාවල සිටි ‘සේනා’ ට බෙහෙත් ගැසූ බවත්, ඒ අනුව උක් වෙතට දළඹුවා යන්නට ඇති බවත්ය. මෙය මාස දෙකක් පමණ වයස උක් වගාවකි. එතනින් පටන්ගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල, පැල්වත්ත, සියඹලාණ්ඩුව වැනි ප්‍රදේශයන්හි සුළු පරිමාන උක් වගාවන්හි ‘සේනා’ දකින්නට ලැබුණි.

මුලදී අහල පහල බඩඉරිඟු තිබෙනා තැන් වලට සතා පැතිරුනද, උක් රහට ලොල්වූ පසු හුදකලා උක් වගාවන්ටත් පියඹා ගිය මවු සලබයා, තම දරුවන්ට උක් දළු කවන්නට හැම තැනකම බිත්තර දමා තිබුණි. මේ වසරේ පෙබරවාරි මුල වනවිට ලංකා සීනි සමාගමට අයත් හෙක්ටයාර් 160 ක පමණ පැතිරුණු පැල්වත්ත තවානේ 95% ක් පමණ ප්‍රමාණයක් ‘සේනා’ තම රස බොජුන කරගත්තේ සතුරා හා සටනට අවතීර්ණව සිටි පිරිස් අන්දමන්ද කරමින්ය. වහ වහා කෘමිනාශක වල පිහිට පැතූ ඔවුන් සතා පාලනය කරගෙන, සැනසුම් සුසුමක් හෙලුවා පමණි. පෙබරවාරි මාසයේ අවසානය වනවිට එනම් සති තුනක පමණ ඇවෑමෙන් ලොකු ලොකු දළඹුවන් නැවතත් උක් දළු අතරින් මතුවුනි.

සිදුවී ඇති දෙය විද්‍යාත්මකව පැහැදිලිය. කලින් දළඹුවන් තෙල් බෙහෙත් හමුවේ මියගියත් මේ පැමිණ ඇත්තේ ඊට පසුව හෙලූ බිත්තර වල පැටවුන්ය. උක් වගාවට බෙහෙත් ඉසීමේදී එහි ලැගුම්ගෙන සිටි ‘සේනා’ වඳවුවද, පිටත සිට වගාවට එන සලබයින්ට එහි බිත්තර දමා යන්නට වස දියරය බාධාවක් නොවුනා සේය. අනෙක් අතට විදෙස් වාර්තා දිගින් දිගටම පෙන්වා දෙන්නාක් සේ, නව පරපුරේ ඇත්තෝ වගාවේ යම් තරමකට වස දියරය ඉතිරිව ඇත්නම්, එයට මුහුණදීමේ ශක්තිය දරාගෙන උපදින්නට ඇත. පලිබෝධනාශක වලට ඔරොත්තුදීමේ හැකියාව ඉක්මනින් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් ‘සේනා’ ට ඇත්තේ ඉහල පන්තියේ සාමාර්ථයක් බව තතු දන්නෝ පවසති.

තාවකාලික පැලැස්තර අලවමින් මෙම උවදුරෙන් ගොවි ජනතාව මුදාගැනීමේ ක්‍රමවේදයක් නැතිබව තේරුම්ගත් උක් පර්යේෂණායතනයේ කීට විද්‍යාඥවරිය දළඹුවාට එරෙහිවන කෘමි හමුදාවක් සොයායාම ජනවාරියේදීම අරඹා තිබේ. උක්ගසේ කඳන් විදින පනුවාගේ බිත්තර තුල බිජුලමින් තම පැටවුන්ට ඒ තුලින් ජීවිතය ලබාදී, පණු බිත්තර වනසන බිත්තර පරපෝෂිතයින් දෙදෙනෙක් ඒ වනවිටත් සොයාගෙන සිටි නිසා ඇය පළමුව අවධානය යොමු කෙරුවේ ඒ අයගෙන්ම වැඩක් ගන්නටය. ‘සේනා’ එතනදී නම් පරාදය. පරපෝෂිතයින් ‘සේනා’ බිහිවිය යුතු බිත්තර තුලද බිජුලා තිබිණ. ‘සේනා’ වෙනුවට එලියට ආවේ පරපෝශිතයින්ය. ඇය විසින් සාම්පල ඉන්දියාවට ගෙනගොස් තම නිරීක්ෂණ හා ක්‍රියාදාමයන් ජාත්‍යන්තරයට පෙන්වා ඔවුන්ගේ එකඟතාවයද දිනා ගත්තාය.

“බිත්තර තුල බිත්තර දමල ‘සේනා’ පරපුර වනසන කෘමීන් පමණක් නෙවෙයි. බිත්තර හා සේනා දළඹුවාවත් ආහාරයට ගන්නා විලෝපීය සතුනුත් අප සොයාගෙන තිබෙනවා. පරිසරයේ නිතරම හමුවෙන පුංචි ‘ඉබි කුරුමිණියන්’ ගේ (කොක්සිනෙල්ලා) ශිශුවා එක උදාහරණයක්. බිත්තර පුපුරා එලියට එන ‘සේනා පැටවුන්ව මෙයා ගිල දමනවා. අපි විද්‍යාගාරයේදී නිරීක්ෂණය කෙරුවා පැයක් ඇතුලත එක ශිශුවෙක් විසින් ලපටි ‘සේනා’ පැටවුන් 10 ක් කෑමට ගත් බව.”

මේ ඉබි කුරුමිණියන් අහිංසකයින්ය. ගොවියාගේ එළවලු කොරටුවේ, කරවිල වැල්, බෝංචි පඳුරු අතර හැංගිමුත්තන් කරමින් සිටිනා ඔලිඳ ඇට තරමේ පාට පාටින් යුතු මේ සතුන් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ රතු හා කළු පාට ලපවලින් ඇඟ සරසා ගත්තවුන්ය. කුඩා වයසේදී අප මොවුන් අල්ලාගෙන බෝතල් කුප්පිවල දමාගෙන ගෙදර ගෙනගොස් ඇතිදැඩි කරන්නට ගත්  උත්සාහයක මතකයේ නටබුන් තවමත් යටි සිතේ පවතී.

එදා අපව විහිලුවට ගත් වැඩිහිටියන්, දරුවන් කරනා මේ විනෝදාංශය පසු කලෙකදී ඔවුන් විසින් රැකියාව ලෙස කරනු ඇතැයි කිසිවිටෙකත් නොසිතන්නට ඇත. එහෙත් දශක කීපයක් අවෑමෙන් කුඩාකල විනෝදයට කුප්පි තුල කල දෑ, අද විද්‍යාගාර තුල හැබෑවටම කරන්නට සිදුවී තිබේ. වගාවට වින කරන කෘමීන්ගේ ළපැටියන් අල්ලා කමින් ගොවියාට නිහඬව සේවයක් සැලසූ මේ මිතුරු කෘමි ගහනය දැන් වනවිට ස්වභාවික පරිසරයේ සිටින්නේ අල්ප වශයෙනි. ඉබාගාතේ කෘෂි රසායන ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමේ ප්‍රතිපලයක් ලෙස උදාවූ මෙම තත්වය නිසාම පරිසරයේ සමතුලිතතාවය බිඳවැටී බෝගහානි උත්සන්න වී තිබේ. මේ හේතුවෙන් සුළුවෙන් ඇරඹෙන හානියක් පාරිසරික සාධක මත පාලනය වන්නේ නැත. එය බොහෝවිට වසංගත තත්වයන් වෙතට ගොස් රසායනික ද්‍රව්‍යයන් හරහා සිදුවන සත්කාරයක්ම ඉල්ලා සිටී. බෙහෙත් ගසත්ම ඊට ඔරොත්තුදෙන නව මාදිලි බිහිකර ගනිමින් සතුරාද පරිණාමය වේ. මෙම කඹ ඇදිල්ල කවදා කොතනින් නතර වේවිද? සමස්ත පරිසරයම වැනසී යනතෙක්ම මාරු කරමින් බෙහෙත් ගැසීමත්, එන හැටියට ඔරොත්තු දෙන්නට සත්ව පරිනාමය සිදුවීමත් අඛණ්ඩව පවතීද?

“ඒ විතරක් නෙවෙයි. ‘සේනා දළඹුවාගේ’ සිරුර විදලා බිත්තර දාන ඉතා කුඩා කෘමි විශේෂ දෙකකුත් සොයාගන්න හැකිඋනා. ඒ බිත්තර ‘සේනා’ගේ දේහය තුලදී පුපුරලා උපදින පැටවුන් කන්නේ ‘සේනා’ගේ දේහය. පසුව උන් මැරුණු දළඹු සිරුර බිඳගෙන එලියට එනවා.”

සුනේත්‍රා පවසන කතාව පසුගිය සතියකදී අප විස්තර කල ගෝවා වගාවට හානි කරන දියමන්ති පිටැති සලබයාගේ කීටයා වැනසූ කතා පුවතට සමානය. මෙතැනදීද පරපෝෂිතයා කොටේසියා ගණයට අයත් කෝඳුරුවෙක් වැනි කෘමියෙකි. ‘සේනා’ ගේ ඉදිරි ග්‍රහචාරය හොඳ නැති බව කියන්නට තවත් සොයාගැනීම් සුනේත්‍රා සතුව තිබේ.

“අපි පර්යේෂණ සඳහා ‘සේනා’ දළඹුවන් බෝතල් වල දාගෙන ඉන්නකොට දකින්න ලැබුන දළඹුවාව හදිසියේ පුස්කන තත්වයක්. අද හොඳට ඉන්න සතා හෙට වෙනකොට සුදු පාට පුස් වර්ගයකින් වැහෙනවා. සතා මැරිලා. මේ දිලීරය අපි වෙන්කරගෙන වගා කරලත් තියෙනවා. නමුත් කෘතිමව තවත් දළඹුවෙකුට බෝකිරීමේ උත්සාහය තවම හරි ගිහින් නෑ.”

මෙවැන්නක් සාර්ථක වන්නේ නම් ටැංකියට පුරවාගෙන පිටේ බැඳගන්නට වෙන්නේ පුස් දියකල වතුරය. ‘සේනා’ පුස්කන තුරු කොපමණ ඉසිනු ලැබුවත්, මිනිසාටවත් පරිසරයටවත් හානියක් නොවීමේ ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත්, මෙම පුස් වර්ගය කුමක්ද, එය ස්වභාවික පරිසරයේ පවතින හානි රහිත මාදිලියක්ද යන්න සොයමින් උඩවලව උක් පර්යේෂණායතනයේ බෝග ආරක්ෂණ අංශයේ විද්වත්තු වැඩිදුර අධ්‍යයනයන්හි නිරතව සිටිති.

‘සේනා’ ගෙන් උක් වගාවට හානියක් නැතැයි පැවසුවත් එය එතරම් වැරදි නොවේ. බඩඉරිඟු කරල් කනවාසේ, ආර්ථිකව අපට වැදගත් උක් දණ්ඩට හානි කිරීමට දළඹුවාට හැකියාවක් නැත. මේරූ පත්‍ර කෑමටද උගේ හනු ශක්තිමත් නැති බවක් පෙනේ. වයස සති 2 සිට මාස 4 දක්වා වන ලපටි පත්‍ර වලට හානි කෙරුවද ඉන් ඇතිකෙරෙන බලපෑම දරාගැනීමට, වසරක පමණ ජීවිත කාලයක් ගතකරන උක් ශාකයට අපහසු වන්නේද නැත. කෘමිනාශක භාවිතයකින් තොරව ලාංකික උක්වගාව ‘සේනා’ ගේ හානියෙන් තොරව රැක බලාගැනීමට සුනේත්‍රා සමග එකතුව පර්යේෂණයන්හි නිරතවන තවත් කීට විද්‍යාඥවරියක වන ගයනි චංචලා ඇතුළු කණ්ඩායම සමත්වී ඇති බව දැන් පැහැදිලි කරුණකි. උක් පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක ආචාර්ය ඒ. පී. කීර්තිපාල මහාතාගෙන්ද මනා සහයෝගයක් මෙම වැඩ සටහනට සැපයේ.

“පලිබෝධනාශක නොමැතිව ජෛව ක්‍රමවේදයන් ඔස්සේ උක්වගාවේ ‘සේනා’ පාලනය කිරීමට අපට හැකි බවට හොඳ විශ්වාසයක් තිබෙනවා. උක් වලට සිදුවෙන හානිය අඩු උනත් අපි වගාවෙන් සේනා තුරන් කරන්නම ඕනෑ. එහෙම නොවුනොත් රටේ උක් වගාව ‘සේනා’ බිහිකරන තැනක් වේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බඩඉරිඟු වගාවට සීමා පනවමින්, ගොවීන් සඳහා වගා කාල සටහන් හදමින් ‘සේනා’ කළමනාකරණයට දරන උත්සාහය වතුරේ යාවි, අපි උක් වගාව පිරිසිදු කලේ නැත්නම්. මොකද උක්වගාවට කන්නයක් නෑ. අවුරුද්ද පුරාම වගා බිමේ උක්ගස් තියෙනවා. ඒ නිසා එය අවාරයට දළඹුවාට නවාතැන් සපයමින් උගේ පැවැත්ම තහවුරු කරන වගාවක් වීමට හොඳටම ඉඩකඩ තියෙනවා.”

ආයතන වශයෙන් සීමා මායිම් ඇඳගෙන, තමාගේ ඩියුටිය පමණක් ඉටුකර හැන්දෑවට ගෙදර යන කණ්ඩායමට මහඟු ආදර්ශයක් සුනේත්‍රා විසින් මල්ල පුරා බෙදාදුන් බවක් පෙනෙන්නට ඇත. උඩවලවේ විද්වතුන් මේ උත්සාහ කරන්නේ උක්වගාව ‘සේනා’ ගෙන් බේරාගැනීමට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ගොවිතැනට යහපතක් සැලසීමටයි. එහිදී තමාගේ විෂය පථය එලවළුද, පලතුරුද, තේද, පොල්ද යන්න අදාළ නොවේ. ගොවි ජනතාවටත් තිබෙන වගකීම ඉතා විශාලය. බඩඉරිඟු වගාව කලට වේලාවට කරනවා මෙන්ම, කරල් සිදුරු කරගෙන දළඹුවන් මතුවෙනතුරු අතපය හකුලාගෙන සිට කෘමිනාශක සරණ යනවා වෙනුවට, ඉබි කුරුමිණියන්, කොටේසියාවුන් වැනි ‘සේනා’ ගේ සතුරන්ද සමග මේ ගමන යන්නට ඔවුන්ද හිත හදාගත යුතුවේ.

උදේ හවා වගාව දකිනවා වෙනුවට නිතරම පාහේ වගාව දෙස බැලිය යුතුය. දළඹුවන් එකා දෙන්නා මතුවෙත්දී බෙහෙත් ටැංකිය කරට ගන්නට ඉක්මන් නොවී ඒකාබද්ධ පලිබෝධ මර්ධන ක්‍රම වෙතට යොමුවෙමින් විසඳුම් සෙවිය යුතුය. උඩවලවෙන් හෙට අනිද්දා රටපුරා බෙදාහැරීමට සැලසුම් කරන කෘමි හමුදාවේ ජීවිත රැකෙන්නේත්, අවට පරිසරයට සියල්ල නසන භයානක වස දියර මුදා නොහරින තරමටය. අපගේ පැරැන්නන් අනුගමනය කල ජෛව පලිබෝධ පාලන ක්‍රමවේදයන්ගේ තිරසාරභාවය දැන්වත් අප අවබෝධ කරගත යුතු බව මේ හරහා මතුවන යථාර්ථයයි.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor