උඩරට මැණිකෙලාගේ තෝම්බුව අසන්න – දකින්න කැමැති අයට ඇරියුමක්

ජාතික දුම්රිය කෞතුකාගාරය

කොළඹ-මහනුවර ප‍්‍රධාන මාර්ගයට පිවිසෙන කාගේත් මතකයට නැගෙන්නේ සුන්දර කඩුගන්නාවයි.

කඳු මිටියාවත්වලින් වට වූ පරිසරය හා එහි වූ සිසිල් බව විඳගැනීමට මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අමතක කරන්නේ නැත. කඩුගන්නා දුර්ගය, කඩුගන්නා ගල, ඩෝසන් කුළුණ හා තේ කර්මාන්තශාලා සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයකි. ශ‍්‍රී ලංකා ජාතික දුම්රිය කෞතුකාගාරය ඒ අතරට එක්වන තවත් සුවිශේෂී ස්ථානයකි.

කඩුගන්නාව නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ශෛලියකින් යුතු ගොඩනැගිල්ලෙහි ජාතික දුම්රිය කෞතුකාගාරය ස්ථාපිතව ඇත. මෙම කෞතුකාගාරයට පිටුපසින් කඩුගන්නාව දුම්රිය නැවතුම්පොළද පිහිටා ඇත. අතීත හා වර්තමාන ලාංකේය දුම්රිය ගමනාගමනයේ වෙනස දෙනෙතින්ම අත්දකින්නට සුදුසුම ස්ථානය කඩුගන්නාවයි.

අධිරාජ්‍යවාදී වුවමනාවක් ලෙස ලංකාවට පැමිණි දුම්රිය ලාංකේය ගමනාගමන ක්ෂේත‍්‍රය නව මාවතකට යොමු කළේය. වර්ෂ 1820 දී ලංකාවේ ආණ්ඩුකාර ධූරය හෙබ වූ එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා ප‍්‍රවාහනය රටක ආර්ථික හා සමාජ සංවර්ධනයට කෙතරම් වැදගත් දැයි දැන සිටියේය. ඔහුගේ ආදර්ශ පාඨය වූයේ ”පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මංමාවත් ය” යන්නයි.

වර්ෂ 1855 මැයි මාසයේ දී ලංකාවේ ආණ්ඩුකාර ධූරයට පත් සර් හෙන්රි වෝර්ඞ් මහතාගේ අදහස වූයේ මුලින්ම කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයක් තැනිය යුතු බවයි. නමුත් විවිධ දුෂ්කරතා හමුවේ දුම්රිය මාර්ගය තැනීම ප‍්‍රමාද විය. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ධූම රථ මාර්ගය තැනීම සඳහා මංගල පස් පිඩැල්ල කැපුවේ 1858 අගෝස්තු මස 3 වන දාය.

ලොව ප‍්‍රථම මගී දුම්රිය ගමනින් වසර 34කට පසු ලංකාවේ ප‍්‍රථම දුම්රිය ගමන සිදු විය. එය වර්ෂ 1864 දෙසැම්බර් මස 27 වන දින කොළඹ සිට අඹේපුස්ස දක්වා අමුත්තන් රැගෙන ගිය ගමනක් විය.

ජාතික දුම්රිය කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ 2014 දෙසැම්බර් මස 17 වන දිනයි. එ මහනුවර දිස්ත‍්‍රික්කයේ කඩුගන්නාව නගරයේ ය. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම දුම්රිය ගමනට වසර 150ක් සපිරීම නිමිත්තෙන් එවකට රජය විසින් මෙම කෞතුකාගාරය ආරම්භ කර ඇත. දුම්රිය මාර්ග අනුරුවක්, පැරණි මෝටර් ට්‍රොලි, පැරණි දුම්රිය මගී සනීපාරක්ෂක පද්ධති, පැරණි දුම්රිය මාර්ග සංඥ, දුම්රිය නාමපුවරු ආදී දුම්රිය ක්ෂේත‍්‍රයට නෑකම් කියන කෞතුක වස්තුන් රාශියක්ම මෙහිදී දැකගත හැකිය. දුම්රිය මාර්ගය දෙපස අතීතයේ ලංකාවේ ගමනාගමනය සඳහා භාවිතයට ගත් දුම්රිය එන්ජින් හා මෝටර් ට්‍රොලි මහජන ප‍්‍රදර්ශනයට තබා ඇත.

වායු සමීකරණය කරන ලද පැරණි දුම්රිය කුටියක ප‍්‍රදර්ශනය කරනු ලබන වීඩියා් පටයක් ආධාරයෙන් අතීත දුම්රිය ගමනෙහි විකාශය අත්විඳීමට ලොකු කුඩා සැමට අවස්ථාව සලසා දී ඇත. මෙහි භාරකාරත්වය ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව සතුය.

දේශීය මෙන්ම විදේශීයයන්ට ද මෙම කෞතුකාගාරය නැරඹීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත යුතු ය. ප‍්‍රවේශ පත‍්‍ර සඳහා මුදල් අය කරනුයේ එහි නඩත්තු කටයුතු සඳහාය. මෙම කෞතුකාගාරය පාසල් සිසුන්ට අධ්‍යාපන චාරිකා සඳහා සුදුසු නැරඹුම් ස්ථානයකි. එසේම දෙස් විදෙස් සංචාරකයින්ට ද නැරඹිය හැකි සංචාරක මධ්‍යස්ථානයකි.

සැකසුම –
ශානිකා සුලක්ෂී තිලකරත්න

Recommended For You

About the Author: Editor