ඔස්ටේ‍්‍රලියානු මහ මැතිවරණය ගැන ඔබ කොතරම් දැනුවත් ද ?

Australian Federal Election 2019 18.05.2019

වර්ෂ 1900 ට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාව එක් රාජ්‍යයක් හැටියට පැවතුණේ නැහැ.  බ්‍රිතාන්‍ය කොලනි හයක් හැටියටයි පාලනය කෙරුණේ. නිව් සවුත් වේල්සය, වික්ටෝරියාව, ක්වින්ස්ලන්තය, දකුණු ඔස්ට්රේලියාව, බටහිර ඕස්ට්‍රේලියාව සහ ටැස්මේනියාව.

මේ කොලනි පාලනය කෙරුණේ හරියටම වෙන්වෙන් කුඩා රාජ්‍යය හයක් හැටියට. එක් එක් රාජ්‍ය වලට වෙනමම පාර්ලිමේන්තුවක්, නීති පද්ධතියක්, ආරක්ෂක හමුදාවක්, සහ වෙනමම තැපැල් මුද්දර පවා තිබුණා. මීට අමතරව එක් කොලනියක ඉඳලා තවත් කොළනියකට යනකොට දේශ සීමා බදු ගෙවන්නටත් සිද්ධ වුණා.  එක් එක් කොලනි වල භාවිතා වුණු දුම්රිය පද්ධති පවා එකිනෙකට වෙනස් ප්‍රමිතීන්ට අයත් වුණා.

වර්ෂ 1880 වන විට ඕස්ට්‍රේලියා භූමිය වෙන් වෙන් කුඩා රාජ්‍යය හැටියට පවත්වාගෙන යෑම නිසා ඇතිවන, අකාර්යක්ෂමතාවය පිළිබඳව සංවාදයක් ගොඩ නැගුණා. ඕස්ට්‍රේලියාව තනි රාජ්‍යයක් හැටියට එක්ව පාලනය කිරීමේ අවශ්‍යතාවය, සමුහාණ්ඩුවක නැත්නම් ෆෙඩරල් රාජ්‍යයක අවශ්‍යතාවය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

සර් රොබර්ට් රැන්ඩෝල්ෆ් ගැරන්ට් මේ සඳහා මුලිකවී සක්‍රීය ක්‍රියාධරයෙකු හැටියට කටයුතු කළා. මේ ක්‍රියාන්විතයේ සාර්ථක ඵල නෙළා ගනිමින්, ජනමත විමසුමකින් පසුව වර්ෂ 1901 ජනවාරි පළමු වෙනිදා එවකට පැවැති කොලනි පාලනය වෙනුවට ඕස්ට්‍රේලියා මහාද්වීපය එක් රාජ්‍යයක් හැටියට සමූහාණ්ඩු ක්‍රමය හෙවත් ෆෙඩරල් රාජ්‍යය ක්‍රමය ආරම්භ කළා.

1901 සිට පැවත ගෙන එන ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රාජ්‍ය ලොව පැරණිතම එක දිගටම පවත්වාගෙන එන ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී  රටවල් අතුරෙන් එකක් හැටියට හඳුන්වන්නට පුළුවන්.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පාර්ලිමේන්තු ව්‍යුහය ප්‍රධාන ආයතන දෙකකින් සමන්විත වෙනවා. House of Representatives, මහජන මන්ත්‍රී මණ්ඩලය සහ  Senate, උත්තර මන්ත්‍රණ සභාව.

මහජන මන්ත්‍රී මණ්ඩලය සඳහා ඔස්ට්‍රේලියාව පුරා විහිදුනු කොට්ඨාශ එහෙමත් නැත්නම් divisions 151ක් සඳහා මන්ත්‍රීවරුන් 151 ක් දෙනෙකු මහජන චන්දයෙන් තෝරා පත්කර ගන්නවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 47ක්, වික්ටෝරියා ප්‍රාන්තයෙන් 38ක්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 30ක්, බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 16ක්, දකුණු ඕස්ට්‍රේලියාවෙන් 10ක්, ටැස්මේනියා වෙන් 5ක්, Australian capital territory වලින් 3ක් සහ northern territory වලින් කොට්ඨාශ 2 කුත් එක් වීමෙන්  කොට්ඨාශ නැත්නම් Divisions 151 ක් සම්පුර්ණ වෙනවා.

මෙම ඡන්ද කොට්ඨාශ නිර්මාණය කිරීමේදී එක් කොට්ඨාශයකට පුරවැසියන් එක් ලක්ෂ පනස් දහසක් පමණ අඩංගු වෙනවා. මේ අතුරින් ලක්ෂයකට පමණ ඡන්ද බලය හිමි වෙනවා.

මේ අතර උත්තර මන්ත්‍රණ සභාව නැත්නම් Senate  මණ්ඩලය සඳහා එක් ප්‍රාන්තයකින් සෙනට් සභිකවරුන් දොළොස් දෙනෙක් බැගින් ප්‍රාන්ත හයෙන් හැත්තෑ දෙදෙනෙකුත්, Territory දෙකෙන් එකකින් දෙක බැගින් තවත් හතර දෙනෙකුත් එකතු වෙලා සම්පූර්ණ සෙනෙට් සභිකයන් හැත්තෑහය දෙනෙක් මහජන චන්දයෙන් තෝරාපත් කරගන්නවා..

මේ ආකාරයට ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව මගින්, ඕස්ට්‍රේලියානු මහාද්වීපය පාලනය කරනවා. රටට අවශ්‍ය නීති සම්පාදනය කරනවා.

2019 මැයි මාසයේ 18 වෙනි සෙනසුරාදා ඕස්ට්‍රේලියානු පුරවැසියන් තම පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට දායක වෙනවා. ඒ අතුරින් වැඩිම පාර්ලිමේන්තු ආසන හිමිකර ගන්නා දේශපාලන පක්ෂය විසින් තම නායකයාව ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරයා හැටියට නම් කිරීමෙන් පසුව අග්‍රාන්ඩුකාරවරයා විසින් ඔහු හෝ ඇයව එම ධුරයට පත්කරනු ලබනවා.

මෙවර පැවැත්වෙන්නේ 46 වැනි ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයයි. පාර්ලිමේන්තු කාලය වසර තුනකට සීමා වෙනවා. සෑම වසර තුනකට වරක්ම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වෙනවා.

1924 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය බවට නීතිගත කළා. මේ හේතුව නිසාම සෑම මැතිවරණයකදීම ප්‍රකාශිත ඡන්ද 90% ප්‍රතිශතය ඉක්මවා යනවා.

ඡන්දය පවත්වන දිනට වයස 18 සම්පූර්ණ වන සියළුම දෙනා තම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටිනවා. ඡන්දය ප්‍රකාශ නොකරන අයට දඩ මුදලක් ගෙවීමට සිද්ධ වෙනවා.

කිසියම් හේතුවක් නිසා නියමිත දිනට පෙර ඔබට ඡන්දය සඳහා ලියාපදිංචිවීමට නොහැකි වුනානම්, ඡන්දය පැවැත්වෙන දින, ලඟම  ඇති ඡන්ද මද්‍යස්ථානයට ගොස් අදාළ ලියාපදිංචිවීමේ පෝරම පුරවා ඔබගේ ඡන්දය ප්‍රකාශ  කරන්න.

ඒ වගේම ඡන්දය පැවැත්වෙන දින ඔබට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට නොහැකිනම්, පෙර ඡන්ද ප්‍රකාශ කිරීමේ මද්‍යස්ථානයට (Early  voting  centre )ගොස් ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්නට පුළුවන්. එසේත් නැත්නම් තැපැල් ඡන්දයක්, postal vote  ලෙසින් ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්තාව තිබෙනවා.

ඔබ විදෙස්ගතව සිටියි නම් ඔබ ජිවත්වන රටෙහි පිහිටා ඇති ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට ගොස් ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්න.

ඔබ අසනීපව සිටියිනම් හෝ මොනයම් හේතුවක් නිසා හෝ ඔබට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යා නොහැකි නම්, ඔබගේ නියෝජිතයකු ඡන්ද මධ්‍යස්ථානයට යවා ඒ බව දැනුම් දෙන්න. එවිට ඔබ දඩ ගෙවීමෙන් නිදහස් වෙනවා.

ඇස් පෙනීම දුර්වල හෝ අන්ධ පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති පහසුකම් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක 13 23 26 ට ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමසාරිස් කාර්යාලය අමතන්න. 

ඔබ ඡන්දය පැවැත්වෙන දින ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඔබට හිමි ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට පෙර ඡන්ද නිලධාරියා විසින් ඔබගේ නම සහ ඔබගේ පදිංචි ස්ථානය විමසා සිටිනවා.

What is your name?

Where do you live?

ඉන් අනතුරුව මෙම මැතිවරණය සඳහා මේ වනවිට ඡන්දය ප්‍රකාශ නොකළ බවට වාචික දිවුරුමක් ලබා ගන්නවා.

Have you voted before in this election?

ඔබගේ පිළිතුරු පිළිබඳව ඡන්ද නිලධාරියා සැහීමකට පත්වුවහොත් පමණක් ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ ඡන්ද පත්‍රිකා ලබා දෙනවා. එසේත් නැත්නම් ඔබව ප්‍රධාන මධ්‍යස්ථාන නිලධාරියාට යොමු කරනවා.

මේ කිසිම අවස්තාවක ඔබව චුදිතයෙකු හෝ වරදක් කර ඇති අයෙකු ලෙස සලකන්නේ නැහැ. හැකි කුමන හෝ අයුරකින් ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්තාව උදාකරදීමට ඡන්ද නිලධාරින් කැප වෙනවා.

මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයාට චන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදෙනවා.

කොළ පැහැති කුඩා ඡන්ද පත්‍රිකාව සහ සුදු පැහැති විශාල ඡන්ද පත්‍රිකාව.

කුඩා පත්‍රිකාව මහජන මන්ත්‍රීවරු තෝරා ගැනීමට භාවිතා කරනවා. එහි ඡන්ද අපේක්ෂකයින්ගේ නම් ඉදිරියෙන් ඇති සියලුම කොටු අනු පිළිවෙලට අංක යොදා පිරවිය යුතුයි.

ලොකු පත්‍රිකාව සෙනෙට් මණ්ඩලය තෝරාගන්නට යොදා ගන්නවා. ඉරෙන් ඉහල සහ ඉරෙන් පහල ලෙසින් එය කොටස් දෙකකට වෙන්කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉරෙන් ඉහල හෝ ඉරෙන් පහල ඔබ තොරගත යුතුයි. මේ කොටස් දෙකෙහිම ඡන්දය සලකුණු කිරීමෙන් වැලකි සිටිය යුතුයි.

ඉරෙන් ඉහල ඡන්දය ප්‍රකාශ කරනවානම්  ඔබ කැමති අනුපිලිවෙලට දේශපාලන පක්ෂ ඉදිරියේ ඇති කොටුවල අවම වශයෙන්  අංක 1 සිට 6 දක්වා සලකුණු කල යුතුයි.

ඉරෙන් පහල ඡන්දය ප්‍රකාශ කරනවානම් එහි නම් ඉදිරියේ ඇති කොටුවල අවම වශයෙන් 1 සිට 12 දක්වා කොටු අංක අනුපිලිවෙලට සලකුණු කල යුතුයි.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඔබ අතින් වරදක් සිදු උනා නම් ඡන්ද පත්‍රිකාව නැවත ඡන්ද නිලධාරියාට භාරදී අලුත් පත්‍රිකාවක් ලබා ගන්නට ඔබට පුළුවන්. ඒ වගේම ඔබට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උදවු අවශ්‍ය නම්  ඒ බව ඡන්ද නිලධාරියාට පවසන්න. ඔහු ඔබට උදවු කිරීමට බැඳී සිටිනවා.

සම්පුර්ණකරන ලද ඡන්ද පත්‍රිකා දෙක වෙන වෙනම ඒ සඳහා ඇති ඡන්ද පෙට්ටි දෙකට දැමිය යුතුයි.

අතපසුවීමකින් ඔබගේ යතුරු කැරැල්ල, මුදල් පසුම්බිය, රියදුරු බලපත්‍රය, හෝ බැංකු කාඩ් පත් ඡන්ද පෙට්ටිය තුලට දමන්නට එපා. හවස 6ට ඡන්දය ගණන් කිරීමට ඡන්ද පෙට්ටිය විවුර්ත කරනතුරු කිසිම හේතුවක් නිසා ඡන්ද පෙට්ටිය විවුර්ත කරන්නේ නැහැ.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මහා මැතිවරණය පිළිබඳව ඔබට වැඩිදුර විස්තර ලබා ගන්නට අවශ්‍ය නම් 13 23 26 දුරකථන අංකය අමතන්න. 

එසේත් නැත්නම් www.aec.gov.au වෙබ් අඩවියට ගොඩවෙන්න.

නීතිගරුක යුක්තිගරුක ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු හැටියට ඔබට ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, 2019 මැයි මාසයේ 18 වැනිදාට භුක්ති විඳින්න. ඕස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට දායක වන්න.

උදය ගෝවින්න

Recommended For You

About the Author: Editor