බෝසත් ළමා කතා 2 – කපුටන්ගේ පණ රැක දුන් හිවල් නුවණ

අපිට හිවල් හාමි, එහෙම නැතිනම් නරි රාළ ගැන කියන කොට ම මතක් වෙන්නේ තමන්ගේ වාසියට නුවණ යොදලා අනෙක් අයට විපත් කරනවා කියන එකනේ. ඒත් ඒක හැමදාම සිද්ධ වුණේ නැහැ. හිවල් හාමිත් ඉඳලා හිටලා හරි තමන්ගේ කපටි නුවණ යොදවලා අනෙක් අයට උදව් උපකාර කළා.

ඔන්න එකමත් එක කාලෙක එකමත් එක රටක රජ්ජුරුවන්ගේ රාජකීය පොකුණ අසල තිබුණු විශාල නුග ගසේ කූඩුවක කපුටෙකුයි කපුටියකුයි ජීවත් වුණා. මේ දෙන්නා බොහොම සතුටින් ටික තමයි ජීවත් වුණේ.
මේ අතරේ මේ නුග ගස යට තිබුණු විශාල තුඹසේ විශාල නාගයෙක් පදිංචි වුණා.
නාගයා පදිංචියට ආ දවසේ ඉඳන් මේ කපුටු යුවළ එක්ක හරිම තරහෙන් හිටියේ. ඒකට හේතුව තමයි මේ නාගයා හරිම අහංකාරයි. එයා නිතරම හිතුවේ නාගයෝ තමයි මේ ලෝකේ ඉන්න උතුම්ම ජාතිය කියලා.
‘‘මේ ලෝකේ බලවත්ම අය මිනිස්සුන් කියලානේ සමහරු කියන්නේ. ඉතිං එයාලා අපිට කොච්චර බයද ? ඒ විතරක්යෑ සමහර මිනිස්සු අපිට වන්නදනාමාන පවා කරනවා. ඒ නිසා සතුන් අතර උතුම් කට්ටිය අපියි’’ නාගයා හිතුවේ.
ඒ නිසා නාගයා හිතුවා කපුටෝ වාගේ පහත් සත්තු තමන්ට ඉහළින් ඉන්න එක තමන්ට කරන මදිපුංචිකමක් කියලා. ඒ නිසා නාගයා හැමදාම, හැම වෙලාවෙම කපුටන්ට තර්ජනය කළා.


‘‘කපුටනේ මං ඔයාලාට මේ අන්තිම වතාවට කියන්නේ. දැන්ම ඔය ඉළව් කූඩුවෙන් බැහැලා වෙන තැනකට යනවා. නැතිනම් මම හොඳ වැඩක් කරනවා’’ නාගයා කපුටන්ට තර්ජනය කරමින් කිවුවා.
ඒත් කපුටන්ට යන්න වෙන තැනක් තිබුණේ නැහැ.
‘‘මෙතැන ආරක්ෂාව හොඳයි. කෑමත් තියෙනවා. පැටවු ලොකු වෙනකම් මෙතැන ඉන්න දෙන්න. අපි පැටවු ලොකු වුණ ගමන් වෙන ගහකට යන්නම් ’’ කපුටි නාගයා ඉදිරියේ බැගෑපත් වුණා.
‘‘ආ… දැන් පැටවුනුත් ඉන්නවාද ? ඒක තමයි මට නිදහසේ ඉන්න බැරි තරමට සද්දේ. පැටවු තියා වෙන කවුරු හිටියත් කමක් නැහැ අදම මේ ගහෙන් යන්න ඕනෑ. අද හවස් වෙන්න ඉස්සර යන්න ඕනෑ’’ නාගයා කිසිම දුකක් නැතිව තර්ජනය කරමින් කිවුවා.
තමන්ට වෙලා තිබෙන විපත ගැන කපුුටයි කපුටියි හොඳටම දුක් වුණා. යාන්තම් ‘කාක්… කාක් ’ කියන තමන් පැටිවු දෙන්නා ගැනත් එයාලා හොඳටම බය වුණා.
‘‘අනේ මට බයයි ඔය නපුරු නාගයා මගේ පැටවු ගිලියි කියලා’’ කපුටිය දුකෙන් කිවුවා.
ඊට පස්සේ මේ දෙන්නා නපුරු නාගයගෙන් බේරෙන ආකාරය ගැන බොහෝ වේලාවක් කතා කළා. එහෙම ටික වෙලාවක් ගියාට පස්සේ කපුටා මෙහෙම කිවුවා.


‘‘අපි මේ ගැන හිවල් හාමි එක්ක කතා කරමුද ?. එයා හොඳ උපදේසයක් දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. එයා කොහොමටත් නුවණක්කාරයනේ ’’
‘අගේ ඇති නුවණක්කාරයා. අනේ.. අනේ.. ඔායාට අමතක වුණා ද අපේ මී මුත්තගේ කේජු කෑල්ල කන්න එයා කළ උප්පරවැට්ටිය. එදා ඉඳන් අපේ අයට ඔය හිවල් හාමි පේන්න බැහැ ’’ කපුටිය තරහෙන් කිවුවා.
‘‘ආ… ඒ ඉතිං ඔයාගේ මීමුත්තගේ වරදනේ. ඇයි එයා බඩගිනි හිවලගේ චාටු කතාවලට රැවටුණේ. මං නම් හිතන්නේ ඒක ඔයාගේ මී මුත්තගේ වරද කියලා. එහෙම නැතිව හිවල් හාමිගේ නෙමෙයි ’’ කපුටා කිවුවා.
කොහොම හරි අන්තිමේදී උපකාරයක් ගන්න යන්න වෙන කෙනෙක් නැති නිසා හිවල් හාමි ළඟට යන්න කපුටු යුවළ තීරණය කළා.
මේ දෙන්න බොහොම ඉක්මනින් හිවල් හාමිගේ ගෙදරට ගියා. ගිහින් දොරට කට්ටු කළා. ටික වෙලාවකින් හිවල් හාමි ඇස් පොඩිකරමින් දොර ඇරියා.
‘‘කවුද… කවුද මේ උදේ පාන්දර මගේ දොර කඩන්නේ. වැඩට ගිහින් ගෙදර ඇවිත් ඇස් දෙක පියා ගත්තා විතරයි’’ කියලා හිවල් හාමි ටිකක් තරහෙන් කිවුවා.
‘‘අනේ සමාවෙන්න හිවල් හාමි මේ අපි, කපුටු හාමියි හාමිනෙයි. අපි මේ තකහනෙියේ ආවේ ඔබතුමාගෙන් උපකාරයක් ගන්න කියලා’’
කපුටු හාමි බයාදු හඬින් කිවුවා.
කපුටු යුවළ දැක්කාම හිවල් හාමි පුදුම වුණා.
‘‘දෙයියනේ මගේ ඇස් දෙක අදහා ගන්නත් බැහැ. මම මේ දකින්නේ හීනයක් ද? කපුටා හාමියි හාමිනෙයි අපේ ගෙදරටම ඇවිත් ’’
‘‘අනේ ඔව් හිවල් හාමි. අපි මොකටද ඔය කේජු කෑල්ල නිසා ඇති වුණු තරහාමරහා හැමදාම හිත්වල තියා ගන්නේ. දැන් කලියුගය නොවැ. ඒ නිසාම තමයි අපි දෙන්නා මේ කුකුළත් අරගෙනම ආවේ ’’
කුකුළත් අරගෙන කිවුවාම හිවල් හාමිගේ කටට කෙළ ඉනුවා. ඊයේ මුළු ?ම ඇවිද්දත් හරිහමං කෑමක් ලැබිලා තිබුණේ නැති නිසා හිවල් හාමිගේ සිත සතුටින් පිරුණා.
‘කුකුළත් අරන් කිවුවා. අනේ අපේ මේ තෑගි මොකටද ? අපි කියලා නොදන්න කියන අයයෑ. කෝ කොහෙද මේ කුකුල් හාමි තිබ්බේ ’’ හිවල් හාමි කෑදර සිතින් වටපිට බැලූවා.
‘‘කුකුළත් අරන් කියන්නේ උදේ පාන්දර ආවා කියන එකටනේ හිවල් හාමි. අනේ සමාවෙන්න අපි හිස් අතින් ආවේ හදිසියෙම එන්න වුණ නිසා. නැතිනම් අපි කවදාවත් අත්දෙක වනවනා එන්නේ නැහැ’’
කපුටා හාමිගේ කතාවෙන් හිවල් හාමිට තරහා ගියත් ඒ වග පෙන්වන්නේ නැතිව කතා කළා.
‘‘හා.. හා.. ඒවා අමතක කරමුකෝ. කෝ මගෙන් මොකක්ද කෙරෙන්න ඕනෑ ’’ හිවල් හාමි ඇසුවා.
‘‘අනේ හිවල් හාමි අපි බොහොම කරදරේක වැටිලා ඉන්නේ. අපි ඉන්න මහ නුගේ පාමුල මහ විශාල තුඹසක් තියෙනවානේ. අන්න ඒකේ ඉන්න නාගයා අපිට ගහෙන් යන්න කියලා තර්ජනය කරනවා. අපි පණ බයෙන් ඉන්නේ කොයිවෙලේ අතුරු ආන්තරාවක් වෙයි ද කියලා. අනේ අපේ පැටවු දෙන්නා… ’’ කපුටිය හඬමින් කිවුවා.
හිවල් හාමිටත් මේ නාගයා එක්ක පරණ තරහක් තිබුණා. දැන් ඒකත් මතක් වුණා.
‘‘හොඳයි… හොඳයි මට තේරෙණවා. දැන් ඔයාලාට ඕනෑ ඔය නාගයා තුඹහෙන් එළවලා දාන්නනේ. මම දන්නවා ඔය නාගයා හරිම නපුරා. ඒ වගේම ආඩම්බරකාරයා. අපි එයාට හොඳ පාඩමක් උගන්වමු ’’
හිවල් හාමි ටික වෙලාවක් ඇස් පියාගෙන කල්පනා කළා. තවත් ටික වෙලාවකින් එයාගේ මූණ සතුටින් පිරුණා.
‘‘හරි මට නියම නුවණක් ආවා. අපි ඔය නාගයාට යස පාඩමක් උගන්වමු ’’
හිවල් හාමි තමන්ගේ උපාය ගැන බොහොම හොඳින් කපුටු යුවළ දැනුවත් කළා. ඒ උපාය ඇහුවම කපුටු යුවළ බොහොම සතුටු වුණා.
‘‘ඒක ඒ හැටි දෙයක් නෙමෙයි. එදා අපේ මී මුත්තා ගමහාමිනේ බලාගෙන ඉන්න කොටමනේ කේජු කෑල්ල අරන් ගියේ. මම එයාගේ දුවෙක් නේ. මම ඒක කරන්නම්’’
කපුටිය කිවුවා.
ඒත් කපුටා නම් ඒ උපාය ගැන ඒ හැටි සතුටු වුණේ නැහැ. එයාගේ පරම්පරාවේ අය තමයි වතුර කළේට ගල් දාලා වතුර උඩට අරන් ඒවා බිවුවේ.
‘‘මට නම් මේ උපාය ගැන ඒ තරම් විශ්වාසයක් නැහැ. අන්තිමට අපේ ජීවිතත් නැති වෙයි කියලා මට බයයි’’ කපුටා කිවුවා.
‘‘එහෙම නම් ඉතිං මට දෙන්න වෙන උපදේසයක් නැහැ. වෙන කාගෙන් හරි අහලා බලන්න ’’ හිවල් හාමි ගේ ඇතුළට යමින් කිවුවා.
‘‘නැහැ… නැහැ.. අපි ඒක කරන්නම් ’’ කපුටු හාමි අන්තිමේදී කිවුවා.
‘‘ එහෙනම් ඔය දෙන්නා දැන්ම රාජකීය පොකුණ ළඟ කුඹුක් ගහට යන්න. එතැන තමයි දේවිය තමන්ගේ ආභරණ ගලවලා තියන්නේ. මං හිතන්නේ එයාලා මේ වෙන කොටත් පොකුණට ඇවිත් ඇති. එතනට ගිහින් කොහොම හරි මම කිවුව විදිහට කරන්න කෝ ’’ හිවිල් හාමි ගේ ඇතුළට යන ගමන් කිවුවා.
ඔන්න ඉතිං, කපුටයි කපුටියි ඉක්මනට පියඹලා ගියා. හිවල් හාමි කිවුව විදිහට රජ්ජුරුවොයි අග බිසවයි දිය කෙළිනන් රාජකීය පොකුණ ළඟට ඇවිත්. දේවිය තමන්ගේ රන් ආභරණ ගලවමින් හිටියා. රාජකීය මුරකභටයෝ ටිකක් ඈතින් මුරකාවල් කරමින් හිටියා.
කපුටු යුවළ කිසිම බයක් සැකක් නැතිව කුඹුක් ගසේ අත්තක වැසුවා. ඊට පස්සේ වටපිට බලලා හිත හදා ගත්තා.
‘‘මම හිතන්නේ අපිට ඒ හැටි බය වෙන්න දෙයක් නැහැ. මුරභටයෝ ඉන්නේ ටිකක් ඈත. අපිට තියන්නේ අර අතන කුඹුක් මුල උඩ තියෙන දිලිසෙන මාලේ අරන් නුග ගහ මුල තියෙන තුඹසට දාන්න විතරනේ. ඊට පස්සේ වෙන දේ හිතා ගන්න පුළුවන්නේ’’
කපුටගේ කතාවට කපුටියට හිනා ගියා. ඒත් පුංචි බයකුත් හිතේ තිබුණා. ගම
හාමිනේගේ වාගේ පොල්කටු හැන්දක් නෙමෙයි මුරකභටයෝ අතේ තිබුණේ. දිලිසෙන කඩුයි, හෙල්ලවලූයි. ඒ විතරක් නෙමෙයි එක් මුරභටයෙක් අතේ දිග දුන්නකුත් තිබුණා. ඔවුන් උකුස්සෝ වාගේ වටපිට බලමින් හිටියා.
කොහොම හරි අවස්ථාවක් බලලා ඊයක් වාගේ බිමට පාත් වුණ කපුටිය රජ දේවිගේ රන් මාලය අරගෙන ‘කාක්… කාක් ’ කියලා අහසට ඉඟිළුණා.
‘‘කාක්.. කාක් ’’ කියන හඬ ඇසුණ ගමන් කලබලයට පත් වුණ මුරභටයෙක් කුඹුක් ගස දිහා බැලූවා.
‘‘ඒයි මෙන්න හොර කපුටෙක් දේවීන් වහන්සේගේ රන් මාලය හොරා ගත්තා ’’ ඔහුගේ හඬට අනෙක් මුරභටයොත් දුවගෙන ආවා.
‘‘ඉක්මනට ඔය දුන්නෙන් ඌට විඳින්න. ඒක නැති වුණොත් අපේ හිස තමයි නැති වෙන්නේ ඉක්මන් කරන්න’’ මුරභටයෙක් කෑගැහුවා.
ඒත් ඒ වෙනකොට කපුටිය ඊතලේ දුරින් ඉවත් වෙලා. එයා හිවල් හාමි කිවුව විදිහට මුරභටයන්ට පේන්න හෙමින් හෙමින් ඉඟිලිලා ඇවිත් නුග ගසේ අත්තක වැහුවා.
මේ අතරේ මුරභටයෝ කපුටිය පස්සෙන් එලවා ගෙන ආවා.
ඉතිං, කපුටිය මුරභටයෝ ළඟට එනවත් එක්කම රන් මාලය තුඹසේ කට ඇතුළට දාලා පියඹලා ගිහින් එතැන හොඳට පේන අත්තක වැසුවා.
‘‘අන්න… අන්න කපුටා ඒක අර තුඹහට දැම්මා. ඉක්මනට යන්න, ගිහින් ඒක අරගන්න ’’ නායක මුරභටයා නියෝග කළා.
මුරභටයෝ හතිදාගෙන තුඹස ළඟට දුවගෙන ආවා.
‘‘කෝ, ඒක පේන්න නැහැනේ. මං හිතන්නේ ඇතුළට වැටෙන්න ඇති. අනේ දෙයියනේ රමේ රන් මාලෙට මොනා හරි වුණොත් අපේ හිස ගසා දමයි. ඒ නිසා කරන දෙයක් ඉක්මනට කරන්න ’’ නායක මුරභටයා කිවුවා.
ඊට පස්සේ මුරභටයින් තමන්ගේ අතේ තිබුණ විශාල හෙල්ල සහ කඩු වලින් තුඹට බිඳින්න පටන් ගත්තා. ඒත් එක්කම රන් මාලය තුඹස ඇතුළටම වැටුණා.
මේ අතරේ තුඹසේ හිටිය නාගයා මේ කලබලේ මැද්දේ ඇතුලේ තිබුණ ගුලක් දිගේ ගිහින් ඈතින් මතු වුණා. සිද්ධ වෙමින් තිබෙන දේ දැක්කාම එයා පුදුමයටත් දුකටත් පත් වුණා.
‘‘පෙර පිනකට තමයි මගේ ජීවිතේ බේරුණේ. කලබලේට එළියට ආවානම් මගේ කෑලිත් නැහැ. මදැයි ඔයින් ගියා. දැන් ඉතිං මට ඉන්න වෙන තැනක් හොයා ගන්න වෙනවා. මේ අහල පහළ නම් තුඹසක් තියෙනවා දැක්කේ නැහැ. එයා කැලේටවත් යන්න වෙනවා’’
නාගයා බොහොම දුකින් කැලයට ඇදුණා. ටික වේලාවකින් මුළු තුඹසම බිමට සමතලා කළ මුරභටයින්ට රන් මාලය සොයා ගන්න පුළුවන් වුණා.
‘‘දෙවියනේ මෙහෙම හරි මේක ලැබුණ එක මදෑ. නැතිනම් අපි හැමෝගේම හිස කදින් වෙන් වෙන එක සිකුරුයි ’’ රන් මාලය අතට ගන්න ගමන් මුරභටයෙක් කිවුවා.
කපුටයි කපුටියි මේ සියල්ල ඈත ඉඳන් බලා සිිටියා.
‘‘කෝ නාගයා, එයාට මොකද වුණේ. මං හිතුවේ මුරභටයින්ට පෙනේ කරන්න ගිහින් එයාටත් තුඹස වාගේ ම පොළවට සමතලා වෙන්න වෙයි කියලා’’ කපුටිය සතුටින් කිවුවා.
‘‘ඇයි ඔයා දැක්කේ නැද්ද ? නාගයා අර අතන ගල්ගොඩ ගාව ගුලෙන් මතුවෙලා කැලේ පැත්තට දිවුවේ. මං හිතන්නේ නැහැ එයා ආයේ කවදාවත් මේ පැත්ත පළාතේ එයි කියලා ’’ එහෙම කිවුව කපුටා වඩාත් හොඳින් වටපිට බැලූවා.
එතකොට කපුටු හාමි හෙමෙන් හෙමින් නුග ගස දිහාට එන හිවල් හාමිව දැක්කා.
‘‘ආයුබෝවන් හිවල් හාමි. අනේ අපිට කළ උපකාරෙට අපි කොහොම ස්තූති කරන්නද කියලා හිතා ගන්නත් බැහැ. අනේ ඔබතුමාට ජාති ජාතිත් පින් සිද්ධ වෙනවා මේ කළ උපකාරෙට ’’ කපුටු යුවළ හිවල් හාමිට ආචාර කරමින් කිවුවා.
‘‘ඒක මොකක්ද කපුටු හාමිනේ. අපේ මීමුත්තා අතින් සිද්ධ වුණ දේ හැටියට ඕක මොකක්ද ? ඒක නෙමෙයි ඔන්න ඔයාලා මාළිඟාව පැත්ත පළාතේ එහෙම යනවා නෙමෙයි. මේ වැඬේ හින්දා මුරභටයෝ ඔයාලා එක්ක නයි වෛරයෙන් ඉන්නවා ඇත්තේ ’’ හිවල් හාමි අවවාදකුත් දුන්නා.
ඉතිං, ඔන්න ඔහොම තමයි හිවල් හාමි තමන්ගේ නුවණ යොදවලා කපුටු යුවළ බේර ගත්තේ. ■

කතාව – තුෂාල් විතානගේ

Recommended For You

About the Author: Editor