රජයේ පාසලට වඩා උපකාරක පන්ති ආරක්ෂිත වුණේ කෙසේදැයි යුද්ධ හමුදාපති විමතිය පළ කරයි

‘‘ උපකාරක පන්තිවල පාසල්වල තරම්වත් ආරක්ෂාවක් නැහැ. නමුත් දෙමාපියන් මුදල් ගෙවන නිසාදෝ අනාරක්ෂිත තැන්වලට යවනවා. එක පන්තියේ, එක හෝල් එක ඇතුලේ 1000-2000ක් ඉන්නවා. නමුත් ඉස්කෝලේක 1000ක් 2000ක් ඉන්නේ අක්කර ගණනක් ඇතුලේ. ඒක තමයි සත්‍ය. එහෙනම් මේ රටේ යම්කිසි තැනක ලොකු බොරුවක් සිදු වෙනවා’’ යුද්ධ හමුදාපති

යුද්ධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ මෙරට සහ ඉන්දියාවේ රූපවාහිනි නාලිකා කිහිපයක් සමග සම්මුඛ සාකච්ඡවකට එක් වුණා. එහිදී අදාළ නාලිකා විසින් 13 වැනිදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධව හා රජයේ පාසල්වලට සිසුන් නොපැමිණීම ගැන කළ විමසීමට හමුදාපතිවරයා දුන් පිළිතුරු (සම්පූර්ණයෙන්ම) පහත පළ වේ.

මෙහිදී දරුවන් පාසල් නොපැමිණීම ගැන අදාළ නාලිකාවල මාධ්‍යකරුවන් යොමු කළ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාපතිවරයා මෙසේ සඳහන් කළේය.

‘‘ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයා විදිහට මම බලන වවිට අද ලංකාවේ සෑම උපකාරක පංතියක්ම සියයට සියයක් සියයට 95ක් පිරිලා ඉන්නේ. අද විතරක් නෙමෙයි පසුගිය සතිය පුරාම ඒක වුණා. දවස් 20 තුළත් ඒක වුණා. නමුත් අවාසනාවට වාගේ ඔවුන් රජයේ පාසල්වලට යන්නේ නෑ. එතන බෙදීමක් සිදු වුණා. බෞද්ධ පාසල්, කතෝලික පාසල්, ඉස්ලාම් පාසල් වාගේ අනවශ්‍ය බෙදීමක් අපි ඇතිකර ගත්තා. උපකාරක පන්තිවල පාසල්වල තරම්වත් ආරක්ෂාවක් නැහැ. නමුත් දෙමාපියන් මුදල් ගෙවන නිසාදෝ අනාරක්ෂිත තැන්වලට යවනවා. එක පන්තියේ, එක හෝල් එක ඇතුලේ 1000-2000ක් ඉන්නවා. නමුත් ඉස්කෝලේක 1000ක් 2000ක් ඉන්නේ අක්කර ගණනක් ඇතුලේ. ඒක තමයි සත්‍ය. එහෙනම් මේ රටේ යම්කිසි තැනක ලොකු බොරුවක් සිදු වෙනවා’’ යැයි යුද්ධ හමුදාපතිවරයා කීවේය.

මේ අවස්ථාවේ මේ සඳහා ගත යුතු පිළියම කුමක්දැයි අදාළ නාලිකාව ප‍්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් යුද්ධ හමුදාපතිවරයා,

‘‘පිළියම තමයි ජාතියක් හැටියට කෙළින් හිට ගන්න එක. අනෙක් අයට තමුන්ව අන්ඳන්න ඉඩ දෙන්න එපා. එළියට එන්න. පාසල් යන්න. අපි අවුරුදු 30ක් ඉස්කෝලේ ගියා. එහෙම ගියේ නැතිනම් අද ගොඩක් දරුවෝ කුඹුරුවල වැඩ. වෛද්‍යවරු, ඉන්ජිනේරුවෝ හැදෙන්න බැහැ මේ රටේ. ඇයි හැමෝම ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඒ කාලෙත් ඉස්කෝල තිබ්බා මේ රටේ.

අවාසනාවට හෝ වාසනාවට මේ සිදුවීම වුණේ පාසල් නිවාඩු කාලේ. ඉස්කෝලේ යන කාලෙක වුණා නම් ඊළඟ සතියේ ළමයි ඉස්කෝලේ යයි. ඉස්කෝල පටන් ගන්න එකයි එතන ප‍්‍රශ්නේ තිබ්බේ. ඉස්කෝල පවත්වා ගෙන යන එක නෙමෙයි. උපකාරක පන්ති ඒ කාලේ තිබ්බ නිසා පන්ති දිගටම කරගෙන යන බවයි මම දැක්කේ’’

මෙහිදී අදාළ මාධ්‍යකරු විමසා සිටියේ ආරක්ෂාව ගැන යුද්ධ හමුදාපති වශයෙන් ඔබතුමාට සහතිකයක් ලබාදිය හැකිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ,
ඒක කරන්න, ශක්තිමත් වෙන්න, එළියට එන්න. අපි ජාතියක් විදිහට කවදාවත් මෙහෙම පසුබෑමට ලක්වෙලා හිටියේ නැහැනේ. මෙච්චර සටන් තියෙද්දිත්. සී.ටී. ඕ එකට, ගුවන් තොටුපොළට ගහන කොට අපි වැඩට ගියා. අපි වර්ෂ ගණනක් ජීවත් වෙලා තියෙන්නේ එහෙමයි. මට පුදුම මේ කඩුවක් දැක්කට පස්සෙ මේ රටේ ජනතාව මේ තරම් පසුබෑමට ලක් වුණේ කොහොමද ? ඊට වඩා මුවහත් කඩු අපි ළඟ තියෙනවා.

යුද්ධ හමුදාපති විදිහට මම කියන්නේ අපි ඔබට ආරක්ෂාව දෙනවා. අපි රට රකින ජාතිය. ඔබ හමුදාව, පොලිසිය ගැන විශ්වාස තියා ගන්න. ජාති, ආගම් බේද අමතක කරලා එකට එකතු වෙන්න’’

2019 මැයි 11 වැනිදා හිරු ටී.වී.නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡුාවෙන් උපුටා ගන්නා ලදි.

Recommended For You

About the Author: Editor