
නාන්නට ආ ගැහැනු ගල් වූ හැටි

රයිගම් කෝරළයේ එකමත් එක ගමක තිබුණු පන්සලක ‘ගොඩගෙදර හාමුදුරුවෝ’ කියලා භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටියා. මේ පන්සල් වත්ත පහළ නාන ළිඳක් තියෙනවා. මේ ළිඳට තමයි ගමේ ගැහැනු සේරම දෙනා නාන්න එන්නේ. එත් හාමුදුරුවෝ මේ වැඬේට කොහොමටවත් කැමැති නැහැ.
දවසක් මේ කාන්තාවන් නාන්න එන වේලාව හාමුදුරුවෝ බලාගෙන හිටියා. ඉතිං කාන්තාවොත් සුපුරුදු විදිහට හිනා වෙමින්, කතා කරමින් නාන්න ආවා. මේ අය දිහා හාමුදුරුවෝ බොහොම තරහින් බලාගෙන හිටියා.
‘සිරිමල් ළමයෝ මෙහාට ආවානම්’ හාමුදුරුවෝ පන්සලේ ඇබිත්ත ළමයාට කතා කළා.
හාමුදුරුවන්ගේ හඬ ඇසුණ ගමන් සිරිමල් දුවගෙන ආවා.
‘අපේ හාමුදුරුවෝ මට කතා කළාද ?’
‘ඔව් සිරිමල්, සිරිමල් දැන් පොඩි වැඩක් කරන්න ඕනෑ. ඉක්මනට ගිහින් මේන් මේ කෝටුව නාන ළිඳ ළඟ හිටවලා වරෙන් ’
සිරිමල් හාමුදුරුවෝ කිවුව විදිහටම නාන ළිඳ ළඟ අර කොටුව හිටවලා ආවා.
ඔන්න ඉතිං ටික වේලාවක් ගත වුණා. කැකිරි පළමින්, උකුළු මුකුළු කරමින් නාමින් සිටි ගැහැනුන්ගේ හඬ එක පාරටම නැති වුණා. ඔවුන් සිටි තැන්වල එක එක විදිහට හිටියා. කිසිම හැලහොල්මනක් තිබුණේ නැහැ. හරියට ගල් වෙලා වාගේ.
මෙහෙම වේලාව ගත වුණා. නාන්න ගිය ගැහැනු මේ තරම් පමා මොකද කියලා ගෙවල් වල අය කතා වුණා. කවදාවත් ඒ අය මේ තරම් ප්‍රමාද වෙලා නැහැ. ඔවුන් හොඳටම බය වුණා.
‘ඇයි අම්මා මේ තරම් පරක්කු’
‘ඇයි නංගි මේ තරම් පරක්කු වෙන්නේ’
‘හාමිනේ නාන්න ගිය දුව ආවද ?’
මේ වගේ කතා ගෙවල්වල ඇති වුණා.
‘මම උඩහා ගෙදර නැන්ද ආවද කියලා බලන්නම්’
‘මම පල්ලේහා ගෙදර නංගි ආවද කියලා බලන්නම්’
නාන්න ගිය ගැහැනුන්ගේ ගෙවල්වලින් ඇහුවම හැමෝම කිවුවේ ‘නැහැ නාන්න ගියා, තාම ආවේ නැහැ. අපිත් බැලූවෝ මොකද පරක්කු කියලා’ හැමෝම කිවුවා.
ඊට පස්සේ ඒ අයට තේරුණා මොකක් හරි වෙලා කියලා. ඔවුන් සියලූ දෙනාම පන්සල් වත්තේ නාන ළිඳ දිහාට දිවුවා.
නාන ළිඳ ළඟට ගිය අයට මහ පුදුමයක් දැක ගන්න ලැබුණා. ගැහැනු සේරම ළිඟ ළඟ ඉන්නවා. ඒක එක විදිහට ඉන්නවා. ඒත් කිසිම කතාවක්, හැලහොල්මනක් නැහැ. හරියට ගල් රූප වාගේ.
‘දෙයියනේ මේ අයට මොකද වෙලා තියෙන්නේ. හරියට ගල් රූප වාගේ ’ගමේ ගැහැනු, ළමයි විලාප වෙන්න පටන් ගත්තා.
මේ අතර හිටිය වැඩිහිටියන්ට සිද්ධ වෙලා තියෙන දේ පැහැදිලි වුණා.
‘බොලව්, මෙතැන විලාප දීලා හරියන්නේ නැහැ. උඹලට තේරෙන්නේ නැද්ද මොකද වෙලා තියෙන්නේ කියලා. ඉක්මනට වරෙන්ලා පන්සලට යන්න. ගිහින් ලොකු හාමුදුරුවෝ හමුවෙලා සමාව ගනිල්ලා. නැතිනම් උඹලට මෙන්නේ මේ ගල් රූප අරන් යන්න තමයි’
වැඩිහිටියෙක් කිවුවා.
ඊට පස්සේ කට්ටයම පන්සලට දිවුවා. ගොඩගෙදර හාමුදුරුවෝ කිසිම දෙයක් දන්නේ නැහැ වාගේ පොතක් බලමින් හිටියා.
හාමුදුරුවන්ගේ හැටි දන්න නිසා කිසිම කෙනෙක් කතා කළේ නැහැ. බයෙන් බයෙන් ටික වේලාවක් බලාගෙන හිටියා. ඒත් තවත් ඉවසන්න බැරි තැන වැඩිහිටියෙක් උඟුර පෑදුවා. ඒ හඬ ඇසුණ හාමුදුරුවෝ හිස ඔසවලා බැලූවාත
‘ආ මොකද මේ මුළු ගමම පන්සලට ඇවිල්ලා. ආ, ඒ විතරක් නෙමෙයි හැමෝම බයවෙලා වාගේ. ඇයි මොකද වෙලා තියෙන්නේ. ගමට මොකක් හරි විපත්තියක් වෙලාද ?’
හාමුදුරුවෝ සුපුරුදු සිනාවෙන් ම විමසුවා.
‘එහෙමයි අපේ හාමුදුරුවන්නේ, නාන්න ගිය ගැනූ සේරම ගල්වෙලා. අනේ අපට සමා වෙන්න හමුදුරුවන්නේ. මීට පස්සේ කවදාවත් මේ ගැනූන් පන්සලේ ළිඳට එවන්නේ නැහැ’ වැඩිහිටියෙක් කිවුවා.
හාමුදුරුවෝ ගමේ පිරිස දිහා බලන් හිටියා.
‘සිරිමල් ඉක්මනට ගිහින් මං දුන්න අර කෝටුව අරං වරෙන් ’ හාමුදුරුවෝ සිරිමල්ට කිවුවා.
‘එහෙයි අපේ හාමුදුරුවන්නේ’
සිරිමල් කොටුව ගලවනවාත් එක්කම ගල්වෙලා හිටපු ගැහැනුන්ට සිහිය ආවා.
ඊට පස්සේ එතැනට ආපු ගමේ අය සිදු වෙලා තිබුණ දේ ඔවුන්ට පැහැදිලි කළා. මේ ගැහැනුන්ට තමන් කළ වරද තේරුණා. ඊට පස්සේ පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් සමාව අර ගත්තා.
ඔවුන් ඊට පස්සේ කවදාවත් පන්සල් වත්තේ ළිඳෙන් නාන්න හිතුවෙවත් නැහැ. ඒත් රයිගම අපට නම් හැමදාම කියන්න පුළුවන් ලස්සන කතාවක් ලැබුණා.
කතාව
විහංගා නෙත්මි ජයවර්ධන
රාජකීය විද්‍යාලය, හොරණ