පරිසර හිතකාමී අපේ කෙම් ක‍්‍රම

‘කුඹුරු ගොවිතැන’ අපේ ඉතිහාසය පුරාම අඛණ්ඩව සිදුවූ ක‍්‍රියාවලියක්. ජාති ආගම් භේදයෙන් තොරන සමස්ත ශ‍්‍රී ලාංකිකයින් සැලකෙන්නේ ‘බත් කන ජාතියක්’ විදිහට. ඒ නිසා අපට බත ලබාදෙන කුඹුර, වී ගස, කමත වගේම ඒ හා සම්බන්ධ සියලූ දේ ගැන පුදුමාකාර ගරුත්වයක් හා භක්තියක් තිබෙනවා.

ගොවියා කුඹුර සලකන්නේ දේවත්වයෙන්. ඒ නිසා කුඹුර අපවිත‍්‍ර කිරීමට ඔහු කිසිදු අවස්ථාවක ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම තමයි ‘වී’ කියන්නේ ‘බුද්ධ භෝගය’ක්. එය අති පවිත‍්‍ර දෙයක් වශයෙනුයි ගොවියා සැලකුවේ.
මේ නිසා ගොවියා තමන්ගේ කුඹුර වගා කිරීමේදී බොහෝ දේවල් ගැන සැලකිලිමත් වුණා. ඒ අතර ඔහු බලාපොරොත්තු වූ ප‍්‍රධාන දෙයක් වුණේ කුඹුරේ දේවත්වයත් රැුකගෙන හොඳ සරුසාර අස්වැන්නක් ලබා ගැනීම. මෙය ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. හැමදේම නියමාකාරව සිදුවිය යුතුයි. සම්ප‍්‍රදායට, සංස්කෘතියට අනුව සිදුවිය යුතුයි.

‘ලංකාව පෙරදිග ධාන්‍යාගාරය’ යනුවෙන් අභිසෙස් ලැබුවේ මීට සියවස් ගණනාවකට ඉස්සර මහා පැරකුම්බාවන්ගේ කාලේ. ඒ කියන්නේ අදින් අවුරුදු 900 කට විතර ඉස්සර.

අපිට පිට රටවල්වලට පවා සහල් අපනයනය කරන්න ලැබුණේ මහ පැරකුම්බාවන් ඇතුළු හෙළ රජදරුවන් ඉදිකළ මහා වැව් අමුණු නිසා. අපේ මුතුන් මිත්තන් වෙහෙස නොබලා වගා කළ නිසා.

ඉතිං ඒ කාලේ මෙච්චර හොඳට ගොවිතැන් බත් කළේ කොහොමද ? අද කාලේ වාගේ ට‍්‍රැක්ටර්, සුනාමි, යූරියා, තිබුණද ? ගොයම් මැස්සා, පුරුක් පණුවා, කීඩෑවා ඒ කාලේ ඉන්න ඇති. ඒත් අපේ මුතුන් මිත්තෝ මේ සියලූ අභියෝග මැද්දේ පිටරටවල් වලටත් යවන්න තරම් සහල් අස්වැන්නක් ලබා ගත්තා. ඒ කොහොමද ? එදා අපේ සියලූම ගොවිතැන් බැඳිලා තිබුණේ ස්වභාව ධර්මයත් එක්ක. වගාවයි – ස්වභාව ධර්මයයි අතර ඉතා හොඳ හිතවත්කමක් තිබුණා. ඒ නිසා භූමිය සරුසාර වුණා. හොඳ අස්වැන්නක් දුන්නා.

කෙම් ක‍්‍රම

එදා අපේ කුඹුරු ආලපාළු කළ ගොයම් මැස්සන්ට, පුරුක් පණුවන්ට අපේ මුතුන් මිත්තෝ අද කාලේ වාගේ වහ ගහලා පවු පුරෝගත්තේ නැහැ. බුද්ධ භෝගේ වැවෙන පින්බිම වසවිස වලින් මරා දැම්මේ නැහැ. ඒ වෙනුවට ආගම දහමටත් එරෙහි නැති අපූරු කෙම්ක‍්‍රම යොදා ගත්තා.

‘‘ගොවියා කුඹුර සලකන්නේ දේවත්වයෙන්. ඒ නිසා කුඹුර අපවිත‍්‍ර කිරීමට ඔහු කිසිදු අවස්ථාවක ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම තමයි ‘වී’ කියන්නේ ‘බුද්ධ භෝගය’ක්. එය අති පවිත‍්‍ර දෙයක් වශයෙනුයි ගොවියා සැලකුවේ.
මේ නිසා ගොවියා තමන්ගේ කුඹුර වගා කිරීමේදී බොහෝ දේවල් ගැන සැලකිලිමත් වුණා. ඒ අතර ඔහු බලාපොරොත්තු වූ ප‍්‍රධාන දෙයක් වුණේ කුඹුරේ දේවත්වයත් රැකගෙන හොඳ සරුසාර අස්වැන්නක් ලබා ගැනීමයි’’

මැසි සහ පණු රෝග සඳහා කෙම්ක‍්‍රම

මැකිසිම් ගෝර්කි කියන රුසියානු මහා ලේඛකයා කියලා තියෙනවා මේ ලෝකය මැවුණේ ‘හිරුගේ රස්මියෙන් සහ මවගේ කිරිවලින් ’කියල. අපේ මුතුන් මිත්තෝ මේ කතාව ඉහටත් ඉහළින් පිළිගත්තා කියලා අපි දන්නවා.
පොළොවේ පුංචි උඳුපියළිය කොළේ ඉඳන් මහ නුග ගහ දක්වා සියලූම ගහකොළ වැවුණේ හිරු දෙවියන්ගේ අනුහස් මහිමයෙන් බව අපේ ඇත්තෝ දැනගෙන හිටියා. ඒ නිසා තමන් දුක් මහන්සියෙන් බිම් කොටලා වගා කළ වී පඳුරට පණුවෝ ඇවිත්, මැස්සෝ ඇවිත් වින කටින කොට අපේ මුතුන් මිත්තෝ කළේ මේ හැමදේටම වගකියන ඉර දෙවියන්ට කියන එක.
‘ඉර දෙවියන්ට කිරි ඉතිරිවීම ’ මගින් කුඹුරට වින කටින මැස්සන්ට, පණුවන්ට දඬුවම් දෙන්න පුළුවන්. කොටින්ම, ඉර දෙවියන්ට කිරි ඉතිරීම කළොත් මැසි සහ පණු රෝග නැතිභංගස්ථාන වෙලා යනවා.

අපේ ඇත්තෝ ඒක කළේ මෙහෙයි. ගොවිරාළ මුුළුන්ම ඉස සෝදා ස්නානය (දිය නෑව) කරනවා. ඊට පස්සේ සුදු පිරුවට ඇඳ ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපේ ගමරාළ වී ටිකකුයි, නැවුම් මුට්ටියකුයි කෙම සඳහා වුවමනා කරන තවත් අලූත් අඩුමකුඩුම
ටිකකුයි ඇන්න කුඹුරට යනවා. ඊට පස්සේ කුඹුරේදීම වී ටික කොටලා සහල් කර ගන්නවා. ඒ සහල් වලින් ම කිරිබත් පිසිනවා. ඒවා කුඹුර පුරාම විසුරුවා දාලා ගෙදර එනවා.

මේ වැඬේ බොහෝම සර්දාවෙන්, භක්තියෙන් කරන්න ඕනෑ. එක වචනයක් පිට කරන එක තහංචි. බොහෝම නිස්සද්ව, ගොළුවෙක් වාගේ තමයි මේ කාරිය කරන්න ඕනෑ.

මේ කෙම හරියට කළොත් කුඹුරට වින කටින ගොයම් මැස්සොයි පණුවොයි නැතිභංගස්ථාන වෙන එක කිරි ගහට ඇන්නා වාගේ තමයි. ආයේ දෙකක් නැහැ.

අද කාලේ වුණත් මේ වැඩ කරන්න බැරිකමක් නැහැ. මූණ කට වහගෙන මැහිතෙල් ගහලා කුඹුරත් මරාගෙන තමනුත් මැරෙනවාට වඩා මේ වැඩ පන්කාදුයි.

පණු රෝග සඳහා දොඩං කෙම

අද කාලේ වගේ නොමෙයි ඒ කාලේ අපේ ගම් පළාත්වල පැඟිරි භෝග වකාරෙට තිබුණා. දොඩං ගහක් දෙකක් නැති ගෙයක් ගමක තිබුණේ නැහැ.

කුඹුරේ ගොයම වනසන පණුවන්ට මේ දොඩං වලින් පංකාදු කෙමක් කරන්න අපේ මුතුන් මිත්තෝ දැනගෙන හිටියා. ඒක කරන්නේ මෙන්න මෙහෙයි.

ඉස් සෝදා ජලස්නානය කළ ගොවිරාළ කතා නොකරම තනියෙන්ම ‘දොඩං කෙම’ට අවශ්‍ය කළමනා ඇන්න කුඹුරට යනවා. ඊට පස්සේ හැම බාගයෙන්ම පණුවෙකු ගානේ එකතු කරන් ‘බාගෙට’ දොඩං ගෙඩි බාගයක් හිටින විදිහට අවශ්‍ය තරම් දොඩං ගෙඩි දෙබෑ කරලා එක් බෑයකට එක පණුවා ගානේ දානවා.

ඊට පස්සේ ආයෙත් ඒ දෙබෑ කළ දොඩං ගෙඩි ගෙඩියක් වාගේ තද කරලා හදා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ගොවිරාළ සුදු පිරුවට බැඳ මැස්සක් තනා ගන්නවා. ඒක උඩ පහන් පත්තු කරනවා. දොඩං ගෙඩිවලට දුම් අල්ලනවා. ඊට පස්සේ ඒ ඒ පණුවා ගත්ත බාගයට නියමිත දොඩං බෑය ගානේ ඇන්න ගිහින් ඒ හැම දොඩං බෑයක්ම මතුරමින් වළ දාලා කතා නොකරම කුඹුරෙන් පිටවෙලා ගෙදර යනවා.

මණ්ඬේ මැතිරීම

‘මණ්ඬේ මැතිරීම’ කියලා කියන්නෙත් අපේ මුතුන් මිත්තෝ ගොයම් මැස්සන්ගෙන් කුඹුර රැක ගන්න කළ බොහොම බලවත් කෙම් ක‍්‍රමයක්. මේක සිද්ධ කොරන්නේ මෙන්න මෙහෙමයි.

ගොවිරාළ ඉස් සෝදා ජලස්නානය කරනවා. ඊට පස්සේ කතා නොකරම තනිපංගලමේ කුඹුරට යනවා. ඒ යන්නේ හවස් කාලේ. ඊට පස්සේ ගොවිරාළ මොකද කරන්නේ, සුදු පිරුවට බැඳලා පුංචි මැස්සක් අටවනවා. ඒකේ එක් කොනක පානක් පත්තු කරනවා. ඒ පහන ළඟින්ම ලෝකඩ තැටියක් තියලා ඒක උඩින් රත් හඳුන් කුඩු ඉහිනවා. ඊට පස්සේ කපුරු දුම් අල්ලලා 108 වරක් මතුරලා ඒක මැස්සේ තැන්පත් කරලා කුඹුරෙන් පිටවෙලා යනවා.

ඔන්න ඉතිං ඊට පස්සේ දා හිමිදිරි පාන්දරම ගොවිරාළ කුඹුරට එනවා. ඒ එන්නේ ලෝකඩ තැටියකුත් අරගෙනයි. ගොවිරාළ මේ ලෝකඩ තැටිය එක අතක ඇඟිලි තුඩුවලින් බොහෝම ප‍්‍රවේශමෙන් ඔසවා එල්ලා ගෙන කදුරු කෝටුවකින් එයට තට්ටු කරන ගමන් බොහොම පහත් හඬින් මන්ත‍්‍රයක් කියනවා. ඒ අතරේ ‘යං යන්ට… යං යන්ට’ කියලා බොහොම හයියෙන් කියන ගමන් අර කදුරු කෝටුවෙන් ලෝකඩ තැටියට තට්ටු කරමින් හිමින් සීරුවේ කුඹුර වටේ යනවා.

ඊට පස්සේ ගොවිරාළ ආයෙත් මැස්ස ළඟට එනවා. ඇවිත් ලෝකඩ තැටියයි කඳුරු කෝටුවයි මැස්සේ තැන්පත් කරනවා. ඊට පස්සේ කුඹුරෙන් පිටවෙලා ගෙදර යනවා. එදායින් පස්සේ හත් දොහක් යනකං ගොවිරාළ අර ලෝකඩ තැටිය හරි කදුරු හරි කෝටුව අල්ලන්නේ නැහැ.

මැස්සන්ට මී තෙල් කෙම

‘මී ගහ’ කියන්නේ වී ගොවිතැන එක්ක බොහොම තදින් බැඳුණු එකක්. මී ගහේ ඇට වලින් හිඳ ගන්න මී තෙල් කියන්නේ අපේ මුතුන් මිත්තන්ට දිව්‍ය ඖෂධයක් වාගේ දෙයක්.

කුඹුරට වින කටින මැස්සන්ට කරන තවත් කෙම් ක‍්‍රමයක් විදිහට ‘මී තෙල් කෙම’ හඳුන්වන්න පුළුවන්. මේක කරන්නේ මෙන්න මෙහෙමයි.
ඉස සෝදා ජලස්නානය කළ ගොවිරාළ කථා නොකරම සෝදා පිරිසිදු කරගත් පරණ සිවුරු රෙදි කැබැල්ලක් ඇන්න කුඹුරට යනවා. එහෙම ගිහින් එක එක භාගයට එක ගානේ පහන් තිර අඹරලා ඒවා මී තෙල්වල පොඟවලා 108 වතාවක් ඒවාට මතුරනවා.

ඊට පස්සේ එක තිරයකට එක ගානේ තියෙන විදිහට එක් එක් භාගයේ කදුරු කෝටුව ගානේ හිටවලා ඒ ඒ කදුරු කෝටුව උඩ මී තෙල් පොඟවපු පහන් තිර පත්තු කරනවා. මේක කරන්නේ බිම් කළුවර වැටෙන කොටයි. මේ වැඩ ටික කම්මුතු කළ ගොවිරාළ කුඹුරෙන් පිටවෙලා බොහොම නිහඬව ගෙදරට යනවා.

මෙන්න මෙහෙම පරිසරයට, සතා සිවුපාවට බොහොම ආදරෙන් භක්තියෙන් තමයි එදා අපේ මුතුන් මිත්තෝ ගොවිතැන් බත් කරලා පිට රට්ටුන්ට අත නොපා බොහොම අපූරුවට ජීවත් වුණේ. අද කාලේ වුණත් මේ කෙම්ක‍්‍රම වලින් ඵල ප‍්‍රයෝජන ගන්න බැරිකමක් නැහැ. වුවමනා කරන්නේ අවංක උත්සාහයක් විතරයි. එහෙම කළොත් ගොවිතැන පාඩුයි.. පාඩුයි කියලා අඩෝවැඩිය තියන්න වුවමනා නැහැ.

සැකසුම
තුෂාර වල්ගම

Recommended For You

About the Author: Editor