සමාජ මාධ්‍ය මගින් අසත්‍ය පතුරවන්නන් ගැන සොයන්න විශේෂ ඒකකයක් ස්ථාපිත කළා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

අද දින ආරක්ෂක තත්ත්ව සමාලෝචනය

සමාජ මාධ්‍ය ඔස්සේ ජාතීන් අතර අසමගිය, වෛරය ඇතිවන, මහජනතාව භීතියට පත්වන අසත්‍ය ප්‍රචාර පතුරුවන තැනැත්තන් පිළිබඳව පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කළ සම්පූර්ණ ප‍්‍රකාශය පහත සඳහන් වේ.

කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ වෙළඳ සැල් 03 කට පහර දීමේ සිද්ධියක් ඊයේ සවස වාර්තා වුනා. එම සිද්ධිය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රි එම ප්‍රදේශයට පොලිස් ඇඳරි නීතිය ක්‍රියාත්මක කළා. අදත් කුලියාපිටිය ආශ්‍රිත ප්‍රදේශයේ වෙළඳ සැල්  කීපයකට ගල් ප්‍රහාර එල්ල කිරීම් වාර්තා වුනා, ඒ අනුව පොලිස් වසම් 04 කට හා ඉන් අනතුරුව පොලිස් වසම් 02 ට ඇතුලුව පොලිස් වසම් 06 කට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. තව දුරටත් එම සිද්ධීන් පැතිරීම නතර කිරීමට හා සමස්ථ සිද්ධිය පාලනය කිරීමට  වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට ම  පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා.

මෙම සිද්ධියත් සමඟ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා. මෙහිදී දේපල හානි කිපයක් වාර්තා වුවත් පුදගලයින්ට කිසිඳු තුවාලවීම් වාර්තා වුයේ නෑ. ජාතීන් අතර ආරවුල් හා නොසන්සුන්කාරී තත්ත්වයන් හරහා සිදු වන්නේ ජාතික ආරක්ෂාවට යෙදවීමට ඉන්නා පොලිස්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් එම තත්ත්වයන් පාලනය කිරීමට ඒ ඒ ප්‍රදේශවල යෙදවීමට සිදු වීමයි.

සමාජ මාධ්‍ය වලින් හා කටකතා මගින් ජාතීන් අතර අසමගිය, වෛරය, භිතිය යන අසත්‍ය ප්‍රචාර සමාජයට හානි වෙනවා. මෙයට හොඳම උදාහරණය වන්නේ ඊයේ හලාවත සිද්ධියයි. එය සමාජ මාධ්‍ය හරහා බහින්බස් වීම දුරදිගයාමක් සිදු වී තියෙනවා. එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  මැයි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තියෙනවා. හලාවත සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර තියෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ජාතීන් අතර අසමගිය, වෛරය ඇතිවන, මහජනතාව භීතියට පත්වන අසත්‍ය ප්‍රචාර පතුරුවන තැනැත්තන් පිළිබඳව පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා. මෙවැනි ප්‍රචාරයන් ඔස්සේ ජාතීන් අතර වෛරය අසමගිය භීතිය ප්‍රචාරය කරන්නන් අවශ්‍ය ඒකකවලට යොමු කිරීම හෝ විමර්ශන ආරම්භ කිරීමට හෝ ඉදිරි කටයතු සිදු කිරීමට මේ විශේෂ ඒකකය මගින් සිදු කරනවා.

මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කිරීම, සමාජ මාධ්‍ය වලට මුදා හැරීම, හා තවත් අය වෙත යැවීම වරදක්වනවා. එය හදිසි අවස්ථා රෙගුලාසිය යටතේ  වසර 03 සිට වසර 07 දක්වා සිර දඩුවම් ලබා දෙනවා. ඊට අමතරව සිවිල් හා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ එවැනි ක්‍රියා තහනම් කර තියෙනවා. එහි දී වසර 10 දක්වා සිර දඩුවම් ද ලබා දෙනවා.  

අද දිනය පිළිබඳව ද විශාල භීතියක් මහජනතාව තුළ ඇති කර තිබුණා. පසුගිය දිනවල දිගින් දිගටම අප විශේෂ ආරකෂාව සලසා ඇති බව ප්‍රකාශ කළා. එහිදි මහජනතාවගෙන් ඉල්ලීමක් කලා ජනතාවගේ එදිනෙදා කටයතු සුපුරුදු පරිදි කර ගන්නන කියා. තව දුරටත් එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා යන ඉල්ලලීම අප නැවතත් ඉල්ලනවා.

බලපත්‍ර නොමැති නිති විරෝධී පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගන්නා තැනැත්තන් ඒවා පොලීසිය වෙත භාර දීමට දින 03ක කාලයක් ලබා දුන්නා. එම කාල සීමාව හෙට (14) පෙ.ව. 6.00න් අවසන් වේ. 

Recommended For You

About the Author: Editor