හෙළ ගමකතා 01: අමල් බිසෝ

කතාව – තුෂාල් විතානගේ: විත‍්‍ර – හංසනී පූර්ණිමා දසනායක

ඔන්න එකෝමත් එක කාලෙක එක ගමක එක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි, පුංචි දුවෙකුයි ජීවත් වුණා. මේ දුවගේ නම ‘‘ අමල් බිසෝ ’’ ඒ නම තමයි ඒ කාලේ රටේ තිබුණ ලස්සන ම නම. ඒත් හැම අම්මා කෙනෙක් වාගේ ම අමල් බිසෝගේ අම්මත් කැමැතියි තමන්ගේ දුවට පුංචි ලස්සන නමකුත් තියෙනවට. ඒ නිසා අම්මා නම් දුවට ආදරේට කිව්වේ ‘‘බිසෝ ’’ කියලා. ඒ නිසා එයාගේ යාළුවෝ, නෑදෑයෝ මේ හැම දෙනාම අමල් බිසෝට ‘‘ බිසෝ’’ කියලා කිව්වා.

බිසෝලා ජීවත් වුණේ මහ විශාල කැලයක් අයිනේ තිබෙන පුංචි ගෙදරක. ඒ ගේ කිට්ටුව කිසිම ගෙයක් තිබුණේ නැහැ. ඒ නිසා බිසෝට සෙල්ලම් කරන්න හිටියේ ‘‘පෙත්තප්පු ’’ කියන ගිරවයි ‘‘ කිටී ’’ කියන පූස් පැටියයි ‘‘බිංදු ’’ කියන බලූ පැටියයි විතරයි. මේ යාළුවෝ තුන් දෙනා බිසෝට හරිම ආදරෙයි. ඒ වගේම තමයි අම්මයි තාත්තයි හේනට ගියාම බිසෝව ආරක්ෂා කළේත් මේ යාළුවෝ තුන්දෙනා තමයි.
ඒ කාලේ ගම්වල ජීවත් වුණ හැමෝම වාගේ ගොවිතැන් කළා. ඒ නිසා බිසෝගේ තාත්තත් ගොවියෙක්. බිසෝගේ තාත්තා ගොවිතැන් කළ හේන තිිබුණේ මහ කැලේ මැද්දේ. ඒ කැලේ නපුරු යක්කු ඉන්නවා කියලත් කතාවක් තිබුණා. ඒත් බිසෝගේ අම්මයි තාත්තයි මේ යක්කුන්ට පොඞ්ඩක්වත් බය වුණේ නැහැ.
බිසෝගේ අම්මයි තාත්තයි දෙන්නා හැමදාම උදේ පාන්දර කැලේ මැද්දේ තියෙන හේනට යනවා. ඒ ගිහින් ගෙදර එන්නේ හොඳටම හැන්දෑ වෙලා. ඒ වෙන කොට බිසෝ ?ට උයන්න අවශ්‍ය දේවල් සූදානම් කරලා තියනවා. ඒ නිසා අම්මට වැඩිය මහන්සි නොවී කෑම උයන්න පුළුවන් වුණා.
ඔන්න ඉතිං තවත් දවසක් උදා වුණා. කැලේ කන්ද උඩින් ඉර පායාගෙන ආවා. මිදුලේ ඉද්ද ගස්වල සුදුපාට මල් සිය ගාණක් පිපුණා. මී මැස්සන්ගේ ‘ගුමු ගුමුව’, කුරුල්ලන්ගේ ‘කිච් බිචිය ’ හැම පැත්තෙන් ම ඇහුණා. ඒ විතරක් නම් මදෑ, බිසෝලාගේ වත්ත පහළ එක යායට සුදු රෙද්දක් ඇතිරුවා වාගේ බිම්මල් පිපුණා. ? පුරා නිදාගෙන හිටිය කතුරු මුරුංගා ගහ අවදි වෙලා කොළ දිග හැරියා. උඳුපියළිය කොළ උඩට වෙලා හිටිය පිණි බිංඳු මැණික් කැට වාගේ බැබළුනා. මුළු ලෝකෙම බොහොම ආදරෙන්, කැමැත්තෙන් අලූත් දවස පිළිගත්තා.
වෙනදා වාගේම උදේ පාන්දරම අවදි වුණ බිසෝ එයාගේ වැස්සි, ඒ කියන්නේ ‘‘සුද්දිගෙන් ’’කිරි දෙව්වා. ඊට පස්සේ උදේටයි, දවල්ටයි කන්න කෑම සූදානම් කරන්න අම්මට උදව් කළා. ඒ අතරෙදී තාත්තා හරක් ගාල සුද්ද කරලා හරක් ටික වත්ත පහළට දක්ක ගෙන ගියා.

‘‘දුවේ, අද අපි එන්න ටිකක් පරක්කු වෙයි. මේ දවස්වල පායන නිසා පැළවලට වැඩිපුර වතුර දාන්න ඕනෑ. මගේ දුව පරිස්සමින් ඉන්න ඕනෑ හොඳ ද ? අහල පහළට ගියත් ටිකක් පරිස්සමින්. මේ දවස්වල කැලේ වතුර හිඟ නිසා නපුරු සත්තු ගම්වලට එන්න පුළුවන්. ඒ වගේම තමයි අර මහ නපුරු යක්කුන්ගේ පොඩි පුතත් ගෙදර ඇවිත්ලූ. ඒ නිසා මගේ දුව වෙනදාටත් වැඩිය පරිස්සම් වෙන්න ඕනෑ. අඳුරන්නේ නැති කවුරු කතා කළත් දොර අරින්න හෙම එපා’’ හේනට යන්න සූදානම් වුණු අම්මා අමල් බිසෝව තුරුලට අරගෙන බොහොම ආදරෙන් කිව්වා.
අම්මගේ ඒ කතාවට අමල් බිසෝ ටිකක් බය වුණා. ඒත් යාළුවෝ තුන් දෙනා ඉන්න නිසා ඒ බය නැතිව ගියා.
‘‘අම්මා බය වෙන්න එපා. මම යක්කුන්ට බය නැහැ. අනික මගේ යාළුවෝ තුන්දෙනා ඉන්නවනේ. ඒ අය මාව ආරක්ෂා කරයි. පහුගිය දාක අර නපුරු කොටියගෙන් මාව බේර ගත්තෙත් බින්දුනේ. අම්මට ඒක අමතක නැහැ නේද ? ’’ බිසෝ අම්මගේ හිතේ තිබුණ බය නැති කළා.
ඔන්න ඉතිං තවත් ටික වෙලාවකට පස්සේ අම්මයි තාත්තයි හේනට පිටත් වුණා. බිසෝ වෙනදා වාගේම ගේ අතු ගාලා, මිදුල අතුගාලා ඉවර වුණා. ඊට පස්සේ ඇළට ගිහින් නෑවා. ඊට පස්සේ පාඩම් කරන්න පටන් ගත්තා. එයා හැමදාම ඉර මුදුන් වෙනකම් පාඩම් කරනවා. ඊට පස්සේ දවල්ට කෑම කාලා යාළුවෝ එක්ක ටික වෙලාවක් සෙල්ලම් කරනවා.
බිසෝ වෙනදා වගේම පාඩම් කරන කොට එකපාරට ම මතක් වුණා අද අම්මලා එන්න ප‍්‍රමාද වෙන බව. එයා හිතුවා අම්මලා ප‍්‍රමාද වුනොත් ?ට කෑම උයන්න බැරිවෙයි කියලා. ඒ වගේම වතුර ඇදලා හොඳටම මහන්සි වෙලා එන අම්මට ?ට කැම උයන්න ගියොත් කරදර බවත් ඇය හිතුවා.
‘‘ මම අද ?ට කෑම උයනවා. දැංම ම පටන් ගත්තොත් ? වෙන්න ඉස්සර උයලා ඉවර කරන්න පුළුවන් වෙයි ’’ බිසෝ හිතුවා.
බිසෝගේ ඒ කතාව ඇහුව ම යාළුවන්ටත් හරිම සතුටුයි. ඒ මොකද දන්නවාද ? ඒ අයට වේලාසන කෑම කන්න පුළුවන්නේ.
ඔන්න ඉතිං බිසෝ පාඩම් කරලා ඉවර වෙලා කුස්සියට ගියා. ගිහින් ? කෑම උයන්න සූදානම් වුණා. එතකොටයි එයාට මතක් වුණේ උදේ ගිනි ගොඩට දර දාන්න අමතක වුණ බව.

ඒ කාලේ දැං වගේ ගිනි පෙට්ටි කියලා ජාතියක් තිබුණෙ නැහැනේ. ඒ නිසා මිනිස්සු ගින්දර අවුල ගත්තේ බොහෝම මහන්සියෙන්. ගලකින් ගලකට ගහලා හරි, වියළි ලී කෝටු දෙකක් අතුල්ලලා හරි ගින්දර ලබා ගත්තා. ඊට පස්සේ ඒ ගින්දරවලින් ගිනි මැලයක් ගැහුවා. ඒ ගිනි මැලේ නිමෙන්නේ නැතිව තියා ගත්තේ කැලෙන් අහුල ගන්න වියළි දර කොටයක් දෙකක් ගිනි ගොඩට දාලා. ඒවා ඇවිලිලා ඉවර වෙන්න ඉස්සර තවත් දර දාන්නත් කිසිම කෙනෙක් අමතක කළේ නැහැ.
‘‘දෙයියනේ මම ගින්දර හොයා ගන්නේ කොහෙන්ද ? මගේ වරද නිසා ගිනි ගොඩත් නිමුණා. දැං ඉතිං කොහෙන් හරි ගින්දර හොයා ගන්න සිද්ධ වෙනවා, නැත්නම් ?ට කළුවරේ තමයි ඉන්න වෙන්නේ. ?ට විතරක් නෙමෙයි හෙටත් උයන්න විදිහක් නැති වෙයි ’’ තමන්ගේ අමතක වීම ගැන බිසෝ තමන්ට ම දොස් පවර ගත්තා. ඒවගේම හොඳට ම බය වුණා, දුක් වුණා.
‘‘තාත්තා කරනවා වාගේ මටත් ගින්දර අවුලන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද ? ඒත් මේ පුංචි මට ඒ වගේ ලොකු දෙයක් කරන්න බැහැනේ. ඒත් ගින්දර හොයා නොගත්තොත් අපි සේරම දෙනා අමාරුවේ. ඒ නිසා මං කෙහොම හරි, කොහෙන් හරි ගින්දර හොයා ගන්න ඕනැ’’
අසරණ බිසෝ ගින්දර හොයා ගන්න විදිහක් ගැන කල්පනා කළා.
‘‘මෙහෙම කල්පනා කර කර හිටියොත් මට ගින්දර හොයා ගන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි කාගෙන් හරි ගින්දර ඉල්ල ගෙන එනවා. දැං කරන්න තියෙන්නේ ඒක විතරයි’’

ඉතිං ඊට පස්සේ බිසෝ ගින්දර හොයා ගෙන එන්න කියලා තනියම පිටත් වුණා. එයා ඒ ගැන යාළුවන්ට කිව්වෙත් නැහැ.
කඩුල්ල ළඟට ආපු බිසෝ කොහෙටද යන්නේ කියලා කල්පනා කළා. තමන්ගේ ගෙදර ඉඳන් ගමට ඇති දුරත්, හේනට ඇති දුරත් කල්පනා කළ බිසෝ හිතුවා හේනට ගිහින් ගින්දර අරගෙන ඇවිත් කැම සූදානම් කරන්න පුළුවන් කියලා. ඒ නිසා එයා කැලේ මැද්දේ තියෙන තාත්තගේ හේනට ගියා.
බිසෝ පාර දිගේ දිගට ම ගියා. එයා කවදාවත් තනියම මේ තරම් දුරක් ඇවිත් නැහැ. ඒත් හිතට ධෛර්ය අරගෙන ඉදිරියට ම ගියා. එහෙම ටික දුරක් යන කොට පුංචි පුංචි පාරවල් ගොඩක් තියෙන තැනකට ආවා. එතැන හැම පැත්තට ම පාරවල්. ඒ හැම පාරක්ම එක වගේ. තමන්ගේ හේනට යන පාර මොකක්ද කියල හිතා ගන්න බිසෝට නොහැකි වුණා.
‘‘දෙයියනේ, මෙතැන පාරවල් ගොඩක් තියෙනවා. මං දැං මොකද කරන්නේ, මට අපේ හේනට යන පාර මතක නැහැනේ ’’
ටික වෙලාවක් පාරවල් දිහා බලාගෙන කල්පනා කළ බිසෝ දකුණු අත පැත්තේ තිබෙන පාර තෝර ගත්තා. එයා හිතුවේ ඒක තමයි හරි පාර කියලා.
ඔන්න ඉතිං බිසෝ පාර දිගේ ඉදිරියට ම ගියා. ඒ පාර එන්න එන්නම අඳුරු වුණා, පාළු වුණා. හේනක් තියා හේනක් කියන පාටක්වත් පේන්න තිබුණේ නැහැ. බයෙන් බයෙන් වුණත් එහෙම ටික දුරක් යන කොට බිසෝ ටිකක් ඈත පුංචි එළියක් දැක්කා.
‘‘මං හිතුවට වඩා මං වාසනාවන්තයි. අර තියෙන්නේ ගෙයක්. මට ඒ ගෙදරින් ගින්දර ඉල්ල ගන්න පුළුවන් වෙයි. ඉක්මනට ගියොත් ඉක්මනට ගෙදර යන්න පුළුවන් වෙයි’’
බිසෝ පුළුවන් තරම් ඉක්මනින් ඒ ගේ දිහාට දිව්වා.
මේ ගේ තිබුණේ විශාල ගල් ගුහාවක් පාමුල. එතැන දවල්ට වුණත් අන්ධකාරේ ගිලිලා තිබුණ නිසා තමයි ඒ ගෙදර දවල් වෙලාවෙත් පහනක් පත්තු කරලා තිබුණේ.
බිසෝ කලබලෙන් ගේ ළඟට ම ගියා. ඒත් මිඳුලේ කිසිම කෙනෙක් පේන්න හිටියේ නැහැ. හොඳින් වට පිට බලලා විපරම් කළ බිසෝ පස්සේ ගෙයි දොරට තට්ටු කළා. ‘‘ගෙදර කවුරුත් නැද්ද ? ’’ කියලා තුන් හතර වරක් ඇහුවා. ඒත් කිසිම කෙනෙක් කතා කළේ නැහැ.
‘‘මේ ගෙදර අයත් හේනට ගිහින්ද දන්නේ නැහැ. අනේ, එහෙම වුනොත් මට ගින්දර ඉල්ල ගන්න බැරි වෙයි ‘‘ බිසෝ දුක් වුණා.
‘‘සමහර වෙලාවට ඒ අය ගේ පිටිපස්සේ මොනවා හරි වැඩක් කරනවද දන්නේ නැහැ. ඒ නිසා පොඞ්ඩක් ගේ පිටිපස්සෙත් බැලූවෝ නරකද? ’’ එහෙම හිතපු බිසෝ ගේ වටේ රවුමක් දෙකක් ගියා. ඒත් කිසිම කෙනෙක් පේන්න හිටියේ නැහැ.
මේ අතරෙදී එක පාරට ම පුංචි ජනේලයක් ඇරුණා. ඒක දැක්කාම බිසෝට ලොකු සතුටක් ඇති වුණා. එයා හිතුවා ගෙදර හිටිය කෙනා නිදා ගෙන ඉන්න ඇති කියලා.
‘‘අනේ ඔයාගේ නින්ද කැඩුණ නම් මට සමාවෙන්න. මම ආවේ ගින්දර ටිකක් ඉල්ල ගෙන යන්න. අපේ ගිනි ගොඩ නිමිලා. ගේ හරියේ ගින්දර ටිකක් නැහැ, ඒ නිසා ඔයාට පුළුවන්නම් මට ගින්දර ටිකක් දෙන්න, ඔයාට පින් සිද්ධ වෙයි ’’ අසරණ බිසෝ ගෙහිමියාගෙන් සමාව ඉල්ලූවා.
ඒත් ජනේලය ඇරපු කෙනා කිසිය දෙයක් කිව්වේ නැහැ. බිසෝ හිතුවේ ගේ ඇතුළේ ඉන්න කෙනාට තරහ ගිහින් කියලා. ඒ නිසා බිසෝ නැවතත් සමාව ඉල්ලලා ගින්දර ටිකකුත් ඉල්ලා හිටියා. එතකොටම ජනේලය අතරින් පුංචි අතක් මතු වුණා. ඒ අතේ ගින්දරයි, අළු ගොඩක් දැම්ම ලොකු පොල් කටුවකුයි තිබුණා. ඒකෙන් දුම් පිට වුණා.

‘‘අනේ ඔයාට බොහෝම ස්තුතියි. මං දන්නවා දවල්ට නිදාගෙන ඉන්න කොට ඇහැරුවම ටිකක් නෙමෙයි හෙඳටම තරහා යනවා කියලා, මටත් එහෙමයි ’’ බිසෝ තමන්ගේ වරද ගැන යළි යළිත් සමාව ඉල්ලමින් පොල් කටුව අර ගෙන පුළුවන් තරම් ඉක්මනින් පිට වුණා.
මෙතැන සිද්ධ වුණේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්ද ?
බිසෝ හේනට යන පාර කියලා හිතාගෙන ඇවිත් තිබුණේ මේ කැලේ ඉන්න මහ භයානක ‘‘ගින්දර යකාගේ ’’ ගෙදරට. මේ යකාට ගින්දර යකා කියලා කිව්වේ, ගින්දර හොයා ගෙන එන මිනිස්සුන්ව රවටලා ඒ අයව මරා ගෙන කන නිසයි.
මේ ගින්දර යකාට වෙසමුණි රජ්ජුරුවෝ මහ පුදුම වරමක් දීලා තිබුණා. ඒ තමයි ‘‘ගින්දර ඉල්ල ගෙන ඇවිත් ඒවා අරගෙන යන ඕනෑම මිනිහෙක්ව අල්ල ගෙන කන්න පුළුවන්. වෙන කිසිම මිනිහෙක්ව අල්ල ගන්න බැහැ’’ කියලා. ඒ හින්දා මේ කැලේ ගොවිතැන් කරන්න ගමේ මිනිස්සු බය වුණේ නැහැ. එත් කිසිම කෙනෙක් ගින්දර හොයන්න නම් කැලේ පැත්ත පළාතේ ආවේ නැහැ.
ඒත් බිසෝගේ වාසනාවට ගින්දර යකයි, යකින්නයි මේ දවස්වල එයාලාගේ රජජ්ජුරුවන්ව, ඒ කියන්නේ ‘‘වෙසමුණි රජ්ජුරුවන් ’’ හමු වෙන්න ගිහින් හිටියේ. ගෙදර හිටියේ පුංචි යක් පුතා, ‘‘පුංචි අළු යකා ’’ විතරයි. එයාට තාම අම්මා තාත්තා වාගේ මිනිස්සුන්ව අල්ල ගන්න බැහැ. ඒත් එයා හරිම කපටියි. ඒ නිසා තමයි ගින්දර හොයා ගෙන ආපු බිසෝව රවටන්න ලොකු කපටිකමක් කරන්න පුළුවන් වුණේ. පුංචි අළු යකා කළේ මොන වගේ කපටිකමක් ද කියලා හිතා ගන්න පුළුවන්ද ?
පුංචි අළු යකා හිතුවා, මේ පුංචි ළමයා තමන්ව දැක්කොත් බයේ පැනලා දුවයි කියලා. එහෙම හිතලා තමයි හැංඟිලා හිටියේ. ඒත් ගින්දර නැති නිසා බිසෝ ආපහු යන්න හැදුවම යක් පැටියා හිතුවා මුණයි, ඇඟයි පේන්න නැති වෙන්න ගින්දර ටිකක් දෙන්න ඕනෑ ඊට පස්සේ අම්මා එක්ක ගෙදරට ම ගිහින් එයාව අල්ල ගන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ජනේලේ ඇරලා අත පමණක් එළියට දාලා ගින්දර දුන්නේ.
ඒ විතරක් නම් මදෑ මේ යක් පැටියා තවත් කපටිකමක් කළා. ඒ මොකක්ද දන්නවාද ?
යක් පැටියා බිසෝට ගින්දර දුන්නේ හිල් වුණු ලොකු පොල්කට්ටකට දාලා. ඒ හිලෙන් අළු පාර දිගේ වැටුණාම පාර හොයා ගෙන යන්න පුළුවන් වෙයි කියලා යක් පැටියා හිතුවා. ඒවගේ ම තමයි ගෙදරට යන්න ඉස්සර ගින්දර ටිකත් නිමෙනවා. එතකොට අඳුරෙම ගිහින් ළමයව අල්ල ගන්න පුළුවන් කියලා මේ කපටි යක් පැටියා කල්පනා කළා.

ඉතිං, අහිංසක බිසෝ ලොකු විපතක් තමයි කර ගත්තේ. දැං ඉතිං එයාව අල්ල ගන්න ගින්දර යකාට පුළුවන්. ඒකට වෙසමුණි රජ්ජුරුවන්ගෙන් තහනමකුත් නැහැ.

මේ කිසිම දෙයක් දන්නේ නැති බිසෝ පුළුවන් තරම් ඉක්මනින් ගෙදරට ගියා. ඒ අතරේ අළු පාර දිගේ වැටුණා. හරියට පුංචි ඉරක් ඇන්දා වාගේ. ඒත් වාසනාවට ගින්දර නිමෙන්න ඉස්සර ගෙදරට යන්න බිසෝට පුළුවන් වුණා.
‘‘ඔයා අපිටත් නොකියා කොහෙද ගියේ ? ’’ බිසෝ ගෙට ගොඩවෙන කොටම කූඩුවේ හිටිය පෙත්තප්පු ඇහුවා.
බිසෝව දැක්කා විතරයි පුදුව උඩ නිදාගෙන හිටිය කිටී කකුලේ පැටලූණා. බින්දු කකුල ලෙව කෑවා. බිසෝ දැක්කාම හැමෝම සතුටට පත් වුණා.
‘‘අනේ මට සමාවෙන්න යාලූවනේ, මම ඔයාලට නොකියා දුර ගමනක් ගියා. දැං ඉතිං අයින් වෙන්න කෝ. මට ?ට උයන්න තියෙනවා. හොඳටම දවල් වෙලා’’ බිසෝ යාළුවන්ට කිව්වා. යාළුවන්ව තනි කරලා කුස්සියට දිව්වා.
බිසෝ බොහොම සතුටින් හිටියත් යාළුවන්ට නම් මහ අමුත්තක් දැනුණා. ඒ වෙනදා නැති අමුතු ඉවක් දැනුණ නිසා.
‘‘ කිටී ඔයාට අමුත්තක් දැනෙන්නේ නැද්ද ? ’’ බින්දු කිටීගෙන් ඇහුවා.
‘‘දැනෙනවා. අමුතු ගඳක් එනවා. ඒ ගඳ කවදාවත් ඇවිත් නැහැ ’’ කිටී කිව්වා.
‘‘ඇත්ත, ඇත්ත. මටත් දැනුණා ’’ පෙත්තප්පු කෑගැහුවා.
‘‘අපි හොඳ පරිස්සමින් ඉන්න ඕනෑ. මොකක් හරි නපුරක් වෙන්නයි යන්නේ කියලා මට දැනෙනවා. ඒ නිසා අපි කෝකටත් සූදානම් වෙලා ඉමු. පෙත්තප්පු ඔයා කූඩුවේ ඉඳන් මුර කරන්න, කිටී ඔයා දෙර ළඟ ඉන්න, මම කඩුල්ල ළඟට යන්නම්. හොඳ පරිස්සමින් ඉන්න ’’ කවදාවත් ආවේ නැති මේ අමුතු ගඳ නිසා ටිකක් බය වුණ නිසා බින්දු ගෙදර ආරක්ෂාව තහවුරු කළා.
ඔන්න ඉතිං රජ්ජුරුවන්ගේ වැඩ වෙනදාට කලින් ඉවර කළ ගින්දර යකින්න එදා හවස් වෙන්න ඉස්සර ගෙදර ආවා. තවත් වැඩ රාජකාරී තිබුණ නිසා ගින්දර යකා නැවතුණා. බොහෝ දුර ගෙවා ගෙන පැමිණි යකින්න ගෙට ගොඩ වුණේ මහ හයියෙන් කෑගහගෙන.

‘‘මිනිස් ගඳයි …. මිනිස් ගඳයි. කෝ කොහෙද ඌ ඉන්නේ, කොහෙද ඌ ඉන්නේ ’‘ යකින්න හැම තැනම බල බල බෙරිහන් දුන්නා.
‘‘පුතේ, කෝ කවුද ආවේ, මොනවටද ආවේ ’’ කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණ යකින්න තරහෙන් පුංචි යකාගෙන් ඇහුවා.
‘‘කවුද දන්නේ නැහැ අද දවල් පුංචි ගෑනු ළමයෙක් ගින්දර හොයාගෙන ආවා ’’ යක් පුතා බයෙන් බයෙන් උත්තර දුන්නා.
මේ කතාව ඇහුවා විතරයි සතුටට පත් යකින්නගේ කට පළල් වුණා, ඇස් ලොකු වුණා, පුතාව උස්සලා උඩට විසි කළා.
‘‘හරිම අගෙයි … හරිම අගෙයි. කාලෙකින් මිනිහෙක්ව අල්ල ගන්න බැරි වුණා. අද නම් රස කෑමක් ගෙදරටම ඇවිත්. තාත්තත් නැති නිසා අපි දෙන්නට තනියම කන්න පුළුවන් ’’ කෑදර නපුරු යකින්න බොහොම සතුටින් කිව්වා.
යක්කුන්ගේ හැටි එහෙම තමයි. බෙදා හදා ගන්නේ නැතිව කන්නමයි හිතන්නේ. ඒ නිසා මේ ලෝකේ තනියම කන්නේ යක්කු විතරයි. ලෝකේ ඉන්න අනෙක් හැමෝම බෙදා හදා ගෙන තමයි කන්නේ.
ඔන්න ඉතිං ඊට පස්සේ කෑදර යකින්න ගෙයි හැමතැනම විපරම් කළා. ඒත් පුංචි ළමයෙක් තියා ඡුායාවක් පේන්න හිටියේ නැහැ. ඊට පස්සේ යකින්නට හොඳටම තරහා ගියා. පුතා තනියම ඒ පුංචි ළමයව කන්න ඇති කියලා මේ කෑදර යකින්න හිතුවා.
‘‘කෝ, කොහෙද ළමයා ඉන්නේ. ඇත්ත කියන්න ඔයා තනියම කෑවා නේද ? එහෙම වුණොත් මම ඔයාට යස පාඩමක් උගන්වනවා’’ යකින්න බෙරිහන් දුන්නා.
යක් පැටියා හොඳටම බය වුණා, වෙවුලන්න ගත්තා.
‘‘මම කෑවේ නැහැ, මම කෑවේ නැහැ. ඒ ළමයා යන්න ගියා. මේ ඇත්තමයි කියන්නේ, මට ගහන්න එපා ’’ බියට පත් වුණ යක් පැටියා කිව්වා.
මේ කතාව ඇහුවා විතරයි යකින්නට හොඳටම තරහා ගියා. එයා පුංචි යක් පැටියව උඩට විසි කළා.
‘‘උඹ නම් මහ නිවට යකෙක්, බය ගුල්ලෙක්. අතටම ආපූ රස කෑම වේල නැති කළා. කියාපන් ඒ ළමයා කෙහෙටද ගියේ, කොයි වෙලේද ගියේ ’’ යකින්න නොයිවසිල්ලෙන් කෑ ගැහුවා.
‘‘ ඉර හැරෙන්න ඉස්සර ගියේ, අර පැත්තට ගියේ ’’ යක් පැටියා වෙවුල වෙවුල උත්තර දුන්නා. මේ කතාවට යකින්නට තවත් තරහා ගියා.
‘‘අනේ මෝඩයෝ අර පැත්ත කියන්නේ කොයි පැත්තට ද ? මම පාර හොයා ගන්නේ කොහොමද ? ’’
මේ කතාව ඇහුණා විතරයි වෙවුල වෙවුල හිටිය යක් පැටියට සතුටක් ඇති වුණා.
‘‘අම්මා බය වෙන්න එපා, මං හොඳ වැඩක් කළා. අම්මට පාර හොයා ගන්න පුළුවන්. මං ගින්දර දුන්නේ හිල් පොල් කටුවකට. ඒකට අළු ගොඩක් දැම්මා. දැං පාර දිගේ අළු වැටිලා ඇති. අම්මට තියෙන්නේ ඒ අළු පාර දිගේ යන්න විතරයි. අපි ගිහින් ඒ ළමයව අල්ල ගෙන එමු. අම්මේ එහෙම හොඳයි නේද ? කොහොමද මගේ මොළේ ? ’’
පුතාගේ උපාය ගැන යක් අම්මා පුදුම වුණා, සතුටු වුණා.
‘‘ඒක නම් අගේ ඇති උපාය. පුතා ඉන්න, මං ඉක්මනට ගිහින් ඒ කෙල්ලව අරගෙන එන්නම්. ඔයා අර ලොකු මුට්ටියට වතුර දාලා රත් කරලා තියන්න. අද අපිට යස උත්සවයක් දාන්න පුළුවන් ’’
ඊට පස්සේ යකින්න පුළුවන් තරම් හයියෙන් ගම දිහාට දිව්වා.
වනාන්තරේ මේ තරම් භයානක දෙයක් සිදුවේද්දී ඒ කිසිම දෙයක් දන්නේ නැති අහිංසක අමල් බිසෝ ? කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා. එත් අනතුර ගැන ඉව වැටුණු යාළුවෝ වත්ත මුර කළා.
ඔන්න ඉතිං කෑදර යකින්නි අළු පාර දිගේ කැලේ අවසානයට ආවා. රිදී ඉරක් වාගේ අළු පාර දිගේ වැටිලා තිබුණ නිසා යකින්නිට පාර හොයා ගන්න අසීරු වුණේ නැහැ.
‘‘මං හිතුවා හරි. අර තියෙන්නේ ගේ. ඔය ගෙදර ඉන්නේ අපිට බය නැති ගමයෙකුයි, ගම මහගේ කෙනෙකුයි. මං දැකලා තියෙනවා කිසිම බයක් නැතිව දෙන්නා හේනට යන හැටි. ඒ ගෙදර කෙල්ල වෙන්න ඇති ගින්දර හොයා ගෙන ආවේ. මට අද පුළුවන් ආඩම්බර ගමයට යස පාඩමක් උගන්වන්න’’ එහෙම හිත හිතා කෑදර යකින්න කඩුල්ල ළඟට ආවා.
‘‘ගමයයි ගම මහගෙයි හිටියොත් වැඬේ අමාරුයි. ඒත් උන් දෙන්නා හැමදාම හේනට යනවා. අනික උන් දෙන්නා හිටියනම් කවදාවත් කෙල්ල ගින්දර හොයන්න යන්නේ නැහැ. ඒ නිසා ඉස්තීරෙටම උන් දෙන්නා ගෙදර නැහැ. අද නම් මට රස කෑමක් කන්න පුළුවන්. මම තනියම කනවා. පුතාට දෙන්නේ මොකටද ? ඌ තාම පොඩි එකා. ලොකු වුණාට පස්සේ බැරියෑ මිනිස්සුන්ව කන්න. අනික මේ පුංචි කෙල්ලගේ බෙදා ගෙන කන්න තරම් දෙයක් තියෙනවායෑ. මම තනියම කනවා. පුතාට අල ටිකක් ගෙනියනවා. මේ ලෝකේ බෙදාහදා ගන්නේ නැතිව තනියම කන්නේ අපි විතරයි. ඒකනේ අපිට යක්කු කියන්නේ ’’ යකින්නගේ තියෙන කෑදරකමට පුතාටවත් දෙන්න හිත හදා ගන්න බැරි වුණා.
ඔන්න ඉතිං, කෑදර යකින්න කිසිම බයක් සැකක් නැතිව කඩුල්ල පනින්න සූදානම් වුණා. ඒත් එතකොටම කඩුල්ල ළඟ මුරට හිටිය බින්දු යකින්නට බුරා ගෙන පැන්නා.
‘‘අනේ මෝඩ බලූ තඩියෝ. උඹ කොහොමද වෙසමුණි රජ්ජුරුවන්ගෙන් වරම් ගත්ත යකෙක් නතර කරන්නේ. පලයන් යන්න පැත්තකට ’’ යකින්න බින්දුට බිහිසුණු බැල්මක් හෙළුවා, තර්ජනය කළා. ඒත් බින්දු බය නැතිව කඩුල්ල මුර කළා.
‘‘ආ, උඹත් ගමයා වගේ වීරයෙක් ද ? හිටපන් උඹට ’’ යකින්න බින්දුගේ වලිගෙන් අල්ලලා ඈතට විසි කළා. අහිංසක බින්දු බෝලයක් වාගේ පාවෙලා ගියා.
ඔන්න ඉතිං ඊට පස්සේ කෑදර යකින්න කිසිම බයක් නැතිව ගෙදර දොරකඩටම ගියා. මිනිස් සුවඳ දැනුණ යකින්නිගේ කටට කෙළ ඉනුවා, කෑදරකම තවත් වැඩි වුණා.
යකින්න ඇතුළට එනවා ගෙයි දොර මුර කළ කිටී දැක්කා. කිටී ‘‘ඤාවු … ඤාවු ’’ කියලා යකින්නගේ කකුල පහුරු ගෑවා.
‘‘ ආ, තවත් මුරකාරයෙක්. හිටපන් උඹට ’’ යකින්න කිටීගේ බෙල්ලෙන් අල්ලලා ඈතට විසි කළා. කිටී පුංචි කුරුල්ලෙක් වාගේ ඈතට පාවෙලා ගියා.
දැං ඉතිං, බිසෝව අල්ල ගන්නකම් යකින්නට සැනසිල්ලක් නැහැ. යකින්නගේ කෑදර බඩ ගෙඩිය මුහුද වාගේ කැළඹුණා, වතුර මලකින් වාගේ කෙළ හැළුණා.

මේ සේරම පෙත්තප්පු දැක්කා. එතකොට එයා හිතුවා මෝඩයා වාගේ කෑගහන්න ගියොත් තමන්ට වෙන්නෙත් යාළුවන්ට සිද්ධ වුණ දේම නිසා කෑ ගහන්නේ නැතිව හොරෙන් සැරේ වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න ඕනෑ කියලා.
එත් කෑදර යකින්න ඉදිරියේ තවත් බාධාවක් තිබුණා. ගෙයි දොර වහලා තිබුණ නිසා යකින්නට ඇතුළට යන්න පුළුවන් වුණේ නැහැ. මං මුළින්ම කිව්වනේ, මේ යක්කුන්ට මිනිස්සුන්ව අල්ල ගන්න වරම් දීලා තිබුණ තාලේ. ඒ නිසා ගෙදර දොර කඩලා ඇතුළට යන්න කෑදර යකින්නට වරම් තිබුණේ නැහැ.
‘‘අනේ වෙසමුණි රජ්ජුරුවනේ, මේ කෙල්ල දොර වහලනේ. දැං ඉතිං මොකද කරන්නේ. ගමයා ආවොත් සේරම ඉවරයි ’’ යකින්න දොර දිහා බලමින් වැළපුණා.
මං මුලින්ම කිව්වනේ යක්කු කෑදරයි වගේම කපටියි කියලා. අන්න ඒ නිසා මේ කෑදර යකින්නට අපූරු අදහසක් පහළ වුණා.
‘‘ හරි, මං කරන්නම්කෝ හොඳ වැඩක්. මේ පුංචි කෙල්ල රවට ගන්න එක මට මහ කජ්ඡුක්ද ? අපිට ඕනෑම හඬකින් කතා කරන්න පුළුවන්නේ. මං කරන්නම් නියම වැඩක් ’’
යකින්න මොකද කළේ දන්නවාද ? අමල් බිසෝගේ අම්මගේ වගේ කට හඬ හදා ගත්තා.

‘‘ දුවේ, දුවේ, අම්මත් ආවා, තාත්තත් ආවා දොර අරින්න. ඉක්මනට දොර අරින්න. මට හොඳටම බඩගිනිියි, ඉක්මනට දොර අරින්න ’’ යකින්නි අමල් බිසෝගේ අම්මා වාගේ හඬ වෙනස් කරලා කතා කළා. අම්මගේ හඬ ඇහුණා විතරයි බිසෝ සතුටට පත් වුණා. එයා හිතුවේ හේනේ වැඩ ඉක්මනට ඉවර කරලා අම්මා ඇවිත් ඇති කියලා.
මේ හැම දෙයක්ම බලා හිටිය පෙත්තප්පු හිතුවා දැං ඉතිං තමන්ගේ රජකාරිය පටන් ගන්න ඕනෑ කියලා. පෙත්තප්පු කූඩුවේ ඉදන් කෑ ගහන්න පටන් ගත්තා.
‘‘ අම්මා ආවෙත් නැහැ, තාත්තා ආවෙත් නැහැ දොර අරින්න එපා අමල් බිසෝ්, දොර අරින්න එපා අමල් බිසෝ ’’ පෙත්තප්පු කෑ ගහලා කිව්වා.
නොහිතපු විදිහට එකපාරටම ඇහුණ පෙත්තප්පුගේ කෑ ගෑමට යකින්නට හොඳටම තරහා ගියා. යකින්නි කූඩවේ ඉන්න අහිංසක පෙත්තප්පු දිහා රවලා බැලූවා.
‘‘අම්මත් ආවා, තාත්තත් ආවා, පැණි කොමඩුත් ගෙනවා දොර ඇරපන් අමල් බිසෝ ’’ යකින්නි ටිකක් තරහෙන් නැවතත් කිව්වා.
‘‘අම්මා ආවෙත් නැහැ, තාත්තා ආවෙත් නැහැ, පැණි කොමඩු ගෙනාවෙත් නැහැ, දොර නාරින් අමල් බිසෝ ’’ පෙත්තප්පු පෙරටත් වඩා හයියෙන් කිව්වා.
පෙත්තප්පුගේ මේ කතාව ඇහුණ යකින්නට හොඳටම තරහා ගියා. තරහෙන් පුපුර පුපුර කූඩුව ළඟට ගිය යකින්න පෙත්තප්පු ඉන්න කූඩුව අරගෙන බිම දාලා පෑගුවා. පෙත්තප්පු කූඩුවේ අයිනකට ගිහින් පණ බේර ගත්තා.
‘‘අනේ මගේ පුතේ, ඉක්මනට දොර අරින්න කෝ. මට හොඳටම බඩගිනියි. මම පුතාට මාලත් ගෙනවා. ඉක්මනට දොර අරින්නකෝ’ යකින්නි බොහොම ආදරෙන් කිව්වා.
‘‘අම්මා ආවෙත් නැහැ, තාත්තා ආවෙත් නැහැ, මාල ගෙනාවෙත් නැහැ, දොර අරින්න එපා අමල් බිසෝ ’’ පෙත්තප්පු නැවතත් කෑගහලා කිව්වා.
මේ කතාව අහපු යකින්නට හොඳටම තරහා ගියා. පෙත්තප්පුත් එක්ම කූඩුව ඈතට විසි කළා. ඒක පාවෙලා ගිහින් ගඟට වැටුණා.
අමල් බිසෝට හරිම පුදුමයි. අම්මා කතා කරනවා, දොර අරින්න කියනවා. ඒත් එක්ම පෙත්තප්පු දොර අරින්න එපා කියලා කියනවා. මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුණ අහිංසක අමල් බිසෝ දොර ළඟට වෙලා හිටියා. ඔන්න යකින්න නැවතත් කතා කළා.
‘‘ අනේ මගේ සුදු දුවේ, ඇයි ඔයා දොර අරින්නේ නැත්තේ. මම මෙතැනට වෙලා බලා ගෙන ඉන්නවා, මට හොඳටම බඩගිනියි, හොඳ ළමයනේ ඉක්මනට දොර අරින්න. මං දුවට ලස්සන ගවුමකුත් ගෙනවා. ඇත්තමයි, මේ අම්ම ම තමයි ඇවිත් ඉන්නේ. මම ගිනි යකින්න නම් නෙමෙයි ’’
කපටි යකින්න නැවතත් කිව්වා. ඒ හඬ අමල් බිසෝගේ අම්මගේ වගේමයි.
‘‘ ඇයි අම්මා තනියම ආවා කියන්නේ ? ඉස්සෙල්ලා කිව්වේ තාත්තත් ආවා කියලනේ. ඉස්සෙල්ලා කිව්වා පැණි කොමඩු ගෙනවා කියලා. ඊට පස්සේ කිව්වා මාල ගෙනවා කියලා. දැං කියනවා ලස්සන ගවුමක් ගෙනවා කියලා. අම්මා කොහෙන්ද ඒවා ගත්තේ. මට ඊයේ කිව්වා තමයි හෙට තොරොම්බල්කාරයා ආවම මාල, වළළු, ලස්සන ගවුම් අරගෙන දෙනවා කියලත ඒත් අද ? ’’ අමල් බිසෝ යතුරට අත තියාගෙන කල්පනා කළා.
අම්මා ගෙනාව තෑඟි දකින අසාවෙන් අමල් බිසෝගේ හිත පිරුණා. හැම ගෑනු ළමයෙක්ම ලස්සන මාල, වළළු, ගවුම්වලට ආසයිනේ. අමල් බිසොත් එහෙම ම තමයි. එයා දොර අරින්න හදන කොටම ඈතින් පෙත්තප්පුගේ වාගෙ හඬක් මතු වුණා.
‘‘අම්මා ආවෙත් නැහැ, ඔයා දන්න කිසිම කෙනෙක් ආවේත් නැහැ, කිසිම දෙයක් ගෙනතුත් නැහැ, දොර නම් අරින්න එපා අමල් බිසෝ. දොර නම් අරින්න එපා අමල් බිසෝ ’
ඒ ඈතින් ආවේ ගඟට වැටුණු පෙත්තප්පුගේ හඬ. ඒත් එක්කම අමල් බිසෝට තේරුණා දොරකඩට වෙලා අම්මගේ හඬින් කතා කරන්නේ කැලේ ඉන්න යකින්නි බව. අමල් බිසෝ හොඳටම බය වුණ. දොරේ යතුර තද කරලා අල්ල ගත්තා.
පෙත්තප්පුගේ කතාවට යකින්නට හොඳටම තරහා ගියා. කවදාවත් නැති තරම් තරහා ගියා.
‘‘හිටපන් ගිරවෝ මං උඹට හොඳ පාඩමක් උගන්වනවා. මට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. මෝඩ ගිරවා මම… ’’
යකින්නි තරහෙන් පුපුරමින් ගඟ ළඟට දිව්වා. හැම තැනම පෙත්තප්පුව හෙව්වා. ඒත් පෙත්තප්පුව හොයා ගන්න බැරි වුණා. යකින්නිගේ තරහා කොච්චරද කියනව නම් පෙත්තප්පුව හොයා ගන්න බැරි වුණ තරහට ගෙඟ් වතුර සේරම බී ගෙන බී ගෙන ගියා. ඊට පස්සේ යකින්නගේ බඩ ගෙඩිය කන්දක් තරම් ලොකු වුණා. භූමිකම්පාවකදී පොළව හෙළ වෙනවා වාගේ යකින්නි දෙපැත්තට පැද්දුණා. සුළි සුළඟක් වාගේ හුස්ම පිට වුණා. කැලේ දෙදරන්න මහ හඬක් පිට කළ කෑදර යකින්නි බඩ පැළිලා මැරී වැටුණා.


පෙත්තප්පුගේ හඬ නැතිව ගියාට පස්සේ අමල් බිසෝ හොඳටම බය වුණා.
‘‘අනේ කෝ මගේ කිටී, කෝ බින්දු. එයාලා කොහෙද ගියේ ’’ බියට පත් වුණු අමල් බිසෝ අඬන්න පටන් ගත්තා.
එයාගේ උණුසුම් කඳුළු බිංදු එකින් එක කම්මුල් දිගේ ගලා ගෙන ගිහින් ගවුමේ කරට වැටුණා. මෙහෙම ඉන්න කොට දන්නේම නැතිව අමල් බිසෝට නින්ද ගියා.
ඔන්න ඉතිං වෙනදා වාගේම හැන්දෑවේ අමල් බිසෝගේ අම්මයි තාත්තයි ගෙදර ආවා. එයාලා එක්ක බින්දුයි, කිටියි දෙන්නත් ඇවිත් හිටියා.
‘‘බලන්න දුව ගෙදර දොරත් වහගෙනනේ. ඒක හොඳයි, මේ දෙන්නත් හේනට ආවනේ. ඔයාලා දෙන්නා නම් හොඳ යාළුවෝ තමා. කවදාවත් නැතිව යාළුවව තනියම දාලා ආවා නේද ? ’’ අමල් බිසෝගේ අම්මා බින්දුටයි කිටීටයි හොඳට ම දොස් කිව්වා.
එයාලා දෙන්නා වරදක් කළා වගේ බිම බලාගෙන හිටියා.
‘‘ ආ, පෙත්තගේ කූඩුවත් ඇරලා. කිටී ඔයා ඔයාගේ යාළුවව අල්ල ගෙන කෑවේ එහෙම නැහැ නේද ? ’’ හිස් ගිරා කූඩුව දැක්ක තාත්තා කිටීගෙන් ඇහුවා.
අහිංසක කිටී ‘‘පුරු… පුරු ’’ ගගා තාත්තගේ කකුලේ දැවටුණා. බින්දුත් මොන මොනවද කිව්ව. ඒ්ත් කිටීවත් බින්දුවත් කියන කිසිම දෙයක් බිසෝගේ අම්මටයි තාත්තටයි තේරුණේ නැහැ.
‘‘කෝ ඔය යතුර දෙන්න, දරුවට නින්ද ගිහින් වාගේ ’’ අම්මා තාත්තා ළඟ තිබුණ යතුරෙන් දොර ඇරියා.
‘‘අනේ දෙයියනේ දරුවට නින්ද ගිහින් තියෙන තැන ’’ දොර පාමුල නිදා ගෙන හිටිය බිසෝව දැක්ක අම්මට හුඟාක් දුක හිතුණ.


බිසෝව අතට ගත්ත තාත්තා එයාව ඇදෙන් තිබ්බා. අම්මා රාත‍්‍රී ආහාර පිළයෙළ කළා. බින්දු මිදුලට වෙලා දවල් දැක්ක දේ ගැන එයාගේ යාළුවොත් එක්ක කතා කළා.
? කෑමට අමල් බිසෝ නැගිට්ටේ හොඳටම ප‍්‍රමාද වෙලා. අම්මා, තාත්තා, බින්දු, කිටී ඒ හැම දෙනාම කෑම කාමරේ හිටියා.
‘‘පෙත්තට බත් නැද්ද ? පෙත්තට බත් නැද්ද ? ’’ එළියෙන් පෙත්තප්පුගේ හඬත් ඇසුණා.
‘‘ආ අම්මලා ඇවිල්ලා. දන්නේ ම නැතිව නින්ද ගියා. අනේ අම්මේ මම මහ භයානක හීනයක් දැක්කා ’’ අමල් බිසෝ අම්මට තුරුළු වෙමින් කිව්වා.
‘‘ඒක තමා මම හැමදාම ඔයාට කියන්නේ දවල්ට නිදා ගන්න එපා කියලා ’’ අම්මා ආදරෙන් අමල් බිසෝගේ මුහුණ සිප ගත්තා.
කිටී අමල් බිසෝගේ ඔඩොක්කුවට පැන්නා. බින්දු කකුල ලෙව කෑවා. පෙත්තප්පු සින්දුවක් කිව්වා.■

Recommended For You

About the Author: Editor