ළමා මවුවරු …. වරද කාගේද ?

අඩු වයසින් ගැබ් ගැනීම අද වන විට ගෝලීය අර්බුදයක් බවට පත්වෙලා තිබෙනවා. ඒක දියුණු නොදියුණු කියන භේදයකින් තොරව ලෝකයේ සෑම රටකම බලපාන පොදු ගැටලූවක් වශයෙන් තමයි අද සැලකෙන්නේ.
අඩු වයසින් ගැබ් ගැනීම පිටු දැකීම සඳහා ශ‍්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් විවිධාකාර වැඩසටහන් දියත් කරනවා. ඒත් ජනතාවගේ ඇති අඩු අවධානය හා වෙනත් සංකීර්ණ හේතු රැුසක් නිසා ඒ සඳහා ඵලදායී විසඳුමක් සොයා ගැනීම මේ දක්වා අසීරු වෙලා තිබෙනවා. ඒත් යහපත් හා ආරක්ෂිත සමාජයක් බිහි කර ගැනීම සඳහා බාලවයස්කාරියන් ගැබ් ගැනීම පිටු දැකිය යුතුමයි.

අඩු වයස් ගැබ් ගැනීමක් යනු

අඩු වයස් ගැබ් ගැනීමක් නැතිනම් බාල වයස්කාරියක් ගැබ් ගැනීම යනුවෙන් හඳුන්වන්නේ වයස අවුරුදු 19 ට අඩු ( 13-19) ගැහැනු ළමයෙකු ගැබ් ගැනීමයි. අඩුවයස්කාරින් ගැබ් ගැනීම ලංකාවේ අති සංවේදී ප‍්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. ලෝකයේ සිදුවන අඩු වයස් ගැබ් ගැනීම් වලින් සියයට 90 ක් සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලයි. ලංකාවේ තත්ත්වය ගත්විට නැගෙනහිර පළාත තුළ තමයි අඩු වයස් ගැබ් ගැනීම් වැඩි ප‍්‍රතිශතයක් වාර්තා වෙන්නේ.

සෞඛ්‍ය අංශ වාර්තා කරන ආකාරයට ලංකාවේ වාර්ෂිකව 20,000 කට ආසන්න බාල වයස්කාරියන් පිරිසක් ගැබ් ගැනීම්වලට ලක් වෙනවා. මෙයින් සියයට 90 ක් පමණ සිදුවන්නේ ‘අදර සම්බන්ධතා මත’ බවත් තහවුරු වෙලා තිබෙනවා. එනිසා දැරියන් සිටින මාපියන් වගේම වැඩිහිටියන් දැරියන්ගේ ආදර සම්බන්ධතා ගැන වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒකට හේතුව තමයි වයසින් හා අත්දැකීම්වලින් නොමේරූ මේ දැරියන් පහසුවෙන් රැුවටීමට ලක්වීමට වැඩි ඉඩක් තිබීම.
සෞඛ්‍ය අංශ වාර්තා කරන ආකාරයට බාල වයස්කාර ගැබ් ගැනීම්වලින් සියයට 10 ක් පමණ සිදුවන්නේ බාලවයස්කාරීන් ¥ෂණයට ලක්වීම හේතුවෙනුයි.

මේ සෞඛ්‍ය අංශ වෙත වාර්තා වෙන නිල තොරතුරු පමණයි. ඒත් සැබෑ තත්ත්වය මීට වඩා බරපතළ විය හැකියි. ඒකට හේතුව තමයි නිල සංඛ්‍යා ලේඛන ඉක්මවා ගිය තොරතුරු විශාල සංඛ්‍යාවක් විවිධ හේතු නිසා වසන් වීම හෝ නෙකතා හැරීම. අඩු වයස් ගැබ් ගැනීම් කියන්නේ ඕපපාතිකව (හේතු රහිතව) සිදුවන දෙයක් නොවෙයි. ඊට විවිධ හේතු බලපානවා. ඒ නිසා අඩු වයස් ගැබ් ගැනීම් පාලනය කිරීමට නම් අපි ඒ හේතු වඩාත් පැහැදිලිව හඳුනා ගත යුතුයි.

අඩු වයසින් ගැබ් ගැනීමට බලපාන හේතු

  1. ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් නොමැති වීම.
  2. අඩු අදායම් ලාභී වීම.
  3. මව විදේස් ගත වී සිටීම.
  4. පාසල් ගමන අතර මග නතර වීම.
  5. කුතුහලය සහ අත්හදා බැලීම යාම.
  6. සංස්කෘතික හේතු
  7. ජංගම දුරකථන.

ලංකාවේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දැවැන්ත අර්බුදයක් තිබෙනවා. බාල වයස්කාරයින්ට පමණක් නොවෙයි තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට පවා විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා විධිමත් ක‍්‍රමවේදයක් ලංකාවේ නැහැ. ඉතිං විධිමත්ව මෙම අධ්‍යාපනය නොලැබෙන විට සිදුවන්නේ අවිධිමත් ක‍්‍රම මගින් ( මිතුරු මිතුරියන්, ජනමාධ්‍ය, අසභ්‍ය ප‍්‍රකාශන වැනි ) ලිංගික දැනුම සොයා යාමයි. මේ මගින් සිදුවන්නේ බරපතළ හානියක්. ඒ නිසා වැඩිහිටියන් වගේම, අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්පාදකයින් පවා මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

අඩු වයස් ගැබ් ගැනීම් හා අදායම් පවුලේ ආදයම් තත්ත්වය අතර ඍජු සම්බන්ධයක් තිබෙන බව පැහැදිලි වෙනවා. අඩු වයස් ගැබ් ගැනීම්වලින් සියයට 90 ක් සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා තහවුරු කරනවා. ලංකාවේ තත්ත්වය ගත්විටත් ඒ බව සනාථ වෙනවා. මීට ඉහත සඳහන් කළ ආකාරයට ලංකාවේ වැඩිම ප‍්‍රමාණයක් අඩු වයස් ගැබ් ගැනීම් සිදුවන්නේ ලංකාවේ නොදියුණුම පළාතක් වශයෙන් සැලකෙන නැගෙනහිර පළාතේ. ඊට පසුව ඌව, උතුරු මැද ආදි පළාත් ඉදිරියෙන් තිබෙනවා.

බාල වයස්කාර දැරියන් සිටින පවුල් වල මව්වරුන් විදෙස්ගත වීම අඩු වයස් ගැබ් ගැනීම්වලට ප‍්‍රබල හේතුවක් වී තිබෙනවා. මෙය ඉහත සඳහන් කළ අඩු අදායම් තත්ත්වය හා ඍජුව සම්බන්ධයි. මේ අඩු අදායම්ලාභී පවුල්වල බොහෝ මවුවරුන් තමන්ගේ ආදායම වැඩි කර ගැනීමේ පහසුම හා කෙටිම ක‍්‍රමයක් වශයෙන් සලකන්නේ ගෘහ සේවිකාවක ලෙස මැදපෙරදිග රටවල්වලට යාමයි. එවැනි අවස්ථාවල මේ මවුවරුන් බොහෝ විට කරන්නේ තමන්ගේ දියණියන්ව පියාට හෝ සමීප ඥාතියෙකු භාරයේ තබා යාම. මෙය ඉතා අවදානම් මෙන්ම අනාරක්ෂිත පියවරක් බව මේ වන විට තහවුරු වී අවසන්. අපි පිළිගත්තත් නැතත් පසුගිය කාලය පුරාම මෙවැනි පවුල්වල දැරියන් ගැබ් ගැනීම්වලට ප‍්‍රධාන හේතුවක් වුණේ පියා හෝ සමීප ඥාතියෙක්. මේ තත්ත්වය අප සියලූ දෙනාගේ දැඩි අවධානයට යොමු විය යුතුයි. බාලවයස්කාර දරුවන් සිටින මවුවරුන්ට විදේශගත වීමට නීතිමය සීමා කිරීම් මේ වන විට පනවා තිබුණ බොහෝ දෙනෙක් එවාට පිටුපා විදේශගත වන බවක් දැකිය හැකියි.

පාසල් ගමන නතර වීම ඉහත සඳහන් අඩු ආදායම්ලාභී පවුල්වීම මෙන්ම මව විදේශගත වීම සමගත් ඍජුව සම්බන්ධයි. මේ තත්ත්වය තුළ පාසල් ගමන අතරමග නතර කරන අඩු වයස්කාරියන් විවිධාකාරයෙන් විවිධ පුද්ගයින්ගේ ගොදුරු බවට පත් වෙනවා. අවසානයේ ඔවුන් අඩු වයස් මවුවරුන් බවට පත් වෙනවා.

කතුහලය කියන කාරණය ඕනෑම අයෙකු තුළ දැකිය හැකි පොදු තත්ත්වයක්. විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොලද විට බොහෝ විට ඇතිවන තත්ත්වය තමයි ලිංගික කාරණා සම්බන්ධ කුතුහලය. එවැනි කුතුහලය සංසිදවා ගැනීමට ගන්නා අවස්ථාවන් බොහෝ විට අවසන් වන්නේ අඩු වයස් ගැබ් ගැනීම් මගින්. මේ තත්ත්වය පාලනය කළ හැක්කේ විධිමක් ආකාරයෙන් ලිංගික දැනුම ලබා දීම මගින් පමණයි. එමෙන්ම ජනමාධ්‍යවලටත් මේ විෂයෙහි වැඩි වගකීමක් පැවරෙනවා. මොකද ජනමාධ්‍ය මගින් විකාශනය කරන විවිධ වැඩසටහන් තුළින් බාල වයස්කාරයින් තුළ කුතුහලය ඇතිවනඅ අවස්ථා බහුලයි.

සංස්කෘතික හේතු මත ද බොහෝ විට අඩු වයස් ගැබ් ගැනීම් සිදුවෙනවා. මෙය ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලත් අප‍්‍රිකානු රටවලත් ප‍්‍රබල හේතුවක් වශයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ලංකාවෙත් ඇතැම් ජන කණ්ඩායම් තමන්ගේ සංස්කෘතිය තුළ බාල වයස්කාර විවාහා සඳහා අනුබලය ලබා දෙනවා.

වර්තමානයේ සිදුවන අඩු වයස් ගැබ් ගැනීම්වලට ප‍්‍රබල උත්තේජනයක් ජංගම දුරකථනය හා මුහුණුපොත හරහා ලැබෙනවා. මෙම තාක්ෂණික මෙවලම් හරහා පේ‍්‍රම සම්බන්ධා පවත්වා ගෙනයාමට ඇති පහසුව හා සන්නිවේදන පහසුකම් මෙන්ම අන්තර්ජාල ප‍්‍රවේශය ආදියත් මගින් සිදුවන්නේ ප‍්‍රබල උත්තේජනයක්.

අඩු වයස් ගැබ් ගැනීම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානම
අඩු වයස් ගැබ් ගැනීම්වලට ලක්වන බාල වයස්කාරියන් බොහෝ විට කෙටිකාලීන, මැදි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලූවලට ලක්වීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. ඒ අනුව ඔවුන් පහත සඳහන් සෞඛ්‍ය ගැටලූවලට ඍජුව ලක්විය හැකියි.

ගබ්සා වීමේ අවදානම, අපරිණත දරු උපත්, රුධිර පීඩන ගැටලූ, රක්තහීනතාවය, ගර්භ විෂ තත්ත්වයන් ඇති වීම, අධික රුධිර පීඩනය, වැදැමහ නිසි ආකාරව නොපිහිටීම, ගැබිගෙල පිළිකා ඇති වීම, වකුගඩු රෝග.

ඒ විතරක්ද ?
මෙම අඩු වයස්කාරියන් ඉහත සඳහන් සෞඛ්‍ය ගැටලූ වලට පමණක් නොව පහත සඳහන් මානසික ගැටලූවලටත් ලක්වීම මගින් තමන්ගේ අනාගතය අඳුරු කර ගන්නවා.

මෙවැනි මවුවරුන්,
අ. මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඇතිවිය හැකියි.
ආ. ගැහැණු දරුවාගේ මනස මවක් වීමට තවම සූදානම් නැත.
ලිංගික බෝවන රෝග HIV ඇතිවීමේ අවදානම වැඩියි.

මේ අඩු වයස් මවට අත්විය හැකි ප‍්‍රතිවිපාක. එතකොට ඇය බිහි කරන දරුවාට සිදුවන්නේ කුමක්ද ? අපි ඒ ගැනත් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මෙලෙස ඉපදෙන දරුවා බොහෝ විට සමාජයේ / පවුලේ කොන් කිරීමට හෝ නොසලකා හැරීමට ලක්වීමට ඇති අවස්ථාව බහුලයි. එමෙන්ම ඔහු හෝ ඇය,

අ. අඩු බර සහ අපරිනත දරුවෙක් විය හැකියි.
ආ. මව් සෙනෙහස පිය සෙනෙහස අහිමි වීම.
ඇ. විවධ සෞඛ්‍ය ගැටලූ මතුවීම.
ඈ. ළමා අපයෝජන වලට ලක්වීමේ හැකියාව වැඩි වීම.

ඉහත තත්ත්වයන් අප සමාජය හමුවේ දකින සුලභ හා අවාසනාවන්ත තත්ත්වයන්. මේ තත්ත්වයන් පාලනය කර ගැනීම පහසුවෙන් කළ නොහැකියි. ඒ වෙනුවට කළ හැකි වඩාත්ම ප‍්‍රායෝගික පියවර තමයි අඩු වයස් ගැබ් ගැනීම් වළකා ගැනීම. එය කළ හැක්කේ කෙසේද ?

අඩු වයසින් ගැබ් ගැනීම වලක්වා ගන්නේ කෙසේද ?

  1. පාසල් අවධියේ සිටම නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම.
  2. මව් සෙනෙහස රැුකවරණය නිවැරදිව ලබා දීම.
  3. පවුලක වටිනාකම පහදා දීම.
  4. සමාජ අවබෝධය ලබාදීම.

අඩු වයස් ගැබ් ගැනීම් වළකා ගැනීම කළ හැක්කේ අපටම පමණයි. එ ගත යුතු වැදගත්ම පියවර වන්නේ පාසල් අවධියේ සිටම නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීමයි. මෙය අපේ සංස්කෘතිය හමුවේ යම් අභියෝගාත්මක කාර්යයක් විය හැකියි. ඒ දරුවන් සමග ලිංගික කාරණා ගැන කතා කිරීම අපේ සංස්කෘතිය විසින් වළක්වා තිබීම නිසයි. ඒත් එවැනි පියවරකට නොගියොත් අපේ සංස්කෘතිය පමණක් නොවෙයි අනාගත පරපුර පවා අගතියට පත්විය හැකියි. ඒ නිසා පාසල් අවධියේ සිටම දරුවන්ට මූලික ලිංගික අධ්‍යාපනයක් හෝ ලබාදීමට පියවර ගත යුතුයි. අවධිමත් ආකාරයෙන් ලබා ගන්නා ලිංගික අධ්‍යාපනය තුළින් ළමා පරපුර වැනසී යාමට පෙර අදාළ අංශ විසින් මේ ප‍්‍රවේශය ගත යුතුයි.

මවුපිය සෙනෙහස හා රැුකවරණය නිවැරදිව ලබාදීම මගින් ඉතා සාර්ථක අඩු වයස් ගැබ් ගැනීම් පාලනය කළ හැකියි. මවුපිය සෙනෙහස හා රැුකවරණය නොලැබෙන විට දරුවන්/ දැරියන් වෙනත් අයගේ ආදරය හා රැුකවරණය සොයා යන බව අප වටහා ගත යුතුයි. සල්ලි පස්සේ හෝ රාජකාරිය පස්සේ දුවන අවිවේකී ජීවිතය විසින් තමන්ගේ දරුවන් තමන්ට අහිමි කරන බව දෙමාපියන් වටහා ගත යුතුයි. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට පිටරට යාම මෙන්ම පැය 24 ම රාජකාරි කරන මවුපියන් නැවත නැවතත් තමන්ගේ පියවර ගැන සිතා බැලිය යුතුයි. මොකද අපි ඉහතදීත් සාකච්ඡ කළ ආකාරයට මව විදේශගත වූ පවුල්වල දැරියන් ගැබ් ගැනීම්වලට ලක්වීමට ඉතා ඉහළ හැකියාවක් තිබෙනවා.

පවුලක වටිනාමක අද බොහෝ දෙනකු නොදන්න දෙයක්. මව පියා, දරුවන් බොහෝ විට එකිනෙකාගේ මුහුණුවත් නොදකින කනගාටුදායක තත්ත්වයක් අද අපේ සමාජය හමුවේ තිබෙනවා. උදේ පාන්දර පාසල් වෑන් එකට නඟින දැරිය ටියුෂන් පන්ති ගිහින් යළි ගෙදර එන්නේ ගොංමන් අඳුරේ. ඇයට මව පියා සමග කතා කරන්න අවස්ථාවක් නැහැ. මවුපියොත් එවැනිම අවිවේකී අය නම් දරුවන්ට අත්වන ඉරණම ඉතාම අභාග්‍යසම්පන්නයි.

අපි අපේ දරුවන්ට සමාජය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදිය යුතුයි. ගෙවල් ඇතුළේ දාගෙන, හිරකර ගෙන හදන දරුවන් සමාජයට වැටුණු මොහොතෙම වල්මත් වෙනවා. මුලා වෙනවා. ඒ නිසා යහපත් සමාජ අවබෝධයක් අපි අපේ දරුවන්ට ලබාදිය යුතුමයි. එවැනි පියවර මගින් බොහෝ යහපත් දේ ලබාගත හැකියි. අපි රටක් හා සමාජයක් වශයෙන් අපේ හෘද සාක්ෂිය පිරිසිදු කර ගැනීමට නම් අඩු වයස් ගැබ් ගැනීම්වලට තිත තැබිය යුතුමයි. ■

ඇහැලියගොඩ ප‍්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක සිසිත ගමගේ මහතා සමග කළ සාකච්ඡවක් ඇසුරිනි.
සම්පාදනය
තුෂාල් විතානගේ

Recommended For You

About the Author: Editor