ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට සැකපිට අත්අඩංගුවට පත් වුණොත් රැකියාවත් ඉවර වෙන හැඩ

ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවලට සම්බන්ධ විමර්ශනවලදී අත්අඩංගුවට පුද්ගලයින් පිළිබඳ වාර්තා ඔවුන් රැකියා කරන ස්ථානවලට දන්වා යැවීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් අධිකාරීවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ,

”ඊයේ සහ පෙරේදා වයඹ පළාතේ පොලිස් කොට්ඨාශ කිහිපයක සහ ගම්පහ පොලිස් කොට්ඨාශයේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සිදුවූ නොසන්සුන්කාරී හා ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 78 දෙනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අදාළ ප‍්‍රදේශවල මහේස්ත‍්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ වගේම මෙම සිදුවීම්වලට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මේ වන විට සිදුවෙනවා. දැනට පොලිස් භාරයට ගෙන ඇති වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ සිද්ධියට සම්බන්ධ වුණු සැසකරුවන් අනාවරණය කර ගැනීමට කටයුතු සිදුවෙනවා.

මේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට සම්බන්ධ, විමර්ශනවලදී හඳුනා ගන්නා සැකකරුවන් ඔවුන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවට ඔවුන් රැකියාව කරන ආයතනවලටත් දන්වා යැවීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ ආයතනවලින් ඉල්ලීම් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා”

මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 85 දෙනකු මේ වන අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ රඳවා ගෙන ප‍්‍රශ්න කරමින් සිටින බවයි.

Recommended For You

About the Author: Editor