කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් සදහා වන්දි

2019.04.21 දින  කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය 89 දෙනෙකු සහ තුවාල ලැබූ 130 දෙනෙකු සදහා වන්දි ප්‍රදානය කිරීම අද (16) දින මීගමුව, තබවිට කාදිනල් කුරේ දේවස්ථානයේ දී සිදු කෙරිණි.

සංචාරක, ක්‍රිස්තියානි කටයුතු  හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති, හානිපූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂක ආනන්ද විජේපාල යන  මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මියගිය අයෙකු සදහා රුපියල් මිලියනයක මුදලක් ද, තුවාල ලැබූවකු සදහා අදාළ වෛද්‍ය වාර්තා තහවුරු කිරීමෙන් පසු උපරිමය රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත. අද දිනයේ වන්දි ප්‍රදානය කිරීමේ කටයුතු සදහා රුපියල් මිලියන 79 ක මුදලක් හානිපූර්ණ කාර්යාලය විසින් ලබා දී ඇත.

අදාළ සිද්ධීන් වලින් මිය ගිය 147 දෙනෙකු සහ තුවාල ලැබූ 176 දෙනෙකු සදහා මේ වන විට වන්දි ප්‍රදානය කර ඇති අතර රුපියල් මිලියන 140.25 ක මුදලක් මේ  වන විටි අදාළ පාර්ශවයන් වෙත ලබා දී තිබේ.

මෙම වන්දි ලබා දීමේ වැඩසටහන පිළිබදව අවශ්‍ය තොරතුරු හානිපූර්ණ කාර්යාලයේ පහත සදහන් දුරකථන අංක ඇමතීමෙන්  ලබා ගත  හැක. (දුරකථන අංක 011-2575826, 0112-575831, 011-2575813)

මෙම  අවස්ථාවට මීගමුව කලාපයේ අනුනායක හිමි සිස්ෆාන්  ද කෲස් පියතුමා, කොළඹ පදවිය සෙත්සරණ අධ්‍යක්ෂක ලෝරන්ස් රාමනායක පියතුමා, ප්‍රසන්න රොද්‍රගු පියතුමා, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ අධ්‍යක්ෂක එස්.ජලදීපන් මහත්මිය, කාටාන ප්‍රාදේශීය ලේකම් රුවන් කිරිඇල්ල මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.

Recommended For You

About the Author: Editor