දැලි පිහියෙන් කිරි කන ටියුෂන්

පිහියක් යනු කැපෙන නො කැපෙන දෙපැත්තකින් සමන්විතයකි. එසේ නම්, ලොව පවතින සියල්ලෙහි හොඳ හා නරක යන දෙපැත්තක් ඇති බව ධර්මතාවයක් කොට සලකමු. අධ්‍යාපනය තරණය කරන්නන්ගේ සිහින පැය දෙක පිළිබඳ එම ධර්මතාවයෙන් සටහන තබමි.

වෙල් ඉපනැලි තුළ හතු පිපෙන්නේ යම් සේ ද එ සේම එක්තරා කාලයකට තැනින් තැන ටියුෂන් ද හටගනි. මෙසේ හටගන්නා ටියුෂන් කරා අපේ උදවිය පේලි ගැසී යන්නේ අධ්‍යාපනය නමැති ආයුධය තව තවත් මුවහත් කර ගැනීමේ අටියෙනි. පාසලෙන් ගන්නා සිප්සත තව තවත් ප‍්‍රභාවත් කර ගැනීමටයි. එසේ ගොස් හරියාකාරව ටියුෂන් ගන්නෝ නම් මෙසේ ම වන්නේය.

‘‘අවුලා තිබෙන පහනකින් තවත් පහනක් ඇවුලූ කල පහන් තුඩ තෙල් ගෑවී ශෝභාව බබළන්නා සේ එවැන්නෝ ද දිනෙන් දින බබළති’’ ආශාවෙන් යමක් ඉගෙන ගන්නට නම් හොඳම වෙලාව ටියුෂන් වෙලාවයි. ඒ දක්ෂයන්ගේ අරමුණයි. නමුත් සොඳුරු ටියුෂන් කලාව තුළ බියකරු ටියුෂන් මාෆියාවක් ද සැරිසරන බව නොදන්නෝද වෙති.

දින පහක් ගෙවී ගොස් සතියේ ගිමන් හරින සෙනසුරාදා දින තෙක් කුමර කුමරියෝ ඇඟිලි ගනින්නේද උදේ රැයින්ම නගරය බලා පියමනින්නටය. එයින් කොටසක් අධ්‍යාපනය ලබන්නටත්, අනෙකන් තම නිදහස රිසි සේ බුක්ති විදීමටත්ය. පාසල් යන කුඩා වයසේ සිටම දෙමාපියන් ද දරුවන් ටියුෂන් දක්කති. ඒ සමගම මව හෝ පියා ද ටියුෂන් යයි. ඒ ඔවුන්ගේ නිදහස ලබා ගැනීමටයි. මෙවන් ආකාරයට විවිධාකාරයෙන් ටියුෂන් මාෆියාව ක‍්‍රියාත්මක වෙයි.

තමා තුළ නොමැති දක්ෂතා තිබේ යැයි ප‍්‍රදර්ශනය කිරීමට නොමැති බී.ඒ නාමාවලිය යටින් දමාගන්නේ තමා මහා පණ්ඩිතයෙකු යැයි ප‍්‍රදර්ශනය කරමිනි. මොවුන් ටියුෂන් කලාව දූෂණය පත් කරමින් සිටියි. මේ අතර පස් යට සැඟවී තිබෙන මැණික් ඔප දමා වටිනාකමක් ලබා දෙන්නා සේ ටියුෂන් කලාවට පණ පොවනා ගුරු දෙවියන් ද නැතුවාම නොවේ. තමා තුළ තිබෙනා සියලු දක්ෂතා කල එළි දක්වන කලාගාරයක් ලෙස ටියුෂන් ඔවුන් දකියි. තමාගේ හැකියා, දක්ෂතා සියල්ල තම ගෝල පරපුරට ලබාදෙයි. මෙවන් මෙහෙවරක් සිදු කරනා ගුරු දේවතාවන් ට අදක්ෂයෝ මහත් බාධාවකි. අභියෝගකයැයි කීම නම් වටින්නේම නැත. ඒ ගුරුවරුන්ගේ මාෆියාවකි.

මෙතැන් සිට ළමුන්ගේ මාෆියාවේ ආරම්භය සනිටුහන් කරමු. අධ්‍යාපනය තම අවිය කොට ගත් දක්ෂයෝ ටියුෂන් කරා පිය නගන්නේ තම දැනුම ඔප මට්ටම් කර ගැනීමටයිග ඒ අපගේ ඉදිරි පෝලිමයි. ඉදිරි පෝලිමෙන් බිහි වන්නේ බුද්ධිමතුන් යැයි කීම අපේ පුරුද්දයි. අතීතයේ නම් කල් වේලා ඇතිව පන්තිය වෙත පැමිණෙන්නේ ඉදිරි පෙළ අල්ලා ගැනීමටය. නමුත් වර්තමානයේ දී එය උඩු යටිකුරු වී ගොස් ය.

උදෑසනම ගොස් පිටුපස පෝලිම තුළ අසුන් ගන්නා සිසුන් අද බහුල වෙමින් පවතී. මොවුන් කෙසේ හෝ පන්තිය කරා පැමිණෙයි. ඒ විකට ඇඳුමෙන් සැරසී සතියේ ගිමන නිවා ගැනීමටයි. විලාසිතා ඇඳුමෙන් සැරසී නළු නිළියන් සේ මේ යන්නේ පෙම් කලාවටයි. මේ ටියුෂන් කලාවේ එක් ඛේදජනක පැත්තකි. උදෑසනම පැමිණ තම පෙම්වතා පෙම්වතිය සමග ඇතුගල නැරඹීමට යයි. නැතිනම් යන්නේ දළදාව වැඳීමටයි. එසේ ගොස් පන්තිය නිමා වෙන වේලාවටම ආපසු නිවෙස් කරා යන්නෙ හයක් හතරක් නොදත් දරුවන් මෙනි. මෙසේ නොයන්නෝ වැව රවුමේ තම පෙම් සුව විද ගනී. මෙසෙ ගොස් නවතින්නේ ද නැත. කුමර කුමරි බඹසර බිඳගන්නේ කිසිදු චකිතයකින් තොරවය. මෙසේ වන තාක් අධ්‍යාපනය නමැති චේතනාව සිත් සතන් තුලින් වාෂ්ප වී ගොස් ය.

ටියුෂන් යන්නෝ තවත් කලාවක ආරම්භය සනිටුහන් කර ඇත. ඒ කට්ටි පැනීමේ කලාවයි. එය මෙසේ ය. පළමු කණ්ඩායම උදෑසන විවේකය තුළින් පනිති. දෙවැන්නෝ දෙවන විවේකය තුළ පැන ගනිති. තුන්වැන්නෝ පනින්නේ හවස් යාමයේදී ය.

මේ ආකාරයට කට්ටි පනිමින් ටියුෂන් කලාව හෑල්ලු කරන්නේ ද අපිමය.

ගමට කලින් මුලුතැන් ගෙට හිරු උදා කරමින් තිබෙන ආකාරයකින් කන්නට යමක් සාදා එවන්නේ දෙමාපියන් දහසකුත් බලාපොරොත්තු තබාගෙන ය. ගිනි ගහන කර්කශ අව්වේ බිම කොටා සොයාගන්නා පිච්චිය දරුවන්ට දෙන්නේ තමා මෙන් ම දරුවන්ටත් මෙවන් ඉරණමක් අත් වේ යැයි අඳුරු මායාවක් තම හිත් තුළ සැරිසරන නිසාවෙනි.
එහෙත් බොරු ගොතා මෙවන් අහිංසක දෙමාපියන් රවටා දමා තම මූල්‍යය ශක්තිය ඉහළ අගයක පවත්වාගෙන යන ටියුෂන් දරුවෝ පාප කර්ම රැස් කරමින් සිටිති. බුදු රදුන් දෙසූ ලෙස එය දිට්ඨදම්ම වේදනීය කර්මයකි. එයට සාක්ෂි දරමින් විභාග ප‍්‍රතිඵල තම තමනුත් දෙමාපියනුත් අසරණ වන සේ පැමිණේ. මේ දෙමාපියන් රැවටූවට කදිම විපාකයි.

ටියුෂන් යනු ගුරුතුමාගේ දැනුම පිට කරන රසායනාගාරයකි. ඔහුගේ අත්දැකීම්, දැනුම්, ආකල්ප පිට කරන රසායනාගාරයකි. ජාතියක් තනනා පුද්ගලයන් වන්නේ මොවුන් ය. ටියුෂන් කළා කියා ඔවුනටම මඩ ගැසීම මහත් පාපයකි. මහත් තැවුලකි. මෙසේ දැනුම පිට කරන රසායනාගාරය තුළ පුංචි ම පුංචි ගෝලයෙක් වෙන්නට ටියුෂන් යන අපිටත් පුළුවන් නම් කවදා හෝ විද්වතෙක් වන්න හැකි බව මතකයේ රදවාගන්නට ටියුෂන් වේලාව ජීවිතයම එතෙර කරන කලාවක් වනවා නොඅනුමානය. ■

අයි.එම්. ශාලිකා නිශානි බංඩාර

Recommended For You

About the Author: Editor