මක්කම දිසාවට හැරිලා දවසට පස් වතාවක් වඳින්න, හැබැයි ශ‍්‍රී ලාංකිකයෝ වෙලා දෙපයින් හිට ගන්න – චම්පික රණවක

මක්කම දිසාවට හැරිලා දවසට පස් වතාවක් වඳින්න, හැබැයි ශ‍්‍රී ලාංකිකයෝ වෙලා දෙපයින් හිට ගන්න යැයි ඇමැති චම්පික රණවක මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ අද දින සූරියවැව සතිපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සුඛිත පුරවර වැඩසටහනට අනුව රුපියල් ලක්ෂ 1000 ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා පූර්ණ අධික්‍ෂණය යටතේ මෙය ඉදිකර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඔබට මතක් කළ යුතුයි අද මේ රටේ පවතින වාතාවරණය ගැන. සමහරු අපේ ජනතාව බිය වද්දන්න තිබෙන තත්වය, තමන්ට ලැබුණු මන්ත‍්‍රී ධූරය වේවා, එහෙම නැත්නම් වෙනත් ධූරයක් වේවා. එය පාවිච්චි කරලා ජනතාව සමනය කරනවා වෙනුවට, ජනතාව තුළ තිබෙන බිය සැක දුරු කරනවා වෙනුවට, ජනතාවගේ බිය සැක වැඩිකරන්න, දරුවන් පාසල් නොයවා ඉන්න, අපේ පිරිස් ව්‍යාපාර කරන එක නවත්වන්න නොයක් ව්‍යාජ බොරු ආරංචි පතුරුවනවා. ඒ නිසා මේ රට ඉතා ඉක්මනින්ම හොඳ වෙසක් උළෙලක් අපි පැවැත්විය යුතුයි. හැම ගෙදරකම අපි වෙසක් කලාපයක් බවට පත් කළ යුතුයි. ඒ වගේම අපි හැමෝම සාමයෙන් සිට ආරක්‍ෂක අංශවලට අවස්ථාව ලබාදුන්නහම ඒ අයට මේ ත‍්‍රස්තවාදයේ ඉතුරු බිතුරු සියල්ලම  විනාශ කිරීමේ හැකියාව තිබෙන බව ඔබ හැම දෙනාම දන්නවා.

”මුස්ලිම් ජනතාවගේ දේපලවලට එහෙමත් නැත්නම් ඒ අයගේ දේවස්ථානවලට ඉවක් බවක් නැතිව පහර දෙන්න බොරු වීරයෝ පහල වෙලා”

ඒ නිසා අපේ වගකීම තමයි, සාමකාමී වෙලා අනවශ්‍ය කුලප්පු කිරීම්වලට යටවෙන්නේ නැතිව සාමය ආරක්ෂා කරලා දීම. දැන් මේ සිදුවීම උනා. අපි දැනගන්න  ඕනේ මේ ත‍්‍රස්තවාදීන්ගේ උපක‍්‍රමය, ඒ අයට  ඕනේ මේ වැඩේ ගෙනයන්න 8 දෙනෙක් නෙමෙයි 80 දෙනෙක් හදා ගන්න, 800ක් හදා ගන්න, 8000 ක් හදා ගන්න. ඒක තමයි ඒ අයගේ අරමුණ. ඒකට අවශ්‍ය වන විදිහට අපිත් වැඩ කළොත් අසරණ මුස්ලිම් ජනතාවගේ දේපලවලට එහෙමත් නැත්නම් ඒ අයගේ දේවස්ථානවලට ඉවක් බවක් නැතිව පහර දෙන්න බොරු වීරයෝ පහල වෙලා කටයුතු කළොත් කාටද ඒ සේවය වෙන්නේ ත‍්‍රස්තවාදියාටයි එතනින් සේවය සිදු වෙන්නේ. අවශ්‍ය පිරිස බඳවාගන්න තව ත‍්‍රස්තවාදී කි‍්‍රයා කරන්න අවශ්‍ය කරන වටපිටාව හදන්නේ කවුරුවත් නෙමෙයි බොරු ජාතික වීරයෝ වෙන්න දඟලගෙන තැන් තැන්වල  මේ කලබල ඇති කරන අයයි. ඒ නිසා එය අවබෝධ කරගෙන, අපි දන්නවා අපේ ජනතාව බුද්ධිමත් ජනතාවක්. ඒ නිසා අපි අනාගතයේ ඒ සඳහා කි‍්‍රයාකළ යුතු වෙනවා. ඒක බොහොම පැහැදිලියි.

මේක ආරක්‍ෂක අංශවලටම විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක් නෙමෙයි. මේකේ නීති පැති තිබෙනවා, සමාජමය පැති තිබෙනවා, මේකේ දේශපාලනමය පැති තිබෙනවා. අපි මතක තියා ගන්න  ඕනේ අද මේ අන්තර්ජාතික ත‍්‍රස්තවාදය දිව යන්නේ අන්තර් ජාලයෙන්. ෆේස් බුක් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ වෙනත් උපකරණ හරහා. අපිට අලුත් නීති අවශ්‍යයි. විශේෂයෙන්ම මේ ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා නව නීති සම්පාදනය තමයි අපේ පාර්ලිමේන්තුවේ පළවෙනි කාර්ය භාරය විය යුත්තේ. ඒ සඳහා තමයි පක්ෂ පාඨ බේදයකින් තොරව අපි සියළු දෙනාම ඇප කැප විය යුත්තේ. ඒ වගේම අපේ මුස්ලිම් ජනතාවටත් වගකීමක් තිබෙනවා. මොකද මේ පසුගිය දශකයක දෙකක කාලය තුළ මුස්ලිම් ජනතාවගේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය වෙනුවට අපට පෙනුනේ ඇතැම් පිරිසක් උත්සාහ කරනවා අරාබි අනන්‍යතාවයක් මේ රටේ ඇති කරන්න. සිංහල දෙමළ භාෂාව ඉගෙන ගන්නවා වෙනුවට අරාබි ඉගෙන ගන්න. ඒ වගේම අරාබියේ තිබෙන ඇඳුම් පැළඳුම්, සංස්කෘතික ඇවතුම් පැවතුම් අපේ රටට ගේන්න.

”අපි පළමුව ශ‍්‍රී ලාංකිකයෝ විය යුතුයි. අපිත් මේ බෞද්ධයෝ කියලා පාලි භාෂාවෙන් සූරිය වැව බෝඩ් ගහන්න ගියොත් මොකද වෙන්නේ”

ඒ වගේම අධ්‍යාපන ආයතන මද්රාසා විශ්ව විද්‍යාල හරහා වෙනම ලෝකයක් ඒ මුස්ලිම් තරුණ තරුණියන්ට දෙන්නේ. ඒ නිසා තමයි හම්බන්තොට ප‍්‍රදේශයෙත් පුහුණු කඳවුරක් තියලා ත‍්‍රස්තවාදයට පිරිස බඳවාගන්න ඒ අන්තවාදීන් කටයුතු කර තිබෙනවා කියා වාර්තා වී තිබෙනවා. අපි මුස්ලිම් ජනතාවගේ මුස්ලිම් අනන්‍යතාවය පිළිගන්න ගමන් මක්කම දිසාවට හැරිලා පස් වතාවක් දවසට වඳින්න හැබැයි ශ‍්‍රී ලාංකිකයෝ වෙලා ශ‍්‍රී ලංකාව තුළ දෙපයින් හිට ගන්න කියලා අපි මතක් කරනවා. අපි පළමුව ශ‍්‍රී ලාංකිකයෝ විය යුතුයි. අපිත් මේ බෞද්ධයෝ කියලා පාලි භාෂාවෙන් සූරිය වැව බෝඩ් ගහන්න ගියොත් මොකද වෙන්නේ. අපේ ළමයි අපි පාසල් යවන්නේ නැතිව, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු බිහිකරනවා වෙනුවට ආගමික අධ්‍යාපනය පමණක් දෙන්න දවස් හතම වැඩ කළොත් මොකද වෙන්නේ. මේ රටේ එවැනි උන්මත්තකයින්ට ඉඩක් අපි දිය යුතු නැහැ. ආගම තිබෙන්නේ මිනිසුන්ගේ සදාචාරය ගොඩනගන්න. ආර්ථිකය, සමාජ විනය ගොඩනගන්න මිසක් ඔලූවල උන්මත්තකයෝ හදන්න නෙමෙයි කියන එක අපි මතක තබා ගත යුතුයි. 

අපිට  ඕනේ අද මේ හැමෝම දිනන රටක් ඇති කර ගැනීමට එකමුතුව පෙරට යන්න.

අපේ මේ හම්බන්තොට කැරළි කෝළහල වලින් ඇතිවෙන්න බැට කාපු ප‍්‍රදේශයක්. විශාල පිරිසක් ඝාතනයට ලක්වෙලා අතුරු දහන් වෙච්ච ප‍්‍රදේශයක්. අද හොඳ උගත් තරුණ පරම්පරාවක් බිහිකර තිබෙන ප‍්‍රදේශයක්. අපිට නැවතත් මේ ප‍්‍රදේශවල කැරළි දකින්න  ඕනේ කමක් නැහැ. දැන උගත් දරුවෝ පාරවල්වල ටයර් සෑයවල් වල, ඝාතනය කරන්න මරලා දාන්න, අතුරුදහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට  ඕනේ අද මේ හැමෝම දිනන රටක් ඇති කර ගැනීමට එකමුතුව පෙරට යන්න. ඒ වගේම මේ අලූත් තත්වයන් මෙවත් සමග ඇති වෙනවා. 

ඒ වගේම ඊයේ මගේ නිවසට පැමිණියා යාපනය ප‍්‍රදේශයේ  සිංහල දෙමළ ප‍්‍රශ්නය නිසා වසර 30 ක් අපේ මුහුණවත් බලපු නැති දෙමළ දේශපාලන පක්ෂවලට අයිති සමාජ කි‍්‍රයාකාරීන් විශාල පිරිසක්.  ඒ අයටත් දැන් අවශ්‍යව තිබෙන්නේ රට එකමුතු කර ගන්න.  එතුමන්ලා සමග සිදු කෙරුණු කතාබහේදී කියවුනේ මේක විදේශ ත‍්‍රස්තවාදයක්. දේශීය පිරිස සහභාගී උනාට මෙයට අණ ලැබිලා තිබෙන්නේ, මෙහෙයවීම කර තිබෙන්නේ විදේශ ත‍්‍රස්තවාදයකින්. මේක අපි සලකන්න   ඕනේ විදේශ ආක‍්‍රමණයක් හැටියට ඒක නිසා උතුරයි දකුණයි මේ ප‍්‍රශ්නෙදි අපි එකට එකතු විය යුතුයි.  එතුමන්ලා එකට බොහොම බලගතු විදිහට එකඟ උනා. අද යාපනය නගරය ඒ වගේම චාවකච්චේරිය, පේදුරුතුඩුව මේ හැම නගරයක්ම දියුණු කරන්න අද අපි වැඩකරගෙන යනවා. ඒවගේම මෙච්චර කාලයක් අපේ තිබිච්ච උතුරයි දකුණයි බේදය අපේ‍්‍රල් 21 ඇති වූ ත‍්‍රස්තවාදී සිදුවීමෙන් පසුව වියැකිලා ගිහින් අපි හැමෝටම එක රටක් හදා ගන්න ශක්තිමත් තත්වයක් ඇතිවන එක මා හිතනවා සුභ ලකුණක්. අපේ මේ අවසානාවන්ත කි‍්‍රයාවලිය එක්ක ඒ ජීවිත මිය යාමත් සමග ඇති වී තිබෙන සුභ ලකුණක්.

”අන්‍යයන් කෙරේ තිබෙන ඝාතනය නීත්‍යානුකූල කරන්න දරණ උත්සාහයන්වලට විරුද්ධව අපට නව නීතිරිතී අවශ්‍යයි.  එය සිදු කිරීමයි මේ පාර්ලිමේන්තුවේ වගකීම”

ඒ නිසා අපේ පාර්ලිමේන්තුව ඉදිරියේ රැස් උනහම අපි කළයුතු වන්නේ ත‍්‍රස්තවාදය, අන්තවාදය ඒ වගේම ආගමික උන්මත්තකභාවය, ඒ වගේම අපේ රටට උචිත නැති අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන ඒ වගේම ඇවතුම් පැවතුම් වෙනස් කරන්න අවශ්‍ය කරන නීති රීති ගෙන ඒමයි. හදිසි නීතිය යටතේ යම් යම් සංවිධාන තහනම් කළාට, යම් යම් අණපනත් ගෙනාවට ඒවා වලංගු වෙන්නේ හදිසි නීතිය තිබෙනකං විතරයි. ඒ නිසා අපට අවශ්‍යයි තිරසාර සාමයක් මේ රටේ ගොඩනගා ගන්න නව නීති රීති අවශ්‍යයි ත‍්‍රස්තවාදය මැඩලීමට. ඒ වගේම මේ තිබෙන සමාජමය බෙදීම් නතර කිරීමට, වෛරය, ඒ වගේම අන්‍යයන් කෙරේ තිබෙන ඝාතනය නීත්‍යානුකූල කරන්න දරණ උත්සාහයන්වලට විරුද්ධව අපට නව නීතිරිතී අවශ්‍යයි.  එය සිදු කිරීමයි මේ පාර්ලිමේන්තුවේ වගකීම.

253 දෙනෙක් ඝාතනය කළ ත‍්‍රස්තවාදයේ, ත‍්‍රස්තවාදීන් හත් අට දෙනා මිය ගියාට ඒ නරුම මතවාදය, ඒ උමතු ආගමික අන්තවාදය අවසන් වෙලා නැහැ.  ඒක අවසන් කරන්නට නම් අපි පක්ෂ පාට බේදයෙන් තොරව අන්‍යයින්ට චෝදනා කිරීම නවත්වලා සාමය උදා කිරීමේ වගකීම ආරක්‍ෂක අංශවලට ලබාදීලා  අපි අපේ දේශපාලන භේදයෙන් තොරව කෙරෙන වගකීම අපි ඉෂ්ඨ කරන්න  ඕනේ.

මේ සූරියවැව පොළ භූමිය හැමෝටම විවෘතයි. හැමෝම මෙතනට ඇවිල්ලා ව්‍යාපාර කරලා ආර්ථික ප‍්‍රතිලාභ අරගෙන තමන්ගේ දරුවන් මෙතනින් ඔබ්බට අරං යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අලූත් රටකට මේ රට ඔසවා තබයි කියා බලාපොරොත්තු වෙමින් මේ රජය ලබාදුන් මේ ප‍්‍රතිදානය මගින් ඵල ප‍්‍රයෝජන ලබාගෙන තමන්ගේ දරුවනුත් ශක්තිමත් පිරිසක් බවට පත් කරන්න කටයුතු කරන්න යැයි පැවසීය.  

Recommended For You

About the Author: Editor