අරලියගහ මන්දිරයේ බෝධිපූජා පිංකම මැයි 19 දා : මහ ජනතාවට විවෘත ආරාධනයක්

වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 19 වැනි දින සවස 5.30 ට අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධීන් වහන්සේ අභියසදී තෛනිකායික මහ නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බෝධිපූජා පිංකමක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි, බෝධි පූජා සංවිධායක කමිටුවේ සභාපති, සේදවත්ත පුරාණ රජමහා විහාරාධිපති අඹන්වල ඤනාලෝක හිමියෝ අරලියගහ මන්දරයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ.

බෝධිපූජා පිංකමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවීමට නියමිතය. මෙම පිංකමට සහභාගි වන ලෙස අගමැතිතුමා මහ ජනතාවට විවෘත ආරාධනයක් කොට ඇති බැවින්, මේ සදහා සහභාගී වන සැදැහැවතුන් පස්වරු 5.00 ට පෙර සුදුවතින් සැරසී පැමිණිය යුතු බවද උන්වහන්සේ සදහන් කළහ.

මෙම බෝධිපූජා පිංකම මගින් තිස් අවුරුදු යුද්ධය අවසන් කොට රට වැසියන්ට සාමය උදාකිරීමේ 10 වැනි සංවත්සරය සමරා රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පිං පැමිණවිමද , පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දිවි අහිමිවූ සහෝදර ජනතාවට පිං පැමිණවීම හා තුවාල පැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කොට සෙත් පැතීමටද බලාපොරොත්තු වන ඤනාලෝක හිමියෝ පැවැසූහ.

මෙහිදී අගමැතිවරයා අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේ විෂයේ චීවර පරිශ්කාර පූජාව හා සමන් පිච්චමල් පූජාව සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝ රත්නය විසින් ආශිර්වාද බෝධිපූජා පිංකම සිදුකරන බවද ඤාණාලෝක හිමියෝ පැවැසූහ.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය උපදේශක නීතීඥ සුදර්ශණ ගුණවර්ධන මහතා සඳහන් කළේ කලින් වසර වලදී වෙසක් උළෙල නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ ධාතු ප්‍රදර්ශන, වෙසක් කලාප ආදිය පැවති නමුත් රටේ උද්ගත වී ඇති තත්වය අනුව මෙවර ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් දෙමින් චාම් අන්දමින් මෙම බෝධි පූජාව පවත්වන බවත් මේ සදහා රජයේ මුදල් වැය කිරීමක් සිදු නොකෙරෙන බවයි.

Recommended For You

About the Author: Editor