ලංකාවට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ කඩිනමින් නීති ගේනවා – අගමැති

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා, එතුමාගේ අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ අපි අද (17) සාකච්ඡා කළා. විශේෂයෙන් මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ එම කෙටුම්පතට එකතු විය යුතු සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කළා.

තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවත්, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කොට සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙරටට ශරියා විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා.

එම නිසා විශ්ව විද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන සියලූ දෙනාටම විවෘත විය යුතුයි. සියලූ දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව සෑම ආගමකම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.

මෙම සාකච්ඡාවට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ නීති උපදේශක බිම්බා තිලකරත්න මහත්මිය, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරුන් වන මෙරින් පුල්ලේ, අසාත් නවාවි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ

Recommended For You

About the Author: Editor