අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස් කරනවා – ජනපති

අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම වෙනුවෙන් ඊයේ (18) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ පැවැති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයෙකු මෙවන් අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බන්ධනාගාර භූමියට ගොස් නිදහස ලබන රැඳවියන් ආමන්ත‍්‍රණය කළ ප‍්‍රථම අවස්ථාව ද මෙය යි. එමෙන්ම බන්ධනාගාර රැදවියන්ගේ හඬට ඇහුම්කන් දීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 දෙනෙකු අද දින නිදහස ලැබූ අතර තමා අතින් නිදහස්වීමේ ලිපි ලැබූ සියලූ රැවියන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපතිවරයා එම සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ අද ලබන මෙම නිදහස තම ජිවිතය අර්ථවත්ව ගත කිරීමට යොදා ගන්නා ලෙසයි.

අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා අද දින නිදහස ලබන සියලුදෙනාට තම අනාගතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදනම් බව කියා සිටියේය.

ඒ අනුව අද දින නිදහස ලබන පිරිස අතරින් ස්වයං රැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසා බලා ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපති බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

Recommended For You

About the Author: Editor