අපි කරු අයියට හරි බයයි – ප‍්‍රවීන ගායිකා රූපා ඉන්දුමතී

ශී‍්‍ර ලංකා ගුවන්විදුලියෙන් බිහිවුණ විශිෂ්ට ගායන ශිල්පිනියක් රූපා ඉන්දුමතී. මේ ඇය සමග lankaepress කළ සොඳුරු කතාබහක්.

පවුලෙ විස්තර වලින් කතාව පටන් ගනිමු.

මම කිරුළපනේ ඉපදුනේ. තාත්තා සයිමන් පීරිස්. අම්මා ඩොටී ජයසේකර. මට ඉන්නවා අයියයි, අක්කයි, නංගිලා දෙන්නයි.මල්ලිලා දෙන්නයි. අපි හත්දෙනෙක්.

පාසල් අවධිය ?

මම ගියේ වැල්ලවත්ත ශ‍්‍රී ලංකාධාර බාලිකා විද්‍යාලයට. ඊට පස්සෙ ගියා නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයට වැඩිදුර ඉගෙනීමට.

ඔබ කලා ක්ෂේත‍්‍රයට එකතුවෙන්නෙ කොහොම ද ?

මම ගියේ බලපොකුණ පුරාණ දහම් පාසලට. එතනදි මට කවි ගායනා තරගයෙන් පළවෙනි ස්ථානය ලැබුණා. එහිදී අපේ තෑගිදීමේ උත්සවයට ඇවිල්ලා කරුණාරත්න අබේසේකර මහත්මයා අපේ විදුහල්පතිතුමාට, බස්නායක සර්ට කිව්වා මාව එක්කරගෙන එන්න කියලා සරස්වතී මණ්ඩපයට. ළමා පිටියට.

ඉතින් ?

ළමා පිටියට මම ගියා. මම ගිහිල්ලා වසර 5ක් 6ක් විතර හිටියා සරස්වතී මණ්ඩපයේ. සමූහ ගායිකාවක් වශයෙන් තමයි ගොඩක්දුරට හිටියේ.

කලාවට අවතීර්ණ වෙන්න පාසලෙන් ලැබුණු දායකත්වය ?

පාසල් දෙකේදිම මම ඉගෙන ගත්තේ උඩරට නැටුම් කලාව. සෝමපාල මුදුන්කොත්ගේ යටතේ පුද්ගලිකවත් නැටුම් කලාව ඉගෙන ගත්තා. සමස්තලංකා නැටුම් තරගවලින් වගේම ගායන තරගවලින් ප‍්‍රථම ස්ථානය ලබා ගත්තා.

ඔබට මේතරම් දිගු ගමනක් එන්න උදව් කළේ කවුද ?

දහම් පාසලේ විදුහල්පති තුමා. ළමා පිටියේන් සරල ගී පරීක්ෂණයට සහභාගි වුණා. ඉතින් මට ගුවන්විදුලියේ සේවය කරපු මගේ හැම යාළුවෙක් ම වගේ උදව් කළා.

සරස්වතී මණ්ඩපයේ මතකය ?

ඒ කාලේ සරස්වතී මණ්ඩපයේ ගොඩක් ගායක ගායිකාවො හිටියා. මල්කාන්ති පීරිස් වගේ. ඉතින් මම ළමා පිටියේ ලොකු ගායිකාවක් වශයෙන් නෙවෙයි හිටියෙ. ගොඩාක් දුරට ගායනා කළේ සමූහ ගායිකාවක් වශයෙන්.

පේ‍්‍රමකීර්ති අල්විස්ගේ ප‍්‍රථම ගීපද රචනය ගායනයට සම්බන්ධ වෙනනේ කොහොමද?

සරල ගී ගායිකාවක් වශයෙන් සමත් වෙලා සරල ගී වැඩසටහන් කරන්න ආරම්භ වුණේ එතකොට. සරල ගී වැඩසටහනට ස්ටැන්ලි ප‍්‍රනාන්දු, මිස්ටර් ගලිගමුව යන මහත්වරු දෙන්නම උදව් කළා. සංගීතය සපයලා ඔක්කම කරලා දුන්නා. ඊට පස්සෙ සනත් නන්දසිරි මහත්මයා ඉන්දියාවෙ ඉඳලා ඇවිල්ලා අපේ හිතවතෙක් ඉන්නවා සින්දු ලියන කිව්වා. ඉතින් සනත් නන්දසිරි මහත්තයා තමයි සංගීතය සැපයුවේ. මගේ හිතවත් යාළුවෙක් මල්කාන්ති පීරිස්, ළමා පිටියෙ ඉඳලම අපි දන්නා යුග ගීතයක් ගායනා කරමු කියලා ආරාධනා කරපුවම ඉතින් සනත් අයියගෙ සංගීතයට පේ‍්‍රමකීර්ති අල්විස් මේ ගීතය රසවින්දා. පේ‍්‍රමකීර්ති අල්විස්ගෙ පළවෙනි ගීතය තමයි ඒ ගායනා කළේ. මම ඉතින් ඒ ගැන ආඩම්බර වෙනවා.

කරුණාරත්න අබේසේකරයන් සමග කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම්වල මතකය ?

කරුණාරත්න අබේසේකර

ඇත්තටම අපි ගොඩක් බයයි කරූ අයියට. මොකද කරූ අයියා වසයි. වසයි කියන්නෙ ඒ වැඩසටහනට. ඉතින් අපි සින්දු වරද්දන්නෙ නැතිව සජීවීව ගායනා කළා. ඒ වැඩසටහනෙන්. වෙලාවටම වගේ ම එයා කියන විදිහටම ගීත ගායනා කරනවා. වරද්දන්නෙ නැහැ. හරි හොඳයි ඉතින් ඒ ළමා පිටිය තමයි මගේ ජීවිතයෙන් අමතක කරන්න බැරි.

සමූහ ගායිකාවක් වශයෙන් කටයුතු කිරීමේ දී රූපගෙ හිතවත් පිරිස ගැන මතකය අවධි කළොත් ?

පොඩි කාලෙ ඉඳලම මම හරි දක්ෂයි. නාට්‍ය ශිල්පිනියක්, චිත‍්‍රපට පසුබිම් ගායිකාවක් වශයෙන් සමූහ ගායනයෙන්, ලතා වල්පොල, සුජාතා අත්තනායක, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, එස්. බී. රාණි, එච්. ආර් ජෝතිපාල, මොහිදින් බෙග් මහත්මා ආදී සියලූම අය එක්කලා මම සමූහ ගායිකාවක් වශයෙන් සහභාගි වුණා මම පොඩි කාලේ.

ඒ වගේම චිත‍්‍රපටවල යුග ගී ගායිකාවක් ?

හැම චිත‍්‍රපටයකම වගේ යුග ගීත ගායනා කරලා තියෙනවා. මිල්ටන් පෙරේරා, ලක්ෂ්මන් රොද්‍රිගු, එච්. ආර්. ජෝතිපාල, මොහිදින් බෙග් මහත්මයා ඒ හැම එක්කෙනා එක්කම මම චිත‍්‍රපට පසුබිම් ගායිකාවක් වශයෙන් ගීත ගායනා කරලා තියෙනවා. චිත‍්‍රපට 25කට.

මතකද ඒ චිත‍්‍රපටි ?

මිනිසුන් අතර මිනිසෙක්, අබුද්දස්ස කාලේ, ආශා, කළ කළ දේ පළ පළ දේ වැනි චිත‍්‍රපටවල.

අවසාන වශයෙන් අපි කතා කරමු කලා ලොවේ ඔබගේ ආදරණීයයන් පිළිබඳව

ඇත්තටම මට උදව් කරපු අය අතරේ අපේ ගුවන් විදුලියේ ස්වය කරපු අය ගොඩක් ඉන්නවා. ඒ දවස්වල හොඳ ජනපි‍්‍රය නිවේදිකාවන් වශයෙන් හිටියා රත්නාලංකාර අබේවික‍්‍රම, දයා ද අල්විස්, කුසුම් පීරිස් මේ අය සියලූම දෙනා මට ගොඩක් උපකාර කළා. මගේ ජීවිතයේ වැඩි තරමක් සංගීතය සපයලා තියෙන්නෙ මොහොමඞ් සාලි මහත්මයා. අද අපේ අතර නෑ. වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, මර්වින් වගේ සංගීතය සපයලා තියෙනවා.
1979 දි ඉන්දියාවෙන් ඇවිල්ලා ප්‍රොෆෙසර් දීපාල් නාත් මහත්මිය අපිව වර්ගීකරණය කලා සියලූම සංගීත කලාකරුවන්ව. ලංකාවේ 7ත් වන ස්ථානයේ විශිෂ්ට ශ්‍රේණියට මම සමත් වුණා ඒක තමයි මගේ ජීවිතයේ කඩඉම.

සංවාදය සහ සටහන – ශානිකා සුලක්ෂි තිලකරත්න

Recommended For You

About the Author: Editor