ඉරිදා විමසුම – සජිත්ට ප‍්‍රති ත‍්‍රස්ත පනත ඇලජික් ඇයි ?

‘‘ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම දිය යුතුයි’’ මේක ප‍්‍රකාශය මේ දිනවල අතිෂය ජනප‍්‍රියයි. පසුගිය කාලේ ජනපති සිරිසේන ‘‘කුඩුු ජාවාරම්කාරයින් එල්ලන ඕනෑ’’ කියන කොට ලැබුණු ඔල්වරසන් හඬට වැඩිය ඔස්වරසන් හඬක් ත‍්‍රස්තවාදීන් එල්ලලා මරන්න ඕනෑ කියන යෝජනාවට ලැබෙනවා.

ඒත් ත‍්‍රස්තවාදීන් එල්ලලා මරන්න ඕනෑ කියන කතාව ඇත්තට කරන්න බැරි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ කියනවා. ඔහු අවධාරණාත්මකව කියන්නේ ත‍්‍රස්තවාදීන් සම්බන්ධ නීති තියෙන එකම පනත වන ‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’’ එහෙම ප‍්‍රතිපාදන නැති බවයි. ඒ නිසා 1975 දී යාපනය නගරාධිපති ඇල්ප‍්‍රඞ් දොරේඅප්පා ඝාතනයෙන් ආරම්භ වී දස ලක්ෂ සංඛ්‍යාත සිිවිල් වැසියන්, දේශපාලනඥයින් ඇතුළු මිනිසුන් මරා දැමූ කොටි සංවිධානය ප‍්‍රමුඛ බෙදුම්වාදීන්ට මරණ දඬුවම දෙන්න ආණ්ඩුවට බැරි වුණ බවත් අගමැතිවරයා කියනවා. අගමැතිවරයා වැඩි දුරටත් කියන්නේ කොටි නායක ප‍්‍රභාකරන්ට එරෙහිව අපරාධ චෝදනා පවා ගොනුකරන්න පැහැදිලි සාක්ෂි ලැබුණේ මහ බැංකු බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව කියලා.

අගමැතිවරයා කියන මේ කතාව බොරුවක් නොවන බව නීති ක්ෂේත‍්‍රයෝ ප‍්‍රවීනයෝ පවා කියනවා. නීති පොතේ නැති නම් ඉන් එහාට කරන්න දෙයක් නැහැ. ශිෂ්ට ලෝකය පිළිගන්නේ එවැනි අදහසක්.

ප‍්‍රති ත‍්‍රස්ත පනත

වත්මන් ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා ජයග‍්‍රහණය කළේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් ඉටුකරන බවට පොරොන්දු දෙමින් බව අපි කිසි විටෙක අමතක නොකළ යුතුයි. ඒ අතර 1979 දී සම්මත කළ මේ වන විට යල් පැනගිය හෝ කාලීන නොවූ පනතක් වන ‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’’ යළි සංශෝධනය කිරීම හෝ ඊට වඩා නවීන, ඉදිරිගාමී පනතක් ගෙන ඒමේ අවශ්‍යතාවත් අවධාරණය වී තිබුණා. සාම්ප‍්‍රදායික පාක්ෂිකයින් නොවන පොදුවේ ‘‘පාවෙන ඡුන්ද’’ වශයෙන් සැලකෙන ඡුන්ද සැලකිය යුතු ප‍්‍රමාණයක් මේ ඉදිරිගාමී දේශපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ‘හංසයා’ ඉදිරියෙන් ලකුණු වුණා.

ඒ වගේම ‘‘ජනමත ප‍්‍රධානීන්’’ වශයෙන් ද සැලකිය හැකි මේ පිරිස සාමාන්‍ය ජනතාව වෙත කළ මතවාදී බලපෑම නිසා ‘‘හංසයාට’’ වර්ණවත්භාවයක් ලැබුණා. ඒ නිසා හංසයා එදා තියුණු ජයග‍්‍රහණයක් ලැබුවා. ඒ නිසා අද වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ කිහිප දෙනකුගේ පමණක් හිස මත තිබෙන ව්‍යාපෘතියක් වන ‘‘ප‍්‍රති ත‍්‍රස්ත පනත’’ හුදු අහම්බයක් හෝ අවජාතික යෝජනාවක් නොවෙයි. හංසයා ඉදිරියේ කතිරය වැටෙන විට ගොනුව තිබූ පොදු සම්මුතියේ එක් අංශයක්.
ප‍්‍රති ත‍්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන විට ඊට මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන කණ්ඩායම සේම ජනතා විමුක්ති පෙරමුණ ද විරෝධය දැක්වීම පහසුවෙන් වටහා ගත හැකියි. මහින්දගේ විරෝධයේ තිබෙන්නේ ‘‘බලය’’ ජවිපෙ විරෝධයේ තිබෙන්නේ ‘‘හුදු සාම්ප‍්‍රදායිකත්වය’’. ඉන් එහා ගිය කිසිවක් මේ විරෝධයේ නැහැ.

පශ්චාත් පාස්කු ඉරිදා ලංකාව

ප‍්‍රති ත‍්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මාස කිහිපයක් පුරා ඒ ගැන තිබුණ දැඩි විවේචන හමුවේ වුණත් එජාපය එය සම්මත කරගත යුතුව යන මතයේ සිටියා. අගමැතිවරයා ඒ පිළිබඳව සැලකිය යුතු දේශපාලන අධිෂ්ඨානයකුත් ප‍්‍රදර්ශනය කළා.

අපේ‍්‍රල් 21 වැනිදා, පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වුණේ මේ ප‍්‍රති ත‍්‍රස්ත පනත වේදිකාවේ තිබියදීයි. එම ප‍්‍රහාරය එජාප ආණ්ඩුව වෙත එල්ල වූ මාරාන්තික ප‍්‍රහාරයක් වුණත් එජාපය නොවැටී ඊට මුහුණ දුන් බව පහසුවෙන් බැහැර කළ නොහැකියි. ඒ අතර එජාප නායකත්වය යළි යළිත් ප‍්‍රති ත‍්‍රස්ත පනතේ අදාළත්වය අවධාරණය කළා. එජාපයේ අදහස වුණේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් නිර්මාණය වූ නව වාතාවරණයට මුහුණ දීම සඳහා අවශ්‍ය නෛතික ව්‍යුහය, නැතහොත් නීති සම්පාදනය සඳහා දැනට ක‍්‍රියාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රමාණවත් නොවන බවයි.

එජාපයේ මේ මතය සාම්ප‍්‍රදායික විරෝධය හමුවේ පහසුවෙන් යටපත් කළ හැකි වුවත් මධ්‍යස්ථ නීතිවේදීන්ගේ අදහස වන්නේ ද බෙදුම්වාදී ත‍්‍රස්තවාදයක් වෙනුවෙන් 1979 තරම් ඈත කාලයක සම්පාදිත පනතක් ගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණදීමට, ඒ වෙනුවෙන් නෛතික ප‍්‍රතිපාදන සැලසීමට ප‍්‍රමාණවත් නොවන බවයි.

‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත බෙදුම්වාදී ත‍්‍රස්තවාදය තිබූ අවධියේ පවා ඇතැම් අවස්ථාවල ගැටලූ හෝ සීමිතතා ඇති කළා. ඒ වගේම පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ආරක්ෂක අභියෝගවලට එය කිසිසේත් ප‍්‍රමාණවත් නැහැ. ඒත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමග මෙහි ප‍්‍රමාණවත් නොවනභාවය වගේම අදාළත්වයත් දැඩිව දැනුනා. දැන් නව නීති හා යාන්ත‍්‍රණ අවශ්‍යයි’’ ඇතැම් මධ්‍යස්ථ නීතිවේදීන් තර්ක කළා.

එහිදී ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත් වුණ පැහැදිලි කිරීම් අධිපතිවාදී මාධ්‍ය භාවිතය හමුවේ නිසි පරිදි නොව කිසිසේත්ම සමාජගත නොවුණ බව පැහැදිලිව පෙනී ගියා. ඒ වෙනුවට ශක්තිමත් හා අඛණ්ඩව සමාජගත වුණේ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කණ්ඩායම විසින් ඉදිරිපත් කළ ‘අවස්ථාවාදී ප‍්‍රවේශය’යි. එනම් ප‍්‍රති ත‍්‍රස්ත පනත බෙදුම්වාදයට උඩගෙඩි දෙන (බෝනස් දෙන) ආණ්ඩු විරෝධීන් මර්ධනය කරන පනතක් බවයි.
එහෙත් මෙහිදී නීතිවේදීන් පෙන්වා දුන්නේ,

ත‍්‍රස්තවාදීන්ට මරණ දණ්ඩණය ලබාදිය හැකි,
යුද්ධ හමුදාවට ද වැඩි බලතල හිමිවන,
ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයට (ශ‍්‍රී ලංකා භූමියෙන් පිට සිට ත‍්‍රස්වාදයට උපකාර කරන) වැට බැඳිය හැකි, නවීන හා වඩාත් ඉදිරිගාමී පනත වන්නේ ප‍්‍රති ත‍්‍රස්ත පනත බවයි.

මේ ආකාරයෙන් ප‍්‍රති ත‍්‍රස්ත පනත ගැන එජාපය සහ විපක්ෂය පිල් බෙදී වාද කරමින් සිටින අතරතුර පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප‍්‍රකාශනයක් ලෙස ‘‘ඉස්ලාම් අන්තවාදීන් / ත‍්‍රස්තවාදීන් එල්ලා මැරිය යුතුයි’’යන අදහස දැඩිව සමාජ ගත කිරීමට ඇතැම් අවස්ථාවාදීන් පහසුවෙන් පියවර ගත්තා. ඔවුන් මේ ආකාරයේ ආකර්ෂණීය ප‍්‍රකාශ කරන්නේ හුදු ජනප‍්‍රියත්වය හෝ ගැලරිය පිනවීමට විය හැකියි. ඒ හරහා ඉතාම ලාබ ජනප‍්‍රියත්වයක් ද ඔවුන්ට කෙටි කාලයකින් ලබාගත හැකියි.

ඒත් ප‍්‍රශ්නය වන්නේ ‘‘නීති පොතේ නැති නීතියක් අනුව ත‍්‍රස්තවාදීන් එල්ලලා මරන්නේ කොහොමද ?’’ යන්නයි. ඇත්තටම එවැනි නෛතික ප‍්‍රතිපාදන ලංකාවේ නීතිය තුළ නැහැ.

එසේ නම් ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයින් මෙවැනි ලාභ, ගැලරි කතා කියන්නේ හුදු ජනප‍්‍රියත්වය බලාගෙන බව පැහැදිලියි. ඒ වගේම ව්‍යවස්ථා (නීති) හදන තැන සිටියත් ඔවුන්ට ව්‍යවස්ථා/නීති ගැන තිබෙන අල්පමාත‍්‍ර දැනුම ගැනත් පැහැදිලියි.

අනෙක් අතින් තවත් කරුණක් ප‍්‍රශ්න කළ හැකියි. නීතිය අනුව ‘‘රාජ්‍යයට එරෙහිව සිදුවන සියලූ දේ’’ ත‍්‍රස්තවාදයට ඇතුළත් කළ හැකියි. ඒ අනුව 1971 වගේම 1988-89 ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයත් අයත් වන්නේ දේශපාලනිකව වගේම නෛතිකව ‘‘ත‍්‍රස්තවාදී ක‍්‍රියා’’ වලටයි. ඒ වගේම 1975 සිට 2009 මැයි 19 වැනිදා දක්වා එල්.ටී.ටී.ඊය ප‍්‍රමුඛ බෙදුම්වාදී සංවිධාන කළ සියලූම ක‍්‍රියා ද අර්ථ ගැන්වෙන්නේ ‘‘ත‍්‍රස්තවාදී ක‍්‍රියා’’ වශයෙනුයි. ඒ අනුව එම සංවිධානවල සිටි සියලූම දෙනා ද ‘‘ත‍්‍රස්තවාදීන්’’ විය යුතුයි.

අද පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් වියරු වැටී සිටිනවුන් කියන ආකාරයට ‘‘ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම දුන්නා නම්’’ 1971 වගේම 1988-89 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි සියලූ දෙනාටත්, එල්.ටී.ටී,ඊ ය ප‍්‍රමුඛ සියලූම බෙදුම්වාදී සංවිධානවල සාමාජිකයිනුත් මේ කියන ආකාරයට ඊනියා මරණ දඬුවමට ලක් කළ යුතුයි.

ඩග්ලස් දේවානන්දා, කරුණා අම්මාන්, පිල්ලෙයාන්, කේ.පී, දයා මාස්ටර් වගේ හිටපු බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් පමණක් නොවන 2009 මැයි 19 වැනිදා හමුදාවට භාර වූ හෝ අත්අඩංගුුවට පත් 12,000කට අධික කොටි සාමාජිකයින්ටත් මරණ දඬුවම හිමිවිය යුතුයි.

මේ අනුව අපට පැහැදිලි වන්නේ ‘‘ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම දීම’ හිතන තරම් පහසු හෝ වාසිදායක එකක් නොවන බවයි.

සජිත් පේ‍්‍රමදාස සහ ප‍්‍රති ත‍්‍රස්ත පනත

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමග ඉස්ලාම් අන්තවාදීන් /ත‍්‍රස්තවාදීන් එල්ලා මැරිය යුතුයි (මරණ දඬුවම දිය යුතුයි) යන ලාභ සටන් පාඨය ඉදිරියට ගෙන ගිය දේශපාලනඥයින් අතරේ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසත් ඉදිරියෙන්ම සිටින ආකාරයක් අපි දැක්කා.

සජිත් තමන්ට හුරු පුරුදු මහ හඬින් ‘‘ත‍්‍රස්තවාදීන් එල්ලා මැරිය යුතුයි’’කියලා බෙරිහන් දෙන කොට ඔහු වටා සිටි ජනතාවත් හුරේ දාන ආකාරය අපි දැක්කා.

ඒත් වත්මන් නීතිය අනුව ත‍්‍රස්තවාදීන් එල්ලන්න බැරි බව දැන දැනම හෝ (බොහෝ විට නොදැන) සජිත් ත‍්‍රස්තවාදීන් එල්ලන්න යෝජනා කරන විට එජාපය හිටියේ ‘‘නීති නැත’’ කියන අදහසට වඩා ඉදිරියට ගොස් ‘‘ත‍්‍රස්තවාදීන් එල්ලන්න නම් ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කරලා දෙන්න’’ යන ස්ථාවරයේ.

ඒත් සජිත් පේ‍්‍රමදාස එජාපයේ ස්ථාවරයේ රැුදෙනු වෙනුවට හුදු ගැලරිය පිනවන කතා කියන ආකාරය අපි දිගින් දිගටම දැක්කා.

මේ අතරේ සජිත් තවත් පියවරක් නොව පියවර කිහිපයක්ම ඉදිරියට ගියා.
අගමැති රනිල් වික‍්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රමුඛ එජාපයේ ප‍්‍රබලයින් ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කර ගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටියදී එජාපයේ නියෝජ්‍ය නායකයා වන සජිත් පේ‍්‍රමදාස පසුගිය දා ‘‘ප‍්‍රති ත‍්‍රස්ත පනත අවශ්‍ය නැති බව’’ අවධාරණය කළා.

සජිත්ගේ මේ ප‍්‍රකාශය එජාප පාක්ෂිකයින් තුළ පැහැදිලිව කම්පනයක් ඇති කළ බව පැහැදිලි කරුණක්. එජාප නායකයා ප‍්‍රමුඛ කණ්ඩායම ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කර ගැනීමට නොනවතින අරගලයක නියැළී සිටියදී එජාපයේ නියෝජ්‍ය නායකයා (ඇතැමුන්ට අනුව එජාපයේ මීළඟ ජනපති අපේක්ෂකයා) පක්ෂයේ / ආණ්ඩුවේ ස්ථාවරයට සපුරා පටහැනි ස්ථාවරයක් ප‍්‍රකාශයට පත් කිරීම පක්ෂය තුළ හා පාක්ෂිකයින් තුළ ප‍්‍රබල කම්පනයක් ඇති කිරීම පුදුමයක් නොවෙයි.

සජිත් මෙතැනින් කොතැනටද ?

එජාප ආණ්ඩුවේ ස්ථාවරයට සපුරා පටහැනි ස්ථාවරයක් ප‍්‍රකට කරමින් සජිත් ප‍්‍රති ත‍්‍රස්ත පනත එපා කියන්නේ ඔහු විසින් නායකත්වය දෙන ‘‘ගමේ ඡුන්දදායකයින්’’ පිනවීමට හෝ ඔවුන් සමග ඒකාත්මික වීමට බව ඉතාම පැහැදිලියි.

ඒත් ප‍්‍රශ්නය වන්නේ සාමාන්‍ය ඡන්දදායකයින්ට වඩා ඉදිරියෙන් සිටිය යුතු දේශපාලනඥයින්, විශේෂයෙන් ලංකාව වැනි අති සංකීර්ණ රටක පාලකයා වීමට සිහින දකින පුද්ගලයින් ජනතාවට වඩා ඉදිරියෙන් නොසිට ඔවුන් හා සම අසුන් ගැනීමට දක්වන අසීමිත කැමැත්තයි. නැතිනම් ඔවුන්ටත් වඩා පසු පසින් සිට ගැනීමට සූදානම් වීමයි. මෙය හුදු දේශපාලනය ඉක්මවා ගිය ජාතික ඛේදවාචකයක් බව පැහැදිලිව ප‍්‍රකාශ කළ හැකියි.

මේ සමග පැන නගින ප‍්‍රශ්නය වන්නේ ලාබ ජනප‍්‍රියත්වය උදෙසා ත‍්‍රස්තවාදීන් එල්ලා මැරිය යුතු යැයි කියන සජිත් පේ‍්‍රමදාස ඒ සඳහා අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන සම්පාදනයට එරෙහි වෙමින් ‘‘නොකෙරෙන වැඩක් ’’ ගැන අවධාරණය කරමින් (නීති නැති නිසා ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම දිය නොහැකි නිසා) තවත් වටයකින් ජනතාව නොමග යවමින් රට මුහුණ දී සිටින අර්බුදය තව තවත් සංකීර්ණ කිරීමයි. ඒ සමග අසීරුවෙන් පය ඔසවා ගෙන සිටින ආණ්ඩුව තවත් වටයකින් දුර්වල කිරීමයි.

මේ සමග තවත් කරුණක් පැහැදිලි කළ යුතුයි. ඒ ප‍්‍රති ත‍්‍රස්ත පනත එජාප ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූ යෝජනාවක්ව තිබියදීත්, එහිදී එකී පනතට එරෙහිව අරගල නොකළ සජිත් පේ‍්‍රමදාස එළියට පැමිණ ඊට එරෙහිව කරන කතා දැඩි අවස්ථාවාදී ප‍්‍රකාශ බවයි. ආණ්ඩුව බිල්ලට දී තමන්ගේ මල්ල පුරවා ගැනීමට ගන්නා අවස්ථාවාදී ප‍්‍රයත්නයක් පමණක් බවයි.

අපි පසුගිය කාලය පුරාම සජිත් පේ‍්‍රමදාස වෙතින් මෙවැනි අවස්ථාවාදී ප‍්‍රවේශ බොහොමයක් දැක්කා. ඒත් ඒ හැම අවස්ථාවකදීම ඔහු දිගින් දිගටම ප‍්‍රදර්ශනය කළේ එජාපය වැනි සංකීර්ණ සමාජ කණ්ඩායමකට නායකත්වය දෙන පක්ෂයක නායකත්වයට ඔහු කොතරම් නුසුදුසු ද යන්න පමණයි.

සටහන – ඉන්ද්‍රජිත් හේවාවිතාරණ


Recommended For You

About the Author: Editor