නෙත් පිනවන – සිත් සනසන සොබා දහමේ අපූර්වත්වය ‘‘අම්බුළුවාව’’

මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් ගම්පොළ නගරයේ කඳු ශිඛරයක පිහිටියා වූ ජෛව විවිධත්වයෙන් සහ සර්ව ආගමික මධ්‍යස්ථානයක් වන අම්බුළුවා කන්ද දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් අපූර්ව ස්ථානයකි.

ගම්පොළ නගරයේ සෑම ස්ථානයක සිට ම දර්ශනය වන අම්බුළුවා කන්ද උසින් අඩි 358ක් පමණ වේ. සොබාදහමේ අපූර්වත්වයත් සමඟ මිනිස් නිර්මාණාත්මක බව එකට කැටි වුණු අම්බුළුවාවෙහි අසිරිය විඳ ගැනීමට ඔබත් බලාපොරොත්තු වන්නේ ද? එසේ නම් ගම්පොළ සිට හෙම්මාතගම මාර්ගයේ කිලෝමීටර 03ක් පමණ ගිය පසු මෙම සුන්දර ස්ථානයට ළඟා වීමට හැක.

අම්බුළුවාව යන නම පටබැඳීමට හේතු වූ ජනප‍්‍රවාද බොහෝ ය. ඒ අතර වඩාත් ජනප‍්‍රිය කතාව වන්නේ මෙම ප‍්‍රදේශය පාලනය කළ අම්බුළුගල කුමාරයා හා බැඳුණු පුවත ය.

අම්බුළුවාගල කන්ද නැඟීමට ප‍්‍රවිශ්ට වන ස්ථානයේ වූ දොරටුව දේශීය අනන්‍යතාව කියාපාන මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසයෙන් යුත් දොරටුවකි.

මෙම මාර්ගය දිගේ ගමන් කරන ඔබට මෙරටට අවේණික වූ තුරුලතා, අපනයන භෝග ආදියෙන් සමන්විත අලංකාර භූමි ප‍්‍රදේශයක සුන්දරත්වය දැකිය හැක. මෙලෙස ටික දුරක් ගිය ඔබට සියලූ සැප පහසුකම් වලින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් වූ අම්බුඵවාව ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව දිස්වේ.

විවිධ මල් හා පැළැටි වර්ගයන්ගෙන් අලංකාර වූ ශෛලමය උද්‍යානය ඔබගේ නෙත් සිත් පැහැර ගන්නවාට සැකයක් නොමැත. එමෙන්ම මෙම ප‍්‍රදේශයේ වූ ජලාශයන්, මහා පර්වත බඳු කළුගල්, වතුර මල මෙන්ම විවිධ මෝස්තරයන්ට අනුව වගා කළ ඇති තෘණ වර්ග, විශාල ගස් ආදිය ජෛව විවිධත්වයේ අසිරිය කියාපායි.

අම්බුළුවාවේ නිර්මාතෘ දි. මූ ජයරත්න මහතා විසින් නම් කළ ”ගොවිජන සෑය” පිළිබඳ අවධානය යොමු කිරීමේදි ඒ තුළින් කෘෂිකාර්මික සශ‍්‍රීකත්වය නිරූපණය කරයි. එනම් මෙරට ගොවිතැත, එළවළු වගාව සහ පලතුරු වගාව සංකේතවත් කරයි. මෙම චෛත්‍යයේ මුල් කොටස වී බිස්සක හැඩයකින් නිර්මාණය කර ඇති අතර අනතුරුව වට්ටක්කා ගෙඩියක ආකෘතියෙන් යුත් ගර්භය ද, ඉන්පසු කොකෝවා ගෙඩියක හැඩය ද අවසානයේ චූඩා මාණික්‍යකින් සමන්විතය. උසින් අඩි 243ක් පමණ වන මෙහි ඉහළට ගමන් කළ හැකි පරිදි වූ සර්පිලාකාර පඩිපෙළ සැබවින්ම ආනන්දනීයයි. මෙහි ඉහළට නැගීමෙන් පසු මනඃස්කාන්ත ලෙසින් ගම්පොළ පුරවරය මෙන්ම කඳු 50කට ආසන්න ප‍්‍රමාණයක් දැකගැනීමට පුළුවනි.

ආගමික සංහිඳියාව පිළිඹිබුවන සර්ව ආගමික මධ්‍යස්ථාන වන මුස්ලීම් පල්ලිය, හින්දු කෝවිල, ක‍්‍රිස්තියානි දේව මන්දිරය මෙන්ම බුදු මැදුර පමණක් නොව අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුරයක් වූ බෝධින් වහන්සේ සහ ශෛලමය සඳකඩ පහණ බොහෝ දෙනෙක්ගේ වන්දනාමානයන්ට පාත‍්‍ර වේ. තවද දර්ශනීයත්වයෙන් යුත් වැව් 02කින් සහ පොකුණු 18කින් සමන්විත අම්බුළුවාව ඔබ මඟ නොහැර නැරඹිය යුතු අපූර්ව ස්ථානයකි.

සැකසුම – ප‍්‍රසාදිනි ජයලාල්

Recommended For You

About the Author: Editor