නීතිය අනුව නම් ‘‘හිජාබය’’ තහනම් ඇඳුමක් නොවෙයි

මුස්ලිම් කාන්තාවන් අතර ජනප‍්‍රියම ඇඳුමක් වන ‘‘හිජාබය’’ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමග ආරක්ෂක හේතූන් මත තහනම් කරන ලද ඇඳුම් අතරට නොවැටෙන බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් කිහිප දෙනකු සමග සඳහන් කළහ.

ඔවුන් පෙන්වා දුන්නේ ජනපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව පවා හිජාබය තහනම් ඇඳුමක් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද රූප සටහන් සහිතව පසුගිය දා ඉතාම පැහැදිලිව අදහස් දක්වා තිබුණි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ප‍්‍රවීන නීතිඥයෙක් මෙසේ සඳහන් කළේය.

‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් කාන්තාවන් විසින් අඳින ඇඳුම් කිහිපයක් තහනම් කිරීමට ලක් වුණා. ඒත් එම නීතිය සහ ජනතාවගේ නොදන්නාකම නිසා මේ වන විට සමාජයේ ගැටලූ රැසක් පැනනැගී තිබෙනවා. අපි දැක්කා පසුගිය දාක අවිස්සාවේල්ල ප‍්‍රදේශක පාසල් ගුරුවරියන් 10 දෙනෙක් හිජාබය ඇඳගෙන පාසලට පැමිණීම නිසා දැඩි අපහසුතාවකට ලක් වුණා. ඒ වගේම පුත්තලමේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකත් මේ ආකාරයේම ගැටලූවක් ඇති වුණ.

මෙහිදී ප‍්‍රථමයෙන් මේ සම්බන්ධ නව නීතිය වටහා ගත යුතුයි. ජනපතිවරයා විිසින් මහජන ආරක්ෂක පනත අනුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, ‘‘කිසිම තැනැත්තෙකු විසින් ප‍්‍රසිද්ධ ස්ථානයකදී ඒ තැනැත්තාගේ හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි පරිදි ඒ තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවාලනු ලබන යම් ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයන් නොඇඳිය යුතුය. නොපැළඳිය යුතුය’’

මේ සමග ජනතාව අතර ප‍්‍රශ්නයක් ඇති වුණා. ඒ මේ නීතිය මගින් කියන්නේ ‘‘සම්පූර්ණ මුහුණ ද ’’ කියන එක සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් 2019 මැයි 13 දා ජනපතිවරයා විසින් නිකුත් කරන ලද අංක 2123/4 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ලබාගත හැකියි. එහි විස්තර වන්නේ,

‘‘සම්පූර්ණ මුහුණ යන්නෙන් නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වා ද, දෙකන් අතර ද (එහෙත් දෙකන් නොඇතුළත්ව) වන යම් තැනැත්තෙකුගේ මුහුණ අදහස් වේ’’ යනුවෙනුයි.

එහෙත් මේ සමග කියවිය යුතු ව්‍යාතිරේකයක් ද මේ ගැසට් පත‍්‍රයේ තිබෙනවා. ඒ යුද, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂ අංශ සාමාජිකයෙකුට යම් තැනැත්තෙකු හඳුනා ගැනීම සඳහා ඉඩ සැලැස්වීම පිණිස ඒ තැනැත්තා ඇඳ සිටින්නා වූ හෝ පැළඳ සිටින්නා වූ දෙකන් ද ඇතුළත්ව ඒ තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවාලනු ලබන ඇඟළුම්, ඇඳුම්, හෝ වෙනත් ද්‍රව්‍යයක් ඉවත් කරන ලෙස ඒ තැනැත්තාට නියම කරනු ලැබිය හැකි බව’’යි.

මේ අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ මුස්ලිම් කාන්තාවන් විසින් අඳින ‘‘හිජාබය’’ තහනම් ඇඳුමක් නොවන බවයි.

ජනතාව අතර නීතිය සම්බන්ධයෙන් පවතින අල්ප දැනුම වාගේම අවස්ථාවාදීන් සහ අන්තවාදීන්ගේ දැඩි බලපෑම නිසා අද හිජාබය අඳින මුස්ලීම් කාන්තාවන් දැඩිව පීඩනයට ලක්ව සිටින බව අප අමතක නොකළ යුතුයි’’

මෙහිදී තවත් කරුණක් පැහැදිලි කළ යුතුයි. කටුවාපිටිය, මඩකළපුව සිවෝන් දේවස්ථානය ඇතුළු සියලූම ස්ථානවලට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළේ මේ කියන ආකාරයේ හිජාබය, බුර්කාව ආදි සාම්ප‍්‍රදායික මුස්ලිම් ඇඳුම් අඳගෙන නෙමෙයි. තරුණයින් අතර අතිෂය ජනප‍්‍රිය ඩෙනිම, ටීෂර්ටය, හා අද තරුණයින් විලාසිතාවක් වාගේ පිටේ එල්ලාගෙන යන විශාල බෑගය සහිතවයි.

Recommended For You

About the Author: Editor