පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෝදිටත් බෝනස් එකක් වුණා ද ?

ලෝකයේ ලොකුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය වන ඉන්දීය ලෝක් සභා මැතිවරණය ඊයේ (19) අවසන් වුණා. එහි ප‍්‍රතිඵල ගණනය කිරීම 23 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දැන් ඉන්දියාවේ තියෙන්නේ ‘‘ලිහන්න තියෙන මල්ල ඔබා බලනවා’’ වාගේ තත්ත්වයක්. ඒ කියන්නේ දිනන්නේ කවුද ? කොච්චර ආසන දිනා ගනීද ? යන ප‍්‍රශ්න තමයි දැන් ඉන්දියානුවන්ට තියෙන්නේ. තම ජයග‍්‍රහණය ගැන විශ්වාසයක් නැති ලංකාවේ දේශපාලනඥයොත් ජයග‍්‍රහණය පතා යන්නේ ඉන්දියාවේ තිරුපති කෝවිලට නිසා මේ වාගේ ආතතියක් ඉන්දියානුවන් තුළ තිබෙන්න පුළුවන් කියලා හිතුණත් ඒක එහෙම නැති බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ. ඉන්දියානුවෝ බහුතරය නූගත් වුණත් ලංකාවේ අපිට වඩා දේශපාල සාක්ෂරතාව තිබෙන බවයි ඉන් පෙනී යන්නේ.

කොහොම වුණත් මේ වන විට ඉන්දීය ජාතික මාධ්‍ය දැන් දැන් තරගයට වාගේ අනාවැකි කියන්න පටන් අරගෙන තිබෙනවා. ඒත් ඒවා අනාවැකිම කියලා කියන්න බැරි ජනතාවත් හොඳින් දන්න දෙයක් ඔවුන් අනාවැකි, විශ්ලේෂණ ආදී නම්වලින් කියන නිසයි.

ඒ කොහොම වුණත් බහුතරයකගේ අදහස වන්නේ ඉන්දියාව නැවත වරක් භාරතීය ජනතා පක්ෂයේ මෝදි පාලනයට නතු වන බවයි. ඒක 2014 තරම් දැවැන්ත ජයග‍්‍රහණයක් නොවුණත් සැලකිය යුතු ජයග‍්‍රහණයක් බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.

අනාවැකිවලින් කියන කතා

දැන් අපි අනාවැකි දෙසට යොමු වෙමු. එහිදී පළමුවෙන්ම එන්නේ ඉන්දීය මැතිවරණයේ පමණක් නොව දේශපාලන, ආර්ථික ආදි බොහෝ කරුණුවලදී ප‍්‍රමුඛම ප‍්‍රාන්තය වන ‘උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තය’’ පසුගිය 2014 මහ මැතිවරණයේදී මෝදි මෙහි ආසන 80 /71ක්ම දිනා ගත්තා. ඒත් 2019 දී නම් මෝදිට 2014 කළ සෙල්ලම උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තේ දී කළ නොහැකි වනු ඇතැයි අනාවැකි පළ වෙලා තිබෙනවා. ඒ අනුව මෝදි උත්තර ප‍්‍රදේශ්වලදී යම් පසුබෑමකට ලක්විය හැකියි.

මේ අතර මෝදි වර්ණවත් චරිතයක් වී සිටින උතුරු සහ බටහිර ප‍්‍රාන්තවල 2014ට වඩා ජයග‍්‍රහණයක් ලැබිය හැකි බව අනාවැකිකරුවෝ කියනවා. ඔවුන්ට අනුව වාමාංශික නැඹුරුවක් සහිත බටහිර බෙංගාලයේදී ද මෝදි සාර්ථක විය හැකියි.

ඒත් දකුණු ඉන්දියාව නම් මෝදිට ජයබිමක් නොවන බවයි අනාවැකිකරුවෝ කියන්නේ. කර්නාටක ප‍්‍රාන්තය හැර අනෙක් ප‍්‍රාන්තවලින් භාරතී ජනතා පක්ෂය සැලකිය යුතු පසුබෑමක් වාර්තා කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවැකි කියනවා.

ඒත් ඔවුන්ට අනුව භාරතීය ජනතා පක්ෂය නායකත්වය දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය ආසන 242 – 365ත් අතර දිනා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව යළිත් මෝදි ඉන්දියාවේ අගමැති පුටුවට යාම ඉරහඳ වාගේ විශ්වාස දෙයක්.

රාහුල්ට යන කල

ගාන්ධි පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන රාහුල් ගාන්ධිට තම මුත්තා, ආච්චි සහ තාත්තා මෙන් ඉන්දීය අගමැති පුටුවේ වාඩි වෙන්න ඇති වාසනාව තවත් දුර බව ඉන්දීය මාධ්‍ය කියනවා. ඔවුන්ට අනුව ඉන්දිරා කොන්ග‍්‍රසය නායකත්වය දෙන ප‍්‍රගතිිශීලී සන්ධානය දිනා ගනු ඇත්තේ ආසන 77-164ක් වැනි ප‍්‍රමාණයක් පමණයි. එය ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම ශක්තියක් නැති ගණනක්.

වාමාංශික පක්ෂ

ඉන්දියාවේ මුල් යුගයේ ප‍්‍රබල භූමිකාවක් ඉටුකළ වාමාංශික පක්ෂවල ශක්තිය ක‍්‍රමයෙන් දුර්වල වෙමින් තිබෙනවා. ඒ බව මෙම මැතිවරණයේදීත් ප‍්‍රකට වන බවයි ඉන්දීය අනාවැකිකරුවෝ කියන්නේ. ඒ අනුව සමාජ්වාදී පක්ෂය, බහුජන සමාජ් පක්ෂය සහ රාශ්ග‍්‍රීය ලෝක් දාල් පක්ෂය ආසන 69-125ත් අතර දිනා ගනු ඇතැයි ඉන්දීය මැතිවරණ අනාවැකිකරුවෝ ගණන් බලා තිබෙනවා.

ඒත් මේ සියල්ල හුදු අනාවැකි පමණයි. ඉන්දීය මැතිවරණ ඉතිහාසය තුළ මේ ආකාරයේ අනාවැකිවලින් ඇත්ත වී තිබෙන්නේ බොහොම කිහිපයයි. ඒත් ජනතාවට පුරුද්දට වාගේ මේ අනාවැකි ගැන අවධානය යොමු කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ මෝදි

මේ අතර ලංකාවේ එතරම් ජනප‍්‍රිය නැති, අවධානය යොමු නොවූ කතාවක් ද තිබෙනවා. ඒ අපේ‍්‍රල් 21 වැනිදා ලංකාවේ සිදු වූ ඉස්ලාම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරය මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයට නොසිතූ විරූ ආශිර්වාදයක් වූ බවයි. මුස්ලිම් විරෝධය, ඉස්ලාම්භීතිය වපුරමින් මැතිවරණයේ යෙදෙන භාරතීය ජනතා පක්ෂය සහ ඊට පක්ෂපාතී මාධ්‍ය ලංකාවේ ප‍්‍රහාරය තම මැතිවරණ ව්‍යාපාරයට වාසිදායක ලෙස යොදා ගත් බවයි ඔවුන් කියන්නේ. මේ තත්ත්වය උතුරේ අර්බුදය තමිල්නාඩුවේ දේශපාලනය තුළ ප‍්‍රබල වන තරම් නොවුණත් සැලකිය යුතු මතවාදී හා ප‍්‍රචාරක බලපෑමක් කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ නිසා පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෝදිට ලැබුණු අමතර ශක්තියක් නැති නම් බෝනස් එකක් කියලා කියන්න පුළුවන්. මොකද මෝදි යැපුණෙම ඉස්ලාම් අන්තවාදී භීතිය දඩමීමා කරගෙන. ඉතිං අසල්වැසි ලංකාව ඉස්ලාම් අන්තවාදයේ කෙළිබිමක් වන විට එහි වාසිය කාටද ?

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor