අද දින අධිකරණයෙන්

අද දින ජාතික වශයෙන් වැදගත් නඩු රැසක් අධිකරණය හමුවේ විභාග විය. ඒ ඒ නඩු සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවල සාරාංශයක් පහත දැක්වේ.

අගමැතිගේ මන්ත‍්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලූ පෙත්සම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.

ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසිනි.

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් බව කියන සිද්ධිය

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු වූ තම ඥාතී පුත්‍රයා බේරාදෙන ලෙස ඉල්ලා හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් බව කියන පුද්ගලයා ලබන 4 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස්  නැමැති සැකකරු වෙනුවෙන් අල්ලස් ලබා දුන්නැයි කියන ව්‍යාපෘති නිලධාරී අබ්දුල් කපූර් මොහොමඩ් නැමැත්තාය.

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධිය

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්, හිටපු ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් 7 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.

සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සහ එම සිද්ධියට අදාළ විමර්ශනය සිදුකර කඩිනමින් කරුණු වාර්තා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එරෙහි නඩුව

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් එම ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ පියෙකු ගොනු කළ පෙත්සම සහ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයකු විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 21) තීන්දු කළේය.

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා 48 ක් ලබා සිටි  දෙවැනි විත්තිකරු  චෝදනා 48 න් චෝදනා 31 ට වරදකරු බවට  අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා  මහාධිකරණ  විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය තීන්දු කළාය.

ඒ අනුව පළමු දෙවැනි සහ තුන්වැනි චෝදනාවන්ට විත්තිකරුට වසර 20 බැගින් වෙන් වෙන් වශයෙන් වසර 60 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම් කාලය වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට ද නියෝග කරනු ලැබුවාය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට ඇප

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක  මහතා අද නියෝග කළේය. මුදලින් රුපියල් 25000 ක්  සහ ලක්ෂ 50 ශරීර ඇප දෙකක්ද  නියම කෙරිණි.එමෙන්විම දේශ ගමන් තහනම් කළ අතර එය  ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළේය. 

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන

කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම්  ලබන සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනි දා තෙක්  විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය.

Recommended For You

About the Author: Editor