අවසන් සටනට ක‍්‍රිකට් ලෝකය සූදානම් වන හැටි

ක‍්‍රිකට් ලෝක කුසලානය සඳහා ඇත්තේ තව සතියක් වැනි කෙටි කාලයක් පමණයි. ඒ වෙනුවෙන් ලෝකයේ බොහෝ කණ්ඩායම් සූදානම් වන, විවිධාකාරයේ වෙනස්කම් කරන ආකාරයක් අපට මේ වන විට දැකගත හැකියි. මේ ඒ ගැන කෙටි විමසුමක්.

එංගලන්තය අපරාජිතයි

2019 එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම ඉන්නේ එංගලන්ත කණ්ඩායම. ලෝක කුසලානය පැවැත්වෙන්නෙත් එංගලන්තයේ. ඒ නිසා ඔවුන්ට මෙවර ලෝක කුසලානය ගැන වඩාත් වැඩි බලාපොරොත්තුවක් තියෙනවා.

ඊට හේතුව තමයි ක‍්‍රිකට් මහ ගෙදර වුණත් එංගලන්තය අද වන තෙක් ක‍්‍රිකට් ලෝක කුසලානයට හිමිකම් කියන්න නොහැකි වෙලා තිබීම.

කොහොම වුණත් දැන් එංගලන්ත කණ්ඩායමේ ආත්ම විශ්වාසය නම් උපරිම තලයේ තිබෙන බවක් පේනවා. ඒ සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත් එක්දින තරගාවලිය 4-0ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට හැකිවීම සමගයි. ක‍්‍රිඩා විචාරකයින් කියන්නේ දෙරට අතර පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු නොවුණා නම් එංගලන්තයට ‘‘පූර්ණ තරගාවලි ජයක්’’ වාර්තා කිරීමට හැකියාව තිබූ බවයි.

පාකිස්ථානය අලූත් වෙයි

මේ අතර ලෝක කුසලානය සඳහා සහභාගී වන පාකිස්ථාන සංචිතය වෙනස් කිරීමට එරට ක‍්‍රිකට් පරිපාලනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය 18 වැනිදා ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රථම සංචිතය තුළ නොවූ නම් තුනක් 20 වැනිදා යළි ප‍්‍රකාශයට පත් කළ පාකිස්ථානු සංචිතයේතිබෙනවා. ඒ, මොහොමඞ් අමීර්, මැදපෙළ පිතිකරුවකු වන අසීෆ් අලි සහ වේග පන්දු යවන ක‍්‍රීඩක වහාබ් රියාස්.

මේ අතර මූලික සංචිතයේ සිටි පසුව හැලී ගිය ක‍්‍රීඩකයින් ගැන ද පාකිස්ථාන ක‍්‍රීඩා විචාරකයින් අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව සුපිරි වේග පන්දු යවන්නා වන අමීර්, වේග පන්දු යවන්නෙකු වන ජුනයිඞ් ඛාන්, ආරම්භක පිතිකරු අබ්දිල් අලි සහ තුන් ඉරියව් ක‍්‍රීඩක ෆර්ම් අෂ්රෆ්ට ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා. පාකිස්ථාන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ‘‘සෆ්රාන් අහ්මඞ්’’ විසිනුයි.

කොදෙව්වේ පරිපාලනය මෘදු වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 70-80 දශකවල එක්දින පිටියේ ආධිපත්‍ය පතුරුවා ගෙන සිටියත් 90 දශකයෙන් පසු ඒ ආධිපත්‍ය ක‍්‍රමයෙන් බිඳ වැටුණා. මේ වන විට කොදෙව් ආධිපත්‍ය කොතරම් දුර්වල ද යන්න පසුගිය අයර්ලන්ත – බංග්ලාදේශ් – කොදෙව් තුන්කොන් තරගාවලියෙන්ම පැහැදිලිව පෙනී ගියා. කොදෙව්වන් පරාජය කර බංග්ලාදේශය ශූරතාව දිනා ගත්තේ අපරාජිත කණ්ඩායමක් බවට පත් වෙමිනුයි.

මේ තත්ත්වය තේරුම් ගත් නිසාදෝ කොදෙව් ක‍්‍රිකට් පරිපාලනය අකීකරු කී‍්‍රඩකයින් කිහිප දෙනකු සමග කාලයක් තිස්සේ තිබුණු මතභේද අමතක කරලා ඔවුන්ව යළි කැඳවීමට පියවර ගෙන තිබෙනවා. ක‍්‍රිකට් ක‍්‍රීඩා විචාරකයින් විමතියට පත් කළ මෙම තීන්දුව සමග කොදෙව් කණ්ඩායමට නව ජවයක් ලැබෙනු ඇති බවයි කොදෙව් ක‍්‍රිකට් පරිපාලනය නම් කියන්නේ.

ඒ අනුව ලෝක කුසලානයට සහභාගී වන කොදෙව් කණ්ඩායමේ අතිරේක ක‍්‍රීඩකයින් ලෙස ජ්‍යේෂ්ඨ ක‍්‍රීඩකයෙකු වන ‘‘ඩිවෙන් බ‍්‍රාවෝ’’ සහ ‘‘කිරන් පොලාඞ්’’ නම් කිරීමට කොදෙව් ක‍්‍රිකට් පරිපාලනය තීරණය කර තිබෙනවා. මේ තීරණය දැනගත් විට කොදෙව් ක‍්‍රීඩාලෝලීන් මවිතයට පත් වුණ බවයි වාර්තා කියන්නේ.

මෙහිදී බ‍්‍රාවෝ සහ පොලාඞ් ගැන වැඩියමක් කිව යුතුයි. ඒ ඔවුන් දෙදෙනා එතරම්ම සුවිශේෂ ක‍්‍රීඩකයින් වන නිසයි.

ඩිවෙන් බ‍්‍රාවෝ

ඩිවෙන් බ‍්‍රාවෝ 2004දී ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත්තා. ඔහු තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් වශයෙන් සැලකෙනවා. එක්දින, ටෙස්ට් සහ විස්යි විස්ස කණ්ඩායම්වල නායකත්වය දරා ඇති බ‍්‍රාවෝ මැදපෙළ පිතිකරුවෙක් වශයෙන් දක්ෂ පිතිහරඹයක නිරතව සිටිනවා. ශක්තිමත් පන්දුවට පහරදීමේ රටාව හේතුවෙන් ඔහු ඉනිම් 141කදී ලකුණු 2968ක් ද, උපක‍්‍රමශීලී පන්දු යැවීම මගින් ඉනිම් 150කදී කඩුළු 199ක් ද බිඳ හෙළා තිබෙනවා. ඔහු අති දක්ෂ පන්දු රකින්නෙක් වශයෙන් ද සැලකෙනවා.
බ‍්‍රාවෝ ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරගවලට නැතිවම බැරි සුපිරි ක‍්‍රීඩකයෙක් ලෙස සැලකෙනවා. ඒ අනුව ඔහු ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළා.

කිරාන් පොලාඞ්

ඔහුත් තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක්. ඉනිම් 95කදී ලකුුණු 2289ක් ද ඉනිම් 70කදී කඩුළු 50ක් ද බිඳ හෙළා තිබෙනවා. ඒත් ඔහු වසර තුනකට ආසන්න කාලයක් පුරා ජාත්‍යන්තර එක්දින තරගවලට ක‍්‍රීඩා කර නැහැ.
පොලාඞ් ද විස්සයි විස්ස ජාත්‍යන්තර නොවන තරගවලදී නැතිවම බැරි සුපිරි ක‍්‍රීඩකයෙක් ලෙස සැලකෙනවා. පසුගිය ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ දී ඔහු ජයග‍්‍රාහී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළා.

2014 දී බ‍්‍රාවෝ සහ කොදෙව් ක‍්‍රිකට් පරිපාලනය අතර තරග ගාස්තු සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් ඇති වුණා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2014න් පසු ඔහුට කොදෙව් කණ්ඩායමේ තැනක් හිමි වුණේ නැහැ. 2018 ඔක්තෝබර් මස ඔහු ජාත්‍යන්තර පිටියෙන් නිල වශයෙන් සමුගත්තා. මේ වන විට ඔහු 35 වැනි වියේ පසු වෙනවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor