ජවිපෙ විශ්වාසභංගය භාරදීම අද

තව දුරටත් රට පාලනය කිරීමට ජනපතිවරයාට සහ අගමැතිවරයාට සදාචාරාත්මක අයිතියක් නෑ

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද (21) කතානායක කරු ජයසූරිය මහතාට භාර දෙන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ ඊට පසුව රට තුළ වර්ධනය වූූ ජාතිවාදී ගැටුම් වළක්වා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකළ හෙයින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව ජවිපෙ නායකයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් lankaepress සමග අදහස් දැක්වූ ජවිපෙ නායකයා මෙසේ සඳහන් කළේය.

‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ ඉන්පසු රට තුළ ඇති වූ සංවිධානාත්ම ජාතිවාදී ගැටුම් වළක්වා ගැනීමට ආණ්ඩුවට හැකියාව තිබුණා. එහෙත් ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා ඒ දෙකම සිද්ධ වුණා. මේ තත්ත්වය තුළ ජවිපෙ ස්ථාවරය වන්නේ තව දුරටත් රට පාලනය කිරීමට ජනපතිවරයාට සහ අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යැවීමට හැකියාව තිබෙන්නේ මහ මැතිවරණයකින් පමණයි. ඒත් ඒ සඳහා තව කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි අපි රට පාලනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න තීරණය කළේ’’

මෙහිදී මුලින්ම විවාදයට ගන්නේ රිෂාඩි බදුර්දීන් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ද නැතිකම් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව දැයි අප කළ විමසීමට පිළිතුරු දුන් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ,

‘‘රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව විපක්ෂයේ කණ්ඩායමක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය භාර දුන්නේ අපිට කලින්. ඒ නිසා මුලින්ම විවාදයට ගත යුත්තේ ඒක. එහෙත් විපක්ෂ නායකවරයා කැමැති නම් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මුලින්ම විවාදයට ගන්න පුළුවන්. ඒ ගැන අපි විපක්ෂ නායකවරයා සමග සාකච්ඡුා කිරීමට සූදානමින් ඉන්නවා’’

මෙහිදී ජවිපෙ නායකයා කියා සිටියේ මේ වන විට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග දෙකෙන් වඩාත් වැදගත් හා ප‍්‍රබල වන්නේ තමන් විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බවයි. එනිසා ජූනි මාසයේ මුල් සතියේදී ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද ඔහු සිය විශ්වාසය පළ කළේය.

Recommended For You

About the Author: Editor