ලොකුලූනු ගැන ආණ්ඩුවේ කතා මාධ්‍ය සංදර්ශන පමණයි

ලොකුලූනු ගොවියා ආරක්ෂා කිරීමට යැයි කියමින් ආනයනික ලොකුලූනු සඳහා වන බද්ද රුපියල් 20කින් ඉහළ දැමුව ද එමගින් දේශීය ලොකුලූනු ගොවියාට අත්වන සෙතක් නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා. මෙහිදී නාමල් කරුණාරත්න මහතා පවසන්නේ මෙම බදු වැඩි කිරීම මගින් පාරිභෝගිකයාට අසාධාරණයක් නම් සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා : දේශීය ලොකුලූනු ගොවියා ආරක්ෂා කිරීමට ආණ්ඩුව පනවන මේ රුපියල් 20ක බද්ද සමග ලොකුලූනු කිලෝවක් සඳහා බද්ද පමණක් රුපියල් 40ක් දක්වා ඉහළ යනවා. ඒත් අපි මේ ආකාරයෙන් බදු වැඩි කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ සීමාවකින් තොරව සිදුවන ලොකුලූනු ආනයනය කිරීම නිසා මේ වන විට ගොවියා විසින් දේශීය ලොකුලූනු කිලෝවක් අලෙවි කරන මිල රුපියල් 30-40 දක්වා පහත බැස තිබෙනවා. ඒත් ආණ්ඩුව ඒ අවස්ථාවේ ආනයනික ලොකුලූනු සඳහා බදු ඉහළ දැම්මේ නැහැ. ආණ්ඩුව කළේ ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන එක පමණයි’’

මෙහිදී නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ රජය සහතික මිලට ලොකුලූනු මිලදී ගන්නා බව කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවයි.

‘‘බොහෝ ස්ථානවල සහතික මිලට ලොකුලූනු ගැනීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම තමයි රජයේ සහතික මිල වන රුපියල් 80ට ලොකුලූනු ලබා දුන් ගොවීන් 100කට පමණ තවමත් මුදල් ගෙවලත් නැහැ. ඒ වගේම තමයි මේ වන විට අපේ ලොකුලූනු ගොවීන් බොහෝ දෙනෙක් බීජ සිටුවීම ආරම්භ කරලා තියෙන්නේ. ඒත් මේ අලූත් බද්ද නිසා බීජ මිල පවා ඉහළ යන්න පුළුවන්’’ යැයි ද නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

මේ අතර පසුගිය 2018 වසරේදී රජය විසින් මිලදී ගත් ලොකුලූනු බීජ වෙනුවෙන් ගොවීන් 1000කට පමණ රුපියල් මිලියන 10කට අධික මුදලක් රජය විසින් අදාළ ගොවීන්ට ගෙවා නැති බව ද වාර්තා වේ.

Recommended For You

About the Author: Editor