සහරාන් ඇතුළු මරාගෙන මැරුණු කල්ලියේ DNA වාර්තා ලැබේ: සහරාන් ඝාතනය වූ බව තහවුරුයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

ජාතික තවුහික් ජමාත් කල්ලියේ නායකයා යැයි කියන මොහොමඞ් සහරාන් හෂීම් නැමැති ත‍්‍රස්තවාදියා ඇතුළු පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කළ මරාගෙන මැරෙන කල්ලියේ සාමාජිකයින්ගේ DNA සාක්ෂි සහ ඔවුන්ගේ දරුවන් ඇතුළු සමීප ඥාතීන්ගේ DNA සාක්ෂි මනාව ගැළපෙන බවත් ඒ අනුව මොහොමඞ් සහරාන් මියගිය බව නිශ්චිතව ප‍්‍රකාශ කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම පරීක්ෂණයට අදාළ වාර්තා පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව හෙළි කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා,

අප්‍රේල් 21 ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ නම් ලැයිස්තුව මා මීට පෙරත් ප්‍රකාශයට පත් කළා. මෙම  මරාගෙන මැරුණු බෝම්බකරුවන් සම්බන්ධව රජයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඩී.එන්.ඒ පරීක්ෂණ සිදු කර එම වාර්තාවන් අද සවස වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එම තහවුරු කරන ලද නම් පිළිබඳව දැනුම් දීමටයි මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබූයේ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදු වූ පිපිරීම් දෙකෙන් එකක් සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම සිදු කළේ ඊබ්‍රාහිම් යන අයගේ දරුවන් දෙදෙනෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අය හා මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් යන අයයි. ඔවුන් දෙදෙනාගේ පියා වන ඊබ්‍රාහිම් යන අයගේ ඩී.එන්.ඒ සමග සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.

ඒ වගේම කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූයේ අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් යන අයයි. ඔහුගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ සමග සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.

කොළඹ කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරෙන බෝම්බකරු වූයේ අලව්වුඩීන් අහමඩ් මුවාත් යන අයයි. ඔහුගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ සමග සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.

දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ  මරාගෙන මැරෙන බෝම්බකරු වූයේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් යන අයයි. ඔහුගේ බිරිඳගේ හා දරුවන්ගේ ඩී.එන්.ඒ සමග සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.

මඩකලපුව දේවස්ථානයේ  මරාගෙන මැරෙන බෝම්බකරු වූයේ මොහොමඩ් නසාර් මොහමඩ් අසාත් යන අයයි. ඔහුගේ මවගේ ඩී.එන්.ඒ සමග සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.

කොළඹ කින්ග්ස්බරි හෝටලයේ  මරාගෙන මැරෙන බෝම්බකරු වූයේ මොහොමඩ් අසාම් මොහමඩ් මුබාරක් යන අයයි. ඔහුගේ බිරිඳගේ හා දරුවාගේ ඩී.එන්.ඒ සමග සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.

දෙමටගොඩ මහවිල සිදුවූ   පිපිරීම්වල දී බෝම්බ පුපුරුවාගෙන මියගිය මොහොමඩ් ෆාතිමා ජිෆ්රියා යන අය  කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදු වූ එක් පිපිරීමක් සිදු කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ බිරිඳ බවත් දෙමටගොඩ සිද්ධියේදී මිය ගියේ ඔවුන්ගේ දරුවන් බවත් තහවුරු කර තිබෙනවා. 

මෙහිදී තවදුරටත් සඳහන් කරන්නට අවශ්‍යයි මා මින් පෙර මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා මොහොමඩ් සහරාන් නම් තැනැත්තා මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස මේ වන විට මිය ගොස් ඇති බව. නමුත් අප එසේ ප්‍රකාශ කරන විටත් ඇතැම් පුවත්පත් විසින් ප්‍රකාශ කළා ඔහු දැනටත් ජීවතුන් අතර සිටිනවා කියා. එහෙත් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් යන අය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ එක් පිපිරීමක් සිදුකරගනිමින් මිය ගොස් ඇති බව අද වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව  විසින් තහවුරු කර තිබෙනවා.  ඔහුගේ බිරිඳගේ හා දරුවන්ගේ ඩී.එන්.ඒ සමග සසඳා බලා ඒ බව තහවුරු කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor