ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදී රණවිරුවන් කළ කැපවීම සදා අමරණීයයි – ඇමති චම්පික රණවක

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, විජයග‍්‍රහණයේ දසවසර සමරමින් පනාගොඩ ශ‍්‍රී ලංකා යුධ හමුදා කඳවුරේ පැවති රණවිරු පුණ්‍යානුමෝදනා වැඩසටහනකට සහභාගී වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපේ ඉතිහාසයේ මැයි 18 වෙනි දින සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අප විසින් බියෙන් සැකෙන් දුක්විඳි යුගයක් නිමාකළ දිනය එදයි. ඒ දුක්විඳි යුගය තවත් අයෙකුට උරුම කර නොදී, මේ මහපොළවේ යහතින් ජීවත්වන්නට අපගේ ආරක්‍ෂක අංශවල, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා යුධ හමුදාවත් ඇතුළුව ති‍්‍රවිධ හමුදාවේ 26,000 කට අධික පිරිසක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කලා. තවත් පිරිසකට දෑසින් මේ ලොව දකින්නට, මතු පරම්පරාවලට දෙපයින් මේ පොළවේ ඇවිද යන්නට, දෑතින් වැඩහසර කර ගන්නට තමන්ගේ දෑස්, දෙපා, දෙඅත් පරිත්‍යාග කළ දාහත්දහසකට අධික පිරිසක් අප අතර ජීවත්වන බව අපි මතක තබා ගත යුතුයි. අපේ සතුරනුත් නිරන්තරයෙන් අපට කීවේ අපි ඉතා ඉක්මනින් අමතක වන ජාතියක් කියලා.

මේ අවස්ථාවේදී අපි නැවත නැවතත් ඒ දුෂ්කර සමය, ඒ දුෂ්කර කාලය සිහිපත් කරමින් අපගේ දූදරුවන්ට, අපගේ මතු පරම්පරාවට නැවතත් එවැනි ලේ කඳුලින් පිරිගිය යුගයක් ඇති නොවන්නට අධිෂ්ඨාන කරගෙන කි‍්‍රයා කළයුතු වෙනවා. ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියක් ආරක්‍ෂක අංශවලට පමණක්, අවි ආයුධ බලයට පමණක් පරාජය කරන්නට බැහැ. ඒ සඳහා විධිමත් දේශපාලන නායකත්වයක්, ඒ වගේම ජනතාවගේ සුවිශේෂී සහයෝගයක්. ශක්තියක් අවශ්‍යයි. ඒ වගේම ඒ සඳහා ක‍්‍රියා කරන්න රටකට මනා ආර්ථික ශක්තියක් අවශ්‍යයි. එදා දුටු ගැමුණු මහරජතුමා ඒ අවස්ථාවේදී රට බේරා ගන්නට යන්නට ප‍්‍රථම රටේ ආර්ථිකය ගොඩනැගීම තමන්ගේ මලනුවන්ට පවරලා රටේ ආර්ථිකය ඒ සටනට අවශ්‍ය කරන ආකාරයට ශක්තිමත් කලා. ඒ වගේම ගෞරවණීය මහා රහතන් වහන්සේලා 500 නමක් රටේ ජනතාවගේ සහයෝගය, මතවාදය, ශක්තිය එතුමාට ලබාදුන්නා. ඒ වගේ පසුගිය අවස්ථාවේදී ඒ සටන ජය ගැනීමට ඒ කරුණු සියල්ලම වැදගත් විදිහට අපට උපස්තම්භක උනා. තවමත් අපට ඇතැම් විදේශ රටවල්, ඇතැම් විදේශ ජනමාධ්‍ය අප විසින් මේ ජයග‍්‍රහණය කළ මේ මහා ත‍්‍රස්ත විරෝධි අරගලය, එහි තිබෙන ඒ විජයග‍්‍රහණයේ ශක්තිය කැළැල් කරන්නට නොයෙක් දෑ කළත්, අපගේ රණවිරුවන් කළ කැපවීමත්, විශේෂයෙන්ම සටන ජයග‍්‍රහණය කිරීමෙන් පස්සේ ඔවුන්ගේ හැසිරීමේ තිබිච්ච විශිෂ්ඨ මානවීය ගුණයත් සදානුස්මරණීයයි. අපි දන්නවා ලෝකයේ ඇතැම් රටවල් යුද  ජයග‍්‍රහණයේදී කොහොමද කි‍්‍රයා කළේ කියලා. මහා බි‍්‍රතාන්‍ය, ජර්මනියට එරෙහිව යුද්ධය ජයගත්තහම ඉතිරි වෙලා තිබිච්ච සියළුම බෝම්බ ගෙනිහිල්ලා ඒ ජර්මන් නගර සම්පූර්ණයෙන් විනාශ කලා. ඒ වගේම ජපානය යුද්ධයෙන් යටත් වීමට කැමැත්ත පළකළාට පස්සේ ජපානයේ හිරෝෂිමා – නාගසාකි නගරවලට බෝම්බ අතහැරියා.

අපේ රණවිරුවන් 2009 මැයි 18 වෙනිදා ඒ මහා ත‍්‍රස්තවාදියා ඝාතනය කළාට පසුව එකඳු සිද්ධියක්වත් ඇති නොවන ආකාරයට අපේ ඇතැම් ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් පවා තව අවුරුද්දක් දෙකක් මේ ප‍්‍රශ්නේ තිබෙනවා කිව්වත්, එකම සිද්ධියක්වත් සිදු නොවන ආකාරයට ඉතාම ගෞරවාන්විතව කටයුතු කළා ලක්ෂ තුනකට අධික ඒ අනාථයින් රැුක බලා ගත්තා මැණික් ෆාම්වල. ඒ වගේම ඔවුන් නැවත පදිංචි කරවීම සඳහා විධිමත්ව කටයුතු කලා. නමුත් තවමත් උතුරින් පළවා හරින ලද අපේ සිංහල ජනතාව, ඒ වගේම මුස්ලිම් ජනතාව, ඒ වගේම අනෙකුත් මතවාද දැරූ දෙමළ ජනතාවට තවමත් අවුරුදු දහයක් ගතවෙලත් තමන්ගේ මුල්බිම්වල අයිතිය ලැබී නැහැ. ඒ ගැනත් අපි සළකා බැලිය යුතුයි, සොයා බැලිය යුතුයි. ඒ අයිතිය ලබාගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි.

ඒ වගේම අද නව ත‍්‍රස්තවාදයක බිහිසුණු සෙවණැලි අප ඉදිරියේ ඇති වී තිබෙනවා. මේක පැරණි ත‍්‍රස්තවාදයේ වැනි කාලතුවක්කු, ඒ වගේම යුධ හමුදාව විසින් කරන ලද මහා මෙහෙයුම්වලින් ජයගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ත‍්‍රස්තවාදීන්ගේ අරමුණ රාජ්‍යයක් දිනා ගැනීම හෝ රාජ්‍ය බලය අල්ලා ගැනීමක් නෙමෙයි. මේ අලූත් ඉස්ලාමීය ජිහාඩ් ත‍්‍රස්තවාදය ව්‍යසනය, විනාශය මුල් කරගෙන පවතින දෙයක්. අපේ ආරක්‍ෂක අංශ  දහස් පාරක් ත‍්‍රස්තවාදීන්ගේ යම් යම් උපක‍්‍රම ව්‍යර්ථ කළත් ත‍්‍රස්තවාදියාට සාර්ථක වෙන්න  ඕනේ එක් වතාවක් පමණයි. ඒ නිසා ඒ ව්‍යසනට පරාජය කිරීම සඳහා නව නීති රීති රටට අවශ්‍යයි. ජනතාවගේ නව හැඟීම් රටට අවශ්‍යයි. ජනතාවගේ දේශපාලන අධිකාරියේ නව අධිෂ්ඨානය රටට අවශ්‍යයි.

මේ සටනත් ජයගැනීම අපේ ආරක්‍ෂක අංශ ඉතා කෙටි කලකින් ඒ ත‍්‍රස්තවාදී කණ්ඩය හා බැඳිච්ච සබැඳියා ජාලය විනාශ කලා. නමුත් තර්ජනය පහව ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ රටට ඒ අලූත් ත‍්‍රස්තවාදය ජය ගැනීම සඳහාත් ශක්තිමත් අධිෂ්ඨානයක් අවශ්‍යයි. ඒ වගේම ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. ඒ වගේම මෙයට මසකට පෙර අපේ‍්‍රල් 21 වනදා සිදු වූ ඒ ත‍්‍රස්ත ප‍්‍රහාර 6 නිසා අපේ ආර්ථිකයට අද බරපතල හානි සිදුවෙලා තිබෙනවා. රැකියා ක්‍ෂෙත‍්‍රවල බරපතල ප‍්‍රශ්න පැණ නැගී තිබෙනවා. ආරක්‍ෂක අංශවල වියහියදම් වැඩිවෙලා තිබෙනවා. මේ නිසා අපේ රජයට අපේ ආර්ථිකයට, බරපතල ව්‍යසනයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා ත‍්‍රස්තවාදීන්ගේ ව්‍යසනය පරාජය කරන්න නම් ණය බරින් තොර ශක්තිමත් ආර්ථිකයක් අපි ගොඩනගා ගත යුතුයි. ඒ වගේම සියළු රටවල් සමග ශක්තිමත් වැදගත් විදේශ ප‍්‍රතිපත්තියක් ඇති කර ගත යුතුයි. මොකද මේ ත‍්‍රස්තවාදීන්ට අණ ලැබිලා තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට වන්නියෙන් ලැබුණ අණ වගේ අණක් නෙමෙයි. මෙය විදේශ රටකින්, කලාපයකින් ලැබිච්ච අණක්. ඒ නිසා විධිමත් විදේශ තොරතුරු ජාලයක්, සබඳතා ජාලයක් මෙන්ම විදේශ ප‍්‍රතිපත්තියක් අපට අවශ්‍යයි. මේ අන්තවාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා.

මම හිතන්නේ අපේ රටේ, විශේෂයෙන්ම අපේ ආරක්‍ෂක හමුදාවල ඉන්න අපේ විශාල අත්දැකීම් සහගත නිළධාරීන්, වගේම අපේ සෙබළුන් මේ අලූත් තත්වයට වහාම හැඩ ගැහිලා මේ අලූත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කිරීම අපට ලොකු සතුටක්. ඒ වගේම අපගේ දේශපාලන අංශ, ජනතා අංශ, විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නය එහි අනුශාසනාව, උපදේශණය මේ අරගලය ජය ගැනීමට ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාව අපේ ආරක්‍ෂක හමුදාවලට ප‍්‍රශ්න ඇති කරන්නේ නැතිව තැන් තැන්වල ගිහිල්ලා තමන්ගේ ව්‍යාජ වීරකම් පාන්නේ නැතිව, අපේ ආරක්‍ෂක අංශවලට ඒ නීතිය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය කරන ශක්තිය ලබාදීලා, තොරතුරු ලබාදීලා  කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සඳහා අද දිනයේ අපේ හදවත්වලත්, අලූත් අධිෂ්ඨානයක් අපි ඇතිකර ගත යුතුයි. අපි තිස් අවුරුදු යුද්ධය පරාජය කරලා ලෝකයේ තිබිච්ච බලගතුම ත‍්‍රස්තවාදී සංවිධානයක් අපේ ආරක්ෂක හමුදා විසින් මුලිනුපුටා දමලා අපි විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබුවා. ලෝකයේ බලවත් රාජ්‍යයන්ට පවා කර ගන්නට බැරි වූ දෙයක් එය. ඒ වගේම අපි නව ත‍්‍රස්තවාදයකට මුහුණ දෙනවා. ඒ නව ත‍්‍රස්තවාදය ජයගැනීමට අවශ්‍ය කරන ආත්ම ශක්තියත්, ඒ සඳහා අවශ්‍ය කරන මූලෝපායනුත්, ආරක්‍ෂක වැඩපිළිවෙලත්  අපේ ආරක්‍ෂක හමුදා විසින් සකස් කරනවා ඇති. එතකොට අපේ ජනතාව අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්නා අතරේ ඒ ආර්ථිකයට සමාන්තරව ඒ දේශපාලන අධිෂ්ඨානයත් ඇති කරගෙන කටයුතු කළා නම් ඉතා කෙටි කලකින් අපට මේ රට සාමකාමී රටක් බවට අපේ දරුවන්ට අනාගතය පිළිබඳ විශ්වාසයෙන් ඇවිදින්නට පුළුවන් රටක් බවට, රටින් පලායන්නට හිතන් ඉන්න අයට ඉන්න හිතෙන රටක් බවට මේ රට නැවත පරිවර්තනය කිරීමට හැකිවෙයි.

ඒනිසා එම අධිෂ්ඨානය හිතේ දල්වා ගනිමින්, එම අධිෂ්ඨානය ඔස්සේ ඉදිරියේ අපි කි‍්‍රයාකරමු කියන පණිවිඩය ඔබ හැම සමග බෙදා ගනිමින් අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ 26,000 කට අධික එම රණවිරුවන්, ඇස්, හිස්, මස්, ලේ දන් දීලා අප අතරම ජීවත්වන 17,000 කට අධික ඒ රණවිරුවන් සියළු දෙනා වෙනුවෙන් අපගේ පිං ප‍්‍රාර්ථනා මේ සසර ගමනේදී ඔවුන් සියළු දෙනාටම නැවතත් මෙවැනි අකල් මරණයක් ඇති නොවේවා, අපේ දූ දරුවන්ට මෙවැනි බිහිසුනු වාතාවරණයකට නැවත මුණ ගැසීමට අවස්ථාවක් නොලැබේවා, ඒ සඳහා වූ අධිෂ්ඨානය රටේ නායකයින් ඇතුළු සියළුම දෙනාට ලැබේවා, පහළ වේවා යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor