දිමුත් මංගල වෙඩිල්ල පත්තු කරයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සාත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම අතර ඊයේ (21) එඩින්බරොහිදී පැවැති දෙවැනි එක්දින තරගයේදී දිමුත් කරුණාරත්න නායකත්වයේ ඉණිමක් ක‍්‍රියා කළ බව ක‍්‍රීඩා විචාරකයෝ කියනවා.

ස්කොට්ලන්ත ඉණිමට වර්ෂාවෙන් බාධා වූ හෙයින් ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 35ක ජයග‍්‍රහණයක් හිමි වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 08ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න තම එක්දින දිවියේ දෙවැනි අර්ධ ශතකය ද (77) සහ අවිශ්ක ප‍්‍රනාන්දු තම මංගල අර්ධ ශතකය ද වාර්තා කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට (74) සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 123ක් ලබා ගත්තා. ඒ පන්දුවාර 22.1ක දී යි.

අවිශ්කගේ දැවී යාම සමග පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් (66) දෙවැනි කඩුල්ල සඳහා දිමුත් සමග එක්ව අගනා ලකුණු 81ක සබඳතාවක් වාර්තා කළා. එහිදී කුසල් මෙන්ඩිස් තම එක්දින දිවියේ 15 වැනි අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වුණා.

ළහිරු තිරිමාන්න පසුපෙළ ඉණිම සාර්ථක කරමින් ලකුණු 44ක් ලබා ගත්තා.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට යම් පීඩනයක් එල්ල කළ ස්කොට්ලන්ත පන්දු යවන්නා වූයේ ‘‘බ‍්‍රැඞ්ලි වීල්’’ පමණයි. ඔහු ලකුණු 49කට කඩුළු 03ක් දවා ගත්තා.

ස්කොට්ලන්ත ඉණිම

ලකුණු 323ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම කඩුළු 03කට ලකුණු 132ක් රැුස්කරගෙන 27 වැනි පන්දු වාරය ක‍්‍රීඩා කරමින් සිටියදී වර්ෂාව පතිත වුණා.

වර්ෂාවෙන් ඇති වූ බාධාව හමුවේ සුපුරුදු ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ස්කොට්ලන්තයට පන්දු ඕවර් 34කදී ලකුණු 235ක ඉලක්කයක් ලබා දුන්නා. ඒ අනුව ස්කොට්ලන්තයට පන්දු වාර 07කදී ලකුණු 103ක දැවැන්ත ඉලක්කයක් නියම වුණා. එහෙත් ස්කොට්ලන්ත ඉණිම පන්දු වාර 33.2කදී සියලූ දෙනාම දැවී ගොස් නිමාවට පත් වුණේ ලකුණු සටහන 199ක්ව තිබියදීයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 35ක පහසු ජයක් හිමි වුණා.

ස්කොට්ලන්තය වෙනුවෙන් ජෝජ් මන්සි ලකුණු 61ක්, මැතිව් ක්‍රොස් ලකුණු 55ක්, කයිල් කොට්සර් ලකුණු 34ක් වාර්තා කළා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් ප‍්‍රදීප් පන්දුවාර 7කදී ලකුණු 34ක් ලබාදී කඩුළු 4ක් දවා ගත්තා. සුරංග ලක්මාල් 2/55/7 ක් ද ඉසුරු උදාන පන්දු වාර 06කදී ලකුණු 23කට එක් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානයෙන් නුවන් ප‍්‍රදීප් පිදුම් ලැබුවා.

මේ දක්වා ශ‍්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර එක්දින තරග 03ක් පවත්වා ඇති අතර ඒ සියල්ලම ශ‍්‍රී ලංකාව විසින් ජයග‍්‍රහණය කිරීම විශේෂත්වයක්. එමෙන්ම ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම 2018 ඔක්තෝබර් මස එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලැබූ එක්දින ජයග‍්‍රහණයෙන් පසුව වාර්තා කළ පළමු ජයග‍්‍රහණය ද මෙයයි.

Recommended For You

About the Author: Editor