මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක්, ඒක කාටවත් වෙනස් කරන්න බෑ – අමාත්‍ය නවින් දිසානායක

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කළේ එතුමාගේ මඟ පෙන්වීම යටතේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන වැවිලි සවිය – සසුනට එළියක් වැඩසටහනට සහභාගී වෙමිනි.

වැඩි දුරටත් අමාත්‍යවරයා පැවසූයේ,

අද මගේ හිතට විශාල සතුටක් දැනෙනවා. මාතර මගේ අම්මාගේ උපන් ගම. ඉතිං මට අද මේ දිස්ත්‍රික්කයෙන් මේ උදාර වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශාල සතුටක් තියෙන්නේ. අද මේ වැඩ කටයුත්ත පටන් ගත්තේ විශිෂ්ඨ අදහසකින්. ඒ අදහසේ පළමුවැන්න තමයි අපේ තේ ආර්ථිකය ශක්තිමත් කිරීම. මේ මාතෘ භූමියෙන් නිෂ්පාදන වන තේ වලින්  12% ක ප්‍රතිශතයක් මේ දිස්ත්‍රික්කයෙන් නිෂ්පාදනය වෙනවා. එය නිෂ්පාදනයෙන් විශාල ප්‍රතිශතයක්. එම නිසා අපි කුඩා තේවතු අධිකාරියෙන් හා තේ මණ්ඩලයෙන් නැවත තේ වගා කරන්න කියලා අපි ඉලක්කයක් දීලා තියෙනවා. අවුරුද්දකට 2% යි. නමුත් මේක සිද්ධ වෙන්නේ නෑ. එම නිසා අපේ තේ නිෂ්පාදනයේ අඩු වීමේ ප්‍රවනතාවයක් තියෙනවා. මොකද විශේෂයෙන්ම කුඩා තේ වතු හිමියන් නැවත වගාවට යොමු වෙන්නේ ඔවුන්ට යම්කිසි ආර්ථික වාසියක් තියෙනවා නම් පමණයි. ඒ නිසා අපි අලුතින් තේ වගාව ඇති කිරීමට ප්‍රවනතාවය වැඩි කරන්න අවශ්‍යයි.

දෙවන අරමුණ තමයි මගේ විශ්වාසයක් තියෙනවා විශේෂයෙන්ම අපගේ සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගම් වල නායකයින්ට ආර්ථික ශක්තියක් ලබා දෙන්න. මට විශාල වෙහෙර විහාර ගොඩනැඟිලි හදන්න අමාත්‍යාංශයක් නෑ. ඒ දේවල් කරන්න මේ ප්‍රදේශ වල ශක්තිමත් ප්‍රබල ඇමතිවරු ඉන්නවා. ඉතිං මට පුළුවන් දේ තමයි මම කරන්නේ. දළ වශයෙන් බැලුවොත් තමන්ට අයත් තේ වගාව නැවත වගා කිරීමට රුපියල් හැටදාහක්, ලක්ෂයක්, ලක්ෂ දෙකක් ආදී වශයෙන් ලැබෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මෙය ආරම්භයක් පමණයි. පළමු අදියරේදී අපි අද මේ මුදල දෙනවා. ඉන් පසු ඔබ වහන්සේලාගේ ප්‍රතිචාර හා ප්‍රතිඵල අනුව අපිට විශාල මුදලක් ලබා දෙන්න පුළුවන්. මේ වැඩසටහන කෙටිකාලීන වැඩසටහනක් නෙවෙයි. දීර්ඝ වැඩසටහනක්. හරි විදිහට ක්‍රියාත්මක කළොත් පන්සල් හත්සිය ගණනක් සඳහා අපි ආධාර දෙනවා. මුළු රටේම දිස්ත්‍රික්ක 14ක් ආවරණය වෙන විදිහට. ලක්ෂ හාරදහසක් පමණ වියදම් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.  ඉතිං මේ තුළින් අපේ තේ ආර්ථිකය ශක්තිමත් වෙනවා වගේම ආගමික වශයෙන් පුනර්ජීවනයක් ඇති වෙනවා.

අමාත්‍යවරයෙක් හැටියට මම සතුටු වෙනවා මොකද අපිට නොයෙකුත් වශයෙන් ප්‍රශ්න ගැටළු තිබුණත් අපේ තේ ආර්ථිකය ශක්තිමත්ව තියෙනවා. නමුත් මම මේ අමාත්‍යාංශය භාර ගද්දී මිලියන 260ක නිෂ්පාදනයක් තිබුණ නිෂ්පාදනය අද මිලියන 300ට ඇවිත් තියෙනවා. මේ ප්‍රමාණය අපිට තවත් වැඩි කරන්න පුළුවන්. අපේ රටට විශාල වශයෙන් කාලගුණ විපර්යාස ඇති වුණා. ඒවායින් හානි විශාල ලෙස සිදු වුණා. නමුත් අපි අද තේ ආර්ථිකය අතින් හොඳ තැනක ඉන්නවා.

අපේ කස්සප ස්වාමීන් වහන්සේ විශාල හිත් වේදනාවකින් කතා කළ බව මට දැනුණා. එය ඉතාමත් සාධාරණයි. අපි සිංහල බෞද්ධ සියලු දෙනාම කැමතියි හිතන්න අපේ රට සිංහල බෞද්ධ රටක් කියලා. මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. මේ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙක් යම්කිසි දෙයක් කීවා නම් අපි ටිකක් ගැඹුරට හිතන්න අවශ්‍යයි ඒක කොහොම ද කීවේ ඇයි ඒක කීවේ කියලා. ඒ නිසා අපේ සිංහල බෞද්ධ රටේ අනෙකුත් ජන කොටස් වලට ඊට සාමකාමීව වි‍ශේෂයෙන්ම සිංහල ක්‍රිස්තියානි දමිල හින්දු ඒ වගේම දමිල ක්‍රිස්තියානි හා මුස්ලිම් ජන කොටස් වලට සිංහල බෞද්ධ බහුතරයට හා සමාන සියලුම අයිතිවාසිකම් තිබෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අපේ මූලික නීතිය වන ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් සියලුම ජන කොටස් වලට එක හා සමාන මානව අයිතිවාසිකම් අපි ලබා දී තිබෙනවා. අනාගතයෙත් අපි එලෙසම ඒ අයිතිවාසිකම් ලබා දෙනවා. අපි එය ආරක්ෂා කරනවා. මේ ජන සමාජයේ සැමට එක හා සමානව ලබා දී තිබෙන අයිතිවාසිකම් ඇරෙන්න කිසිම ජන කොට්ඨාසයකට විශේෂිත අයිතිවාසිකම් නෑ.

නමුත් අපි සිංහල බෞද්ධයන් හැටියට අපිට තියෙන එකම රට තමයි මේ රට.  ඒ නිසා අපිට ඉතාමත් ඕනෑකමින් ආදරයෙන් ගෞරවයෙන් කියන්න පුළුවන් මේ අපි ඉන්න එකම රට සිංහල බෞද්ධ රටක් කියලා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. මංගල සමරවීර මැතිතුමා කීව ඒ කතාව ඒ ඇති වූ වතාවරණය තුළ සිට බැලිය යුතුයි. ඒක වැරදියට එළියට ආවේ. ඒක පක්ෂයේ මතය නෙවෙයි. ඒකත් මම කියන්න අවශ්‍යයි. අපේ එක්සත් ජාතික පක්ෂය සියලුම ජාතීන් එක්ව අගය කරන පෝෂණය කරන පක්ෂයක්. එහි ජාති භේද නෑ. එම නිසා  මංගල සමරවීර මැතිතුමා කීව ඒ කතාවෙ ගැම්මක් හෝ ගැඹුරක් ඇති කියලා මම විශ්වාස කරනවා. මම ඒක ඔබ වහන්සේලාට තේරුම් කරලා දෙන්නම්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 1970 ගණන් වල ජනාධිපතිවරයෙක් හිටියා රිචඩ් නික්සන් කියලා ඔහු යටතේ සේවය කළ රාජ්‍ය ලේකම් කෙනෙක් හිටියා හෙන්රි කිසින්ජර් කියලා. තාමත් ඔහු ජීවතුන් අතර ඉන්නවා. එතුමා ප්‍රකාශ කළා යුද්ධ ඇති වෙන්නේ රටවල් අතර නෙවෙයි නමුත් ඒ රටේ ඇතුළේ තිබෙන ජාතීන් අතර කියලා. ඒ ප්‍රකාශය අපේ රටේ ඇත්ත වුණා. ප්‍රභාකරන් කියන්නේ ලාංකිකයෙක්. ඔහු යම් මතයක් උඩ යුද්ධයක් පටන් ගත්තා. ප්‍රථම ඝාතනය සිද්ධ වුණේ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ. 1976 ප්‍රථම ඝාතනය ඇල්ෆඩ් දොරෙයප්පා කියන යාපනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නගරාධිපතිතුමාටයි ප්‍රථම වෙඩි මුරය එල්ල කළේ. එතනින් පටන් ගෙන මේක බිහිසුණු ශක්තිමත් සංවිධානයක් විදිහට පරිවර්තනය වුණා. ඒ පරිවර්තනයට සියලුම දේශපාලන පක්ෂ හා නායකයින් වග කියන්න ඕනේ. එදා ඒ 1976 ඝාතනයේ ඉඳලා මගේ පියා ඇතුළුව දහස් ගණනක් බිලි වුණා. ඉතිං සිංහල බෞද්ධ කියන හැඟීම අපි වගේ අයට තමයි තියෙන්නම ඕනේ. මොකද අපේ තාත්තලා තමයි මේ යුද්ධයට ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වුණේ ඒවාට බිලි වුණේ. ඉතිං ත්‍රස්තවාදයට මේ රටේ තැනක් නෑ.

ඊට පස්සේ 1980 ගණන් වලත් සිංගප්පූරුවේ  ලී කුවාන් යූ කියලා අගමැතිවරයෙක් හිටියා. කිහිප වාරයක් ලංකාවටත් ආවා. එතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා සිංගප්පූරුව කියන රටේ කිසිම ජන සමාජයකට විශේෂ අයිතිවාසිකම් නෑ. සියලු දෙනාම එකයි. එහි 80% ඉන්නේ චීන අයයි. දමිල අයත් ඉන්නවා. ඒ හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් ලබා දෙනවා. අද සිංගප්පූරුවේ ජනාධිපති තමයි මුස්ලිම් කාන්තාවක්. ඉතිං ඒ රටවල් වල තිබෙන ජන සම්මත වාදය එකමුතුකම ආරක්ෂා කරලා තියෙනවා.

එහෙම නම් අපි හදවතට තට්ටු කරලා අහන්න ඕනේ අපිට පුළුවන් වෙලා තියෙනවා ද මේ රටේ තියෙන ආගම් අතර සුහදතාවය ආරක්ෂා කර ගන්න. මම ඒකට පිළිතුරක් දෙන්නේ නෑ. අපි හදවතට තට්ටු කරලා පක්ෂ දේශපාලනයකින් තොරව ඒකට පිළිතුරක් දිය යුතුයි. ඒ නිසා ප්‍රභාකරන් වැනි බිහිසුණු යක්ෂයෙක් මේ රටේ නිර්මාණ වුණා.  1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට ආවා. එතුමියටත් බැරි වුණා ඒ බිහිසුණු යක්ෂයාව මේ රටෙන් තුරන් කරන්න.

2005 මේ දකුණේ නායකයෙක් මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වුණා. එතුමාට පුළුවන් වුණා සාර්ථකව ඒ බිහිසුණු යක්ෂයාව මේ රටෙන් තුරන් කරන්න. මම එකක් මතක් කරන්න කැමතියි ඒ අවස්ථාවේ අපිත් පක්ෂ දේශපාලනයෙන් තොරව එතුමා සමඟ එකතු වුණා. අපිට ගොඩක් චෝදනා ආවා. කරූ ජයසූරිය මැතිතුමාට මට අපි පක්ෂය අමතක කළා , පක්ෂය පවා දුන්නා ඔය වගේ කතා මැසිවිලි චෝදනා අපට කළා. නමුත් අපි එතුමත් එක්ක එකතු වුණේ ඒ පවිත්‍ර චේතනාවෙන් මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගන්න. එහිදී අපිට සිංහල බෞද්ධකමක් අනෙකුත් හැඟීම් අපිට තිබ්බේ නෑ. අපිට තිබ්බ එකම හැඟීම ත්‍රස්තවාදය තුරන් කිරීම.

ඉතිං අපිට විශාල වේදනාවක් දැනෙනවා මේ රටේ නැවතත් ලේබලයක් ගහන්න පුළුවන් යම්කිසි ත්‍රස්තවාදයක් ආපහු එනවා ද නැද්ද කියලා. ඒ නිසයි අපි කියන්නේ අපි පරෙස්සම් විය යුතුයි. යම් අමාත්‍යවරයෙක් යම්කිසි වචනයක් කියන කොට ඒක එතුමාගේ පුද්ගලික මතය වෙන්න පුළුවන්. නමුත් මේ මතය දෙගුණ තෙගුණ කරලා මාධ්‍ය පාවිච්චි කරන එකත් මම වැරදියි කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද මේ අවස්ථාවේ අපිට ඕනේ සංහිඳියාව එකමුතුකම. දේශපාලනය අපි කරමු මැතිවරණ කාලෙට. දැන් ඔබ සියලු දෙනාම දන්නවා ඇති දෙසැම්බර් මාසය වෙද්දී ජනාධිපතිවරණය තියන්න කියලා මැතිවරණ කොමසාරිස්තුමාත් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතිං තව මාස කිහිපයයි. ඒ වෙලාවට දේශපාලනය කරන්න පුළුවන්. මේ රටේ ජනතාවට නිදහස තියෙනවා ඕනෑම දේශපාලන නායකයෙක් දේශපාලන පක්ෂයක් තමන්ගේ ඡන්ද බලෙන් පත් කරන්න.

මේ මාතර දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත නෑ. මේ දැඩි වාමාංශික දිස්ත්‍රික්කයක්.  1977 පමණයි අපට දිනන්න පුළුවන් වුණේ. මගේ දිස්ත්‍රික්කය වෙනස් . මගේ දිස්ත්‍රික්කය 70%ක්ම එක්සත් ජාතික පාක්ෂිකයින්. ඉතිං මම දේශපාලනය කරන වාතාවරණය හරි වෙනස්. ඉතිං ඒක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. මගේ දිස්ත්‍රික්කයේ 55% ඉන්නේ දමිල සහෝදරයෝ. දමිල කීවාම ඒ අය හින්දුත් නෙවේ. ගොඩක් දමිල ක්‍රිස්තියානි . ඒක අපේ වතු වලටත් බොහොමයක් ඇවිත් තියෙනවා.  ඉතිං ඒක ඒ මිනිස්සුන්ගේ නිදහස. අපිට ඒක නවත්වන්න බෑ. මානව වර්ගයාට තියෙන්න ඕනේ තමන් කැමති ආගමක් පිළි පඳින්න. ඒ නිදහස අපේ රටේ තියෙනවා. ඒක යටපත් කරන්න කාටවත් බෑ. යටපත් කරන්න ගියොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ රටේ ලිබරල් වාදය සම්බන්ධව මම එක වචනයක් කියන්න ඕනේ. මේ ලිබරල්වාදී අදහස් අනුව තමයි කියන්නේ වෙන කිසිම ජන කොට්ඨාසයකට වචනෙකින් හෝ රිද්දන්න බෑ කියලා. එතකොට ඒ මතයම අනුව අපි කියනවා මංගල ඇමතිතුමා කීවේ සිංහල බෞද්ධ රටක් නොවේ ශ්‍රී ලාංකිකයන් ඉන්න රටක්.

ලිබරල් මතවාදයම තදින්ම තියෙන රටක් තමයි නෝර්වේ. නිදහස් රටක් ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. පුද්ගලිකත්වය කියන එක උපරිමයෙන් තියෙන රටක්. අවුරුදු තුනකට ඉස්සරදී මොකද්ද මේ රටට සිද්ධ වුණේ. සුදු ක්‍රිස්තියානි පුද්ගලයෙක් තුවක්කු දහයක් විතර අරගෙන මිනිස්සු 80ක් විතර එකපාර ඝාතනය කළා. වීගාර් හෙල්ඩර්සන් නියෝජ්‍ය ඇමතිතුමා මට මුණ ගැසුණා. එවිට මම ඇහුවා මොකද්ද ඔයා කියන්නේ මේ ඇති වුණු සිද්ධිය ගැන.  ඔයාලා මේ තරම් නිදහස දෙනවා. ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඔබලා කීවේ ප්‍රභාකරන් මතු වුණේ අපි දමිල ජනතාවට නිදහස දෙන්නේ නැති නිසා කියලා. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නේ නෑ කියලා. දැන් ඔබලා මොකද්ද කියන්නේ . ඔබේ රටේ ඔය තරම්ම නිදහසක් දීලා ඒ අයිති ආගම් වලට සුරක්ෂිතභාවය දීලාත් ඇයි මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියාවක්  සිද්ධ වුණේ කියලා මම ඇහුවා. ඉතිං එතුමා බිම බලා ගත්තා. මට පිළිතුරක් දෙන්න එතුමාට බැරි වුණා. මොකද ත්‍රස්තවාදයට එකම පිළිතුරයි තියෙන්නේ. ඒක තමයි නීතිය ක්‍රියාත්මක කිරීම. එහෙනම් අපිට ත්‍රස්තවාදයට ලේබල් ගහන්න අවශ්‍ය නෑ. මොන ආගම ජාතියක වුණත් එකම එක හැන්දකින් තමයි ත්‍රස්තවාදයට පිළිතුරු දෙන්න තියෙන්නේ. එවන් ක්‍රියා කරන පුද්ගලයන් ඉන්නවා නම් ඔවුන් යටපත් කිරීම. ඊට අවශ්‍ය ශක්තිය ආරක්ෂක අංශ වලට ලබා දිය යුතුයි.

පහුගිය කාලේ මම පාර්ලිමේන්තු කණ්ඩායමේ කතා කරන සාකච්ඡාවක් එළියට ඇවිත් තිබුණා. එහිදී මම විශේෂයෙන්ම අපේ හිටපු පොලිස්පතිතුමාට මම චෝදනා මුඛයෙන් කතා කළේ.  මොකද මම පොලීසියේ  අඩුපාඩු දිගටම දැක්කා. දැක්කා ඒ බුද්ධි අංශ බුද්ධි වාර්තා ගණන් ගන්නේ නැති එක. විශේෂයෙන්ම ප්‍රධානියා කතා කරන්නේ නැත්නම් එතන විශාල අඩුපාඩුවක් තියෙනවා. මම මේවා අවශ්‍ය තැන් වලට ඒත්තු ගැන්වූවා පමණයි. නමුත් නිසි විදිහට නිසි ක්‍රියා මාර්ග ගත්තේ නෑ. ඉතිං උන දේ වුණා. අපි කනගාටු වෙනවා. දැන් වෙන කොට මේ ත්‍රස්ත කල්ලිය 99.9% කඩලා තියෙන්නේ. ආයිත් නොඑන විදිහට අපි ක්‍රියා කරලා තියෙනවා. උන දේ අපිට හරි ගස්වන්න බෑ. නමුත් වගකිව යුතු දේශපාලඥයෝ විදිහට නැවතත් කිසිම ත්‍රස්තවාදයක් මේ රටේ හිස ඔසවන්න බැරි වෙන්න අපි ක්‍රියා කළ යුතුයි.

Recommended For You

About the Author: Editor