‘සේනා’ වනසන වෛරසයක් වගාබිමට

වසංගතයක් ලෙස පසුගිය මාස් කන්නය තුළදී හදිසියෙන්ම උත්සන්න වූ සේනා දළඹු ආක‍්‍රමණය මර්දනය කරමින් යම් තරමකට හෝ බඩඉරිගු වගාව බේරාගැනීම සදහා පළිබෝධනාශක හැර වෙනත් කඩිනම් විකල්පයක් තිබුණේ නැත. එසේවුවත් පළිබෝධ පාලනයෙහිලා තිරසාර විසදුම ලෙස ලෝකයේ පිළිගැනීම වන්නේ ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණයයි.

”සේනා” දළඹු මර්දනයට ද මෙය සත්‍යයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සදහා දෙන උපදෙස් පැකේජයේ, මර්දනකාරකයින් ලෙස ක්‍ෂුද්‍රජීවීන් ද සිටී. එනම් බැක්ටීරියා, දිලීර හා වෛරස් මෙයට අයත්ය. මොවුන් හදුන්වන්නේ ”කෘමීන්ට හානිකරන ක්‍ෂුද්‍රජීවීන්” (Entomo Pathogenic Microbes) වශයෙන්ය.

ගන්නොරුව, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාඥ ප‍්‍රභාත් නිශාන්ත මහතා දැනටමත් මේ සදහා යොදාගත හැකි දේශීය ක්‍ෂුද්‍රජීවීන් කිහිපයක්ම හදුනාගෙන, වෙන්කරගෙන, ගුණනය කිරීමේ පර්යේෂණයන් හි නිරත වෙමින් සිටී.

ඔහු විසින් වෙන් කරගෙන ඇති දිලීර වර්ගයක් හමුවේ ”සේනා” පහසුවෙන් ”පුස් කන” බව පවා පෙනීගොස් ඇත.

'කෘමි සතෙකුට දිලීර රෝගයක් වැළදුනොත්, පිටතට පෙනෙන්නම සතාව ”පුස් කනවා”. බැක්ටීරියා රෝගයක දී සතා මැරෙනවා. ඒ වගේම සිරුරෙන් ගන්ධයක් පිටවෙනවා. වෛරස් රෝගයකදීත් සතා මැරෙනවා. ගදක් නෑ. සිරුර කළු වෙනවා”

නිශාන්ත මහතා කෘමි සතුන් කෙරෙහි ඇති ක්‍ෂුද්‍රජීවී බලපෑම විස්තර කරන්නේ එලෙසිනි.

මෙම ක්‍ෂුද්‍රජීවීන් දැනට සොයාගෙන, දේශීය තත්වයන් යටතේ ගුණනය කරමින් තිබුනත්, කඩිනම් පියවරක් වශයෙන් ”සේනා” වනසන වෛරසයක් ඇමරිකාවේ සිට ගෙන්වීමට ඔහුගේ මූලිකත්වයෙන් කටයුතු කර තිබේ.

ප‍්‍රමාණයෙන් කුඩාම ජීවියා ලෙස අප වෛරසය සැළකුවත් මේ වෛරසයට දිගු නමක් තිබේ. ස්පෝඩොප්ටෙරා ෆ්රුගිපර්ඩා මල්ටිකැප්සිඞ් නියුක්ලියෝ පොලිහෙඞ්රෝ වෛරස් (Spodoptera Frugiperda Multicapsid Nucleopolihedro virus) යන්න එයට දී ඇති නාමයයි.

මෙම වෛරසයේ විශේෂිතම ලක්ෂණය වන්නේ මිහිපිට සිටිනා කිසිම ජීවියෙකුට මෙමගින් හානියක් සිදු නොවීමය. වෛරසය ගුණනය වන්නේ ”සේනා” ගේ සිරුර තුළ පමණි. මූලික විද්‍යාගාර පර්යේෂණ සාර්ථක වීමෙන් පසු පසුගියදා මහියංගන ප‍්‍රදේශයේ ළපටි බඩඉරිගු වගාවකට වෛරස් ද්‍රාවණය ඉසින ලදි.

බිත්තරයෙන් එන සේනා දළඹුවාගේ ජීවිත කාලය දින 10 ක් පමණය. ඒ කාලය තුළ ඌ පස් වතාවක් හැව අරිමින් ලොකු වෙනවා. මර්දනය කරන්න හොදම වන්නේ පළමු අවස්ථා තුන. බොහොමයක් ගොවීන් මේ කාලයේ් දී දළඹුවා දකින්නෙත් නැහැ. ඒ තරමට සතා පුංචියි. ඇසූවිට කියනවා මගේ වගාවේ ”සේනා” නෑ කියල. ඒත් පත‍්‍රයේ යටි පැත්තේ ඌ ඉන්නවා. පත‍්‍රය සූරාකන නිසා පත‍්‍රවල එහාමෙහා පෙනෙන පාරදෘශ්‍ය ළප ඇතිවෙනවා. මේවාට කියන්නේ ”කවුළු” කියලා. හොදට බලන්න ඕනෑ.

පත‍්‍රවල ”කවුළු” හැදිල නම් අනිවාර්යයෙන්ම යටි පැත්තේ ”සේනා” ඉන්නවා. මීට අමතරව දළඹුවන් මෙම කුඩා වයසේ දී මකුළු දැල් වැනි නූල් සාදා ගනිමින් පත‍්‍රයේ එල්ලී සුළෙග් පැද්දෙමින් සිටිනු දකින්නට හැකිය. තම වගාවේ ”සේනා” නැතැයි කියනා ගොවීන් මේ ගැන ද විමසිලිමත් විය යුතුවේ. එසේ පැද්දෙන දළඹුවන් යාබද පත‍්‍ර වලද ඇමිණී එයට ද ආසාදනය වේ. නිශාන්ත මහතා පවසන ආකාරයට ලොකු දළඹුවන් පෙනෙන තත්වය වනවිට වියයුතු හානිය සිදුවී හමාරය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ දී ”සේනා” හානිය ඇරඹෙත්ම දියත් කළ දැවැන්ත ප‍්‍රචාරක යාන්ත‍්‍රණය තුළදී දළඹුවා බාහිරව හදුනාගත හැකි ලක්‍ෂණ පවා ගොවීන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීම වෙනුවෙන් නිකුත් කරනු ලැබුවේ මොහු අප කිසිදා දැක නැති ආගන්තුක සතුරෙකු නිසාය. නමුත් දැන් ගොවි ජනතාව ”සේනා” දුටු තැන හදුනයි. එසේනම් මීළග පියවර වශයෙන් දැනුවත්භාවය හා මර්දනය කළයුතු කාල සීමාවන් තවදුරටත් සුසර කළ යුතුවේ.

එනම් අප දැන් පවසන්නේ දළඹුවා බිත්තරයෙන් පිටවී මුල් දින කීපය තුළ මර්දනය කළයුතු බවයි. ඒ සදහා ලොකු දළඹුවන් ඇස ගැටෙනතුරු හෝ ඔවුන්ගේ හිසෙහි යටිකුරු වූ ”වයි” අකුර පෙනෙනතුරු සිටිය යුතු නැත. ළපැටියා මැඩලීමට වෛරසය හොද විසදුමකි. වෛරස් ද්‍රාවණය යොදන්නේ කෘමිනාශකයක් යොදන පිළිවෙලටමය. නැප්සැක් ඉසිනයකින් එය කළහැකි වේ.

හිමිදිරියේ හෝ හොදටම හවස් වී වෛරසය ඉසිය යුතු බව පවසන නිශාන්ත මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ, ළපටි දළඹුවන් සැගවුණු තැන් වලින් පිටතට පැමිණ කෑම පටන්ගන්නේ රාත‍්‍රියේ නිසා, සවස් කාලයේ ඉසීම වඩාත් සුදුසු බවය.

බඩඉරිගු පත‍්‍රවල තැවරුණු වෛරසය ආහාරයත් සම`ග දළඹුවාගේ ශරීරගතවන අතර ”සේනා” ගේ කටයුතු එතනින් අහවර වේ. මෙම ක‍්‍රමය භාවිතයෙන් ”සේනා” මර්දනය කිරීමේ ක‍්‍රමවේදයන් ඉදිරියේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විධිමත්ව නිකුත් කරනු ඇත.

පිටපත – සනත් එම්. බණ්ඩාර, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
තාක්‍ෂණික කරුණු – ප‍්‍රභාත් නිශාන්ත, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (කීට විද්‍යා) උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නොරුව

Recommended For You

About the Author: Editor