කට්ටි පනිමින් සිටින මධුමාධව අල්ලන්න විශේෂ පොලිස් දැලක්

පසුගිය 13 වැනි දා මිනුවන්ගොඩ ප‍්‍රදේශ කලබලකාරී ලෙස හැසිරුණු කල්ලියට නායකත්වය දුන් බවට සැකකරන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පොලිසියට භාර නොවී කට්ටි පනිමින් සිටින බවත් ඔහු ඇතුළු ඔහුට හිතවක් 10 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් මිනුවන්ගොඩ පොලීසියේ උසස් නිලධාරියෙක් lankaepress සමග සඳහන් කළේය.

කළබල සිදුවූ 13 වෙනිදා මධුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිසක් මිනුවන්ගොඩ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සැරිසැරූ අළු පැහැති ජිප් රථයක්ද කඩවත ප්‍රදේශයේ නිවසක තිබියදී පෙරේදා (21) රාත්‍රියේ සොයාගෙන තිබේ. එම ජිප් රථයේ හිමිකරු වන ව්‍යාපාරිකයා ද මේ වන විට සැගව සිටින බව පොලිසිය පවසයි. මධුමාධව අරවින්ද මහතා සමග ජිප් රථයේ හිමිකරු ඇතුළු කිහිප දෙනෙක් මිනුවන්ගොඩ නගරයට පැමිණ ගැටුම්වලට සම්බන්ධ වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

පොලිසියට කට්ටි පනිමින් සිටින මධුමාධව අරවින්ද ඇතුළු ඔහුට හිතවත් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත. වැඩි දිනක් ඔවුන්ට සැගව සිටින්නට නොහැකි වනු ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඉකුත් 13දා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු සිව්දෙනෙකුට මිනුවන්ගොඩ අධිකරණය විසින් ඊයේ (22) විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මිනුවන්ගොඩ පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා එම විදෙස් ගමන් තහනම පනවා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

Recommended For You

About the Author: Editor